මට මේක ලියන්න හිතුනේ මේ දවස්වල ජනප්රිය පුද්ගලයෙක් මාධ්ය සාකඡ්ඡාවකදි කියපු දෙයක් නිසා.
ඒ පුද්ගලයාට අනුව ලංකාවේ විවාහ වලින් 9% ක් බිඳී යනවා,
ඉතුරු 1% ක ප්රමාණය දරුවන් වෙනුවෙන් අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා.
කොහොම නමුත් සංඛ්යාත්මක අගයෙන් හරියටම හරි නොවුනත් දිනකට 500ක් පමණ විවාහ වෙද්දි 400ක් පමණ විවාහය කටුගානවා.
වර්ථමානය වෙනවිට මේ විවාහය කියන බැඳීම ඒ තරම් අවිනිශ්චිතයි.
ඒ අතරිනුත් වැඩියෙන්ම විවාහය කටුගාලා දාන්නේ විවාහයේ මුල්ම වසර 03ඇතුළත.
ඇත්තටම මොකක්ද මේ අපේ ජෙනරේශන් එකේ අයට වෙලා තියන දේ .
විවාහය කියන්නේ පවුලක පදනම, විවාහයකින් තමයි පවුලක් ආරම්භවෙන්නේ,
නමුත් අද වෙද්දි සීයක් පවුල් වෙද්දි එයින් විස්සකටත් අඩු පිරිසක් තමයි ඒ බැදීම පවත්වගෙන යන්නේ, ඉතුරු 80% කට ආසන්න ප්රමාණයම විවිද හේතූ මත විවාහ බන්දනය අත්හරිනවා.
ලංකාවේ දැනට බලපවත්නා නීතිය අනුව දික්කසාදයක් ගොනු කරන්න පුළුවන් හේතූ තුනකට විතරයි නීතිමය ප්රතිපාදන තියෙන්නේ ඒ
*අනාචාරය
*ද්වේශ සහගත ලෙස හැරයාම
(මෙය සාමාන්ය ද්වේශ සහගත ලෙස හැරයාම හා අනුමිත ද්වේශ සහගත ලෙස හැරයාම ලෙස කොටස් දෙකක් වේ)
*විවාහ වන විට පවතින සුවනොවන ලිංගික බෙලහීනතාවය
වශයෙන්.
නමුත් ඇත්තටම විවාහයක් බිඳී යන්නට හේතූ වෙන්නේ බොහෝ විට මේවාට වඩා සාමාන්ය කරුණු.
වසර ගනන් ආදරය කරලා , ලක්ශ ගනන් වියදම් කරලා විවාහ උත්සව අරගෙන අවුරුද්දේ සංවත්සරය සමරන්න කලින් වෙන්වුන අය ඉන්නවා මම දන්න.
ඇත්තටම ඇයි අපි මේ තරමට විවාහය අතහරින්න පෙළඹිලා ඉන්නේ .
මූලිකම හේතූව අපිට අනෙකාව වටහා ගන්නට ඇති නොහැකියාව.
ඔබ ලඟදී විවාහ වෙන්න අපේක්ෂා කරන කෙනෙක් නම් මම ඔබට අවධාරණයෙන් කියනවා,
විවාහය කියන්නේ පෙම්වතා පෙම්වතිය ලෙස ඔබ ගෙවන ජීවිතය නෙවෙයි.
එහිදී ඔබට සිද්දවෙනවා ජීවිතයේ හැම දෙයක්ම වාගේ තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග බෙදාගන්න.
වෙනදට තනියම නිදාගත්තා නම් ඔබට ඇය හෝ ඔහු සමග ඔබේ නිදන ඇඳ බෙදා ගන්න වෙනවා.
වෙනදට කඩෙන් කෑවානම් ඔබට දැන් ටික ටික ගෙදර කාමට හුරුවෙන්න වෙනවා, ඇතැම්විට උයන්න නොදන්න කෙනෙක් නම් උයන්නත් පුරුදු වෙන්න වෙනවා
මෙතනදි විවාහයට පෙර වගේ නෙවෙයි ලස්සනට ඇඳලා පැළඳලා විලවුන් ගල්වගෙන ඩේට් එකකට ආව කෙනත් එක්ක ඔබට උදේ හවස තුන් වරුවම ගෙවන්න වෙනවා,
සමහරවෙලාවට කබ කඩ කඩ උදේට නැගිටන දර්ශනත් දකින්න වෙනවා.
දාඩිය දාගෙන ආපූ වෙලාවට දාඩිය ගඳ දැනෙන්න ඉඩ තියනවා.
මේ වගේ අවස්ථාවල ඔබට හැකියාව තිබිය යුතුයි තවදුරටත් ඒ තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය නෙවෙයි තමන්ගේ ජීවින සහකරු කියන එක තේරුම් ගන්න,
එතනදි ඔබට දාඩිය ගඳ විතරක් නෙවෙයි ඇතම්විට අසනීපයකදි කැත කුණු අතගාන්න උනොත් එයත් දරාගන්න සිද්ධ වෙනවා.
ඔබ ටිකක් දවල් වෙනකම් නිදාගන්න කැමති කෙනෙක්නම් සමහරවිට ඔබට ටිකක් කලින් නැගිටින්න සිද්ද වෙයි. එතනදි අනිත් පාර්ශවය දැනගන්න ඕනී අවමයෙන් සතියකට එක දවසක් වත් ඔහුට හෝ ඇයට අවශ්ය විදියට නින්ද හෝ විවේකය නිදහසේ ලබාගන්න ඉඩ දෙන්න.
ඔබ සමහරවිට කාපු පිඟානවත් ගෙදරදි හෝදපු කෙනෙක් නොවෙන්න පුළුවන්, ඒත් විවාහයෙන් පස්සේ ඔබට පුරුදු වෙන්න වෙයි තමන්ගේ දේවල් හැකි පමණ කරගන්න.
උයන්න දන්නේ නති කෙනෙක් නම් , එක්කෝ උයන්න කෙනෙක් ගන්න සිද්ද වෙයි, එහෙම නැත්තම් ටික ටික පුරුදු වෙන්න වෙයි.
මොකද විවාහය කියන්නේ තරඟයක් නෙවෙයි , එයා කරොත් මම කරනවා , එයාට බැරිනම් මම මොකටද කරන්නේ කිය කිය ඉන්න.
“විවාහය කියන්නේ බෙදා ගන්න එකට ,,, ජීවිතය “
කඩෙන් කන්නත් අකමැතිනම් , උයන්න කෙනෙක් ගන්නත් බැරිනම් නෝනට නැත්තම් මහත්තයාට හරි අනිවාර්යෙන්ම පුරුදු වෙන්න වෙනවා උයන්න.
සමහරවිට විවාහයත් එක්ක ඔබේ නිදහස සීමා සහිත වෙයි.
වෙනදා ගියපු තරම් ගමන් යනන් බැරි වෙයි , වෙනදා යාළුවෝ එක්ක ගියපු තැන්වල එයා එක්ක යන්න වෙයි.
ඒ වගේ තැන්වලදි ඔබට ඇතම්විට එයත් දරාගන්න වෙනවා. ඒ වගේම දෙදෙනාම දැනගත යුතුයි අනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න වගේම , අනෙකාට අවශ්ය නිදහස ලබාදෙන්න.
මොකද
“ගැහැණියක් හෝ පිරිමියෙක් කවදාවත් කෙනෙක් පද්දන නූලට උඩ යන සරුංගලක් වෙන්න ඕනී නෑ,
නිදහසේ පියාසර කරලා ආදරෙත් අරගෙන ගෙදරට එන කුරුල්ලෙකු මිසක.”
ඒ වගේම විවාහය කියන්නේ දෙන්නෙක් විතරක්ම නෙවෙයි පවුල් දෙකක බැඳීමක්…
මම විශ්වාස කරන දෙයක් තියනවා බැරිම අවස්ථාවකදි හැර වෙන කිසිම අවස්ථාවක විවාහය කියන බැඳීමෙන් පවුල් දෙකක් එක් වෙනවා මිසක පවුලෙන් වෙන් වෙන එක සිද්ද නොවිය යුතුයි.
ඔබ බැඳී සිටිනවා ඔබේ පවුලෙන් ඔබේ ස්වාමියාට හෝ බිරිඳට ලැබිය යුතු ගෞරවය ලබා දීමට,
මොන ප්රශ්න ආවත් ඔබ බැඳිලා ඉන්නවා ඔබේ බිරිඳගේ , ස්වාමියාගේ සහයට ඒ පසෙකින් හිට ගන්න. ඒක නීතියටත් වඩා හදවතින් එක දෙයක්…
“මිනිහෙක්ට ගෑණියෙක්ට තැනක් තියෙන්න ඕනී ලෝකම නැති උනත් තමන් වෙනුවෙන් තියන.”
විශේෂයෙන්ම මතක තියාගන්න නැන්දම්මා ලේලි ප්රශ්න වලදි කවදාවත් වෙළුණු කෝටූ නමන්න බැරි බව , හැකිතාක් ඔබ නැවෙන්න,
ඔබේ ජීවිතයට වටිනාකම් එක් කරපු ඔබ වෙනුවෙන් කැපවෙන පිරිමියෙක් , ගැහැණියෙක් ලබා දීපූ දෙමව්පියන්ට නැවුනට ඔබට පව් නෑ,
වැඩිම උනොත් අඩ දබර අඩුවෙලා මානසික සතුට ලැබෙනවා ඇරෙන්න.
මගේ විවාහය ඇතුලේ මම සතුටින් ඉන්න ප්රභලම හේතුවක් තමයි මගේ නැන්දම්මා , මාමා ඇතුල පවුල,
විශේෂයෙන් මගේ නැන්දම්මා තමයි මගේ විශ්වාසවන්ත මිතුරිය.
නමුත් හැමෝටම ඒ අවස්ථාව නෑ, එහෙම දරාගන්නම බැරි තැනකදි හොඳම විසඳුම අතේ දුරින් ආශ්රය කරන එක
විශේෂයෙන් ඔබ වගවිය යුතුයි ඔබේ අතිශය පෞද්ගලික විවාහ ජීවිතය ඔබේ දෙමව්පියන්ට නිරාවරණය නොකිරීමට,
ඔබ විවාහ වෙලානම් දැන් ඔබ වැඩිහිටියෙක්,
තව දුරටත් අම්මට කේළම් කියන අම්මා මත්තේ යැපෙන දුවෙක්, පුතෙක් නම් කියන්න කණගාටුයි ඔබේ විවාහයේ කාලය ඉතා සීමිතයි.
ඒ වගේම විවාහයේදී දරාගැනීම ඔබ සතුවිය යුතුමයි.
පොඩි පොඩි ආර්ථික ප්රශ්න වලට ගේ ඇතුලේ රණ්ඩු වෙනවා නම් ඔබේ විවාහ ලියපදිංචිය එක්ස්පයර් වීමට ඉතා ආසන්නයි.
විවාහය කියන්නේ තනිව යන ගමනක් නෙවෙයි , දෙදෙනෙක් එකට ජිවිතාවසානය තෙක් යන ගමනක් . මේ ගමනෙදි අනිවාර්යෙන්ම අනිකාට ඇහුම්කම් දෙන්න , අනිකාගේ අදහස් වලට ගරු කරන්න,
මමත්වය , ආත්මාර්ථකාමිත්වය උස්සලා පැත්තකින් තියන්න,
“ඉවසීම හා විශ්වාසය නැත්තම් කසාදෙත් හරියට චේන් එක පැනපු බයිසිකලයක් වගේ,
සැමියා බිරිඳ කියන රෝද දෙක සම්බන්ධ කරලා තියන චේන් එක තමයි ඒ දෙක .”
“අනෙකාව විස්වාස කරමින් ඉවසන්න , ඒ වගේම විශ්වාසය රකිමින් දරාගන්න”
අනෙක් අතට විවාහයන් බිඳ වැටෙන්න තියන ප්රභලම සාධකය තමන් අනියම් සම්බන්ධකම් කියන එක.
මේක ඇතිවෙන්නේම එකිනෙකාගේ රුචිකත්වය වෙනස්වීම හා නිදහස සීමා වීම කියන කාරණය නිසා.
මේ තරම් තරුණ අය අතර ඇයි මේ අනියම් සම්බන්ධකම් ,
හේතුව වෙනස් අපේක්ෂාවන් , වෙනස් ආසාවන්…
විවාහයේදී ලිංගිකත්වය කියන එක අරුමයක් නෙවෙයි, එතනදි එකිනෙකාගේ රුචිකත්වයන්ට ගරු කරන්න, එකිනෙකාගේ අපේක්ෂාවන් ගැන කතා බහ කරලා දැන ගන්න..
දෙන්නට දෙන්න විවෘත වෙන්න.
එහෙම නොවුනොත් ,එක් අයෙක් විවාහය තුළින් අපේක්ෂා කරන තෘප්තිය නැතුව කළකිරිලා නම් ඔබේ විවාහය තියෙන්නේ බොහෝම භයානක අඩියක.
ඒ වගේ වෙලාවක ඔබ දෙන්නා අතරට තුන්වෙනියෙක් එන්න තියන අවස්ථාව බොහෝම වැඩී , ඒ වගේ තැනකදි ඔබ යුහුසුළු වෙන්න ඕනී ප්රශ්නය විසඳ ගන්න.
විවාහය කියන්නේ අඹයක් නම් හැමදාම අඹ ගෙඩිය ඔහේ කපලා කන්න එපා,
එක දවසකට අඹ ඇඹුලක් හදන්න, අනිත් දවසට අච්චාරුවක් හදන්න , තව දවසක චට්නියක්, තවත් දවසකට ජෑම් එකක් , ඉඳලා හිටලා වෙලලා පැණි දාලත් කාලා බලන්න.
උදේ හවස ගෙදර එනවා කනවා නිදාගන්නවා වෙනුවට , සතියකට සැරයක් ෆිල්ම් එකක් බලන්න, අයිස්ක්රීම් එකක් කකා ඇවිදින්න, දෙන්නම එකතු වෙලා එක වේලක් උයාගෙන කන්න, ඉඳලා හිටලා කඩෙන් කන්න, රස කෑමක් හදලා දෙන්න, පොඩි ටොෆියක් චොක්ලට් එකක් ගෙනත් දෙන්න වගේ දේවල් කරන්න.
ඒකාකාරී විවාහයකට වඩා වෙනසක් එක්ක යන ගමන ලස්සන වගේම ස්ථාවර වෙයි.
ඒ වගේම මතක තියාගන්න කන කෑමේ ඉඳන් ළමයි හදන එක වෙනකම් විවාහය ඇතුලේ තීරණ ගන්න ඕනී ඔබ දෙදෙනා ඒ අයිතියට අල්ලපු ගෙවල් වල අයට ,නෑදෑයන්ට පවරන්න එපා.
මේ කෝක කරලත් ඔබේ සහකාරිය , සහකරු සමග එක්ව වසන්න බැරිනම්,
කොච්චර කරත් වටේ යනවා නම්,
මනෝ උපදේශන දීලත් හදාගන්න බැරිනම් ,
කොටිනම ඔබට ලැබිලා තියෙන්නේ කිසිසේතම සතුටු වෙන්න බැරි විවාහ ජීවිතයක්නම්
දෙයියනේ කියලා කරන්න දෙයක් නෑ ඔය කසාද ගැටේ ලිහලා දාන්න.
දික්කාසාදේ කියන්නේ කවදාවත් පාපයක් නෙවෙයි,
හැබයි ඔබ දරුවන් ඉන්න යුවළක් නම් ඔබේ විවාහයේ ප්රශ්න දරුවන්ට බලනොපාන විදියට වැඩ කටයුතු කරගන්න,
කසාදය කිසිදාක දුක් කසාදයක් නොකරගන්න , දුකක් නම් සදාකාලික වේදනාවක් වෙන්න කලින් අතහැර දමන්න.
උපුටා ගැනීම: Akshila Weerasinghe