ඕං ආයුබෝවන්ට අදත් කතාව මල්සරාගෙ හීය වැරදිලා සෙට් වෙච්ච අපේ මිස්ටර් අනංග කොලුවා ගැනයි. කලින් කයි කතන්දරේට හොට නොදැම්ම ඈයො ඉන්නවැයි නම් ඔහෙල ඒ පැත්තෙත් පොඩි ඇහැක් දාල ආවය කියන්නේ හොද ගනන් ඈ. මොකෝ ඉතින් අපේ කොලුවගෙ පැටිකිරිය හරි හැටි නොදැන මෙහෙ ගොඩ වුණාට වැඩක් තියේවියෑ.
කොහොම කොහොම හරි අපි ඔය ඒලෙවල් කොරන කාලෙ සතියට සැරයක් බෙහෙත් පෙත්ත සේ අනංගයාව සෙට් වෙන්නෙ මට කෙමිස්ට්‍රි ක්ලාස් පොජ්ජෙදි. මුන්දැ ඉතින් සීනි කන්ට කූඹි එන්නා වාගෙ කෙල හලාන බඩ කට උලාන හොටු පෙරාන මංතුමී පස්සෙමයි. මාත් ඉතින් අනංගයා දැක්ක පමාවට පොලීසිය මුලිච්චි වෙච්ච, දුටු තැන අල්ලනු හොර ගෙඩියෙක් වාගේ දුවනවා දිවිල්ලක් පණ කඩාගෙන. උන්දැටත් අය වෙන වැඩක් නෑනෙ. එනවා මෙතන මාත් එක්කල රේස් දුවන්ට. දැන් මේ උන්දැලා කියාන එන්ඩ එපා ආදරේටනෙ ගගා. කොටනව සෙනිකව හොදේ. මුන්දැගෙ ආදරේ මහිමෙ කොච්චරක්දැයි කියනවා නම් මං බැරිම තැන ක්ලාස් එකත් මාරු කරා කියහල්ලකො. ඔව් ඔව්… මං ඉතින් සිරිමත්ගෙ නංගි නොවැ.
හෝ… හෝ… දින සති මාස ගෙවුණා. ඒත් අපෙ අනංගයාගෙ හාංකවිංසියක්වත් නෑනෙ බොලේ. ඕහ් යේ දෙවියන් වහන්සේ මාව ගලවා ගත්‍තා. “පියඹා යනවා මා ආකාසයේ… අවසානයි ප්‍රේමාදරේ… ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්… “කියලා ඔය ඉන්න අල්ල පනල්ලේ තමා මට ඇස්වල දුර පෙනීමේ අවුලක් සෙට් වෙන්නේ. වාසනාව කොතෙක්දයත් බෝතල් අඩි කණ්ණාඩි දෙකක් දාගත්ත බටකොල ආච්චියෙක්ගෙ පෙනුමකකුත් අවසානෙදි මට උරුම වුණා. ඒකත් හොදා. දැන් ඉතින් අනංගයට කොහොමවත් බටකොල ආච්චිව අදුරගන්ට වෙන්නෙ නෑනෙ.
ඕකෙන් පස්සෙ දවසක් දා මගෙ අතිජාත මිත්‍රයෙක් පාර පුරහ පණ එපා කියල දුවගෙන එනවා. මුන්දැට මහ දවාලෙ යකෙක් ගහලවත්දෑ බොල මේ. වතුර පොදක් බොන්නට දී කනට පාරක් ගසා පියවි සිහියට ගෙන කරුණු විමසා බැලූ කල්හී ” උන්දෑ පස්සෙන් කොලුවෙක් පැන්නුවාලුය. පන්නාවිත් බටකොල ආච්ච්ය ගැන තොරතුරු විමසවාලුය.” කියාපි. විනාසයි. ස්මයිල් ඉන් පේන් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. අනංගයා මාව අතාරින පාටක් නෑ වගේ. මුන්දැ මයෙ යාලුවට පොතකුත් දික් කොරාන ” මං ඔයාලගෙ බටකොල ආච්ච්ට වදයක් වුණා. මං නිසා තමා එයා ක්ලාස් එකත් මාරු කරේ. අනේ ඒ නිසා මේ පොතවත් එයාට දෙන්න”ය කියනවලු. පව් අප්පා පොතකුත් උස්සන් ඇවිදින්. ෂුවර් එකටම කෙමිස්ට්‍රි මන්තර පොතක් වෙන්ඩැති.
යාලුවා පොත මට ගිහින් දෙන්ඩ බෑමය කිව්වලු. මොකද ඉතින් ඌ කුරියර් සර්විස් එකෙන්යෑ පොත් ට්‍රාන්ස්පෝට් කොරන්ට මෙතන. ඒ පාර අපේ අනංගයගෙ දෑස් පලාගෙන කදුලැලි එන්ට ඔන්න මෙන්නලු. මගේ යාලුවත් බයට කකුල් දෙකට වැද නමස්කාර කොට දූවන් ඇවිදින්. ඔයි කතාව ඇහුව මාත් පොඩ්ඩක් සැලුනෙ නෑ කියන්ටමත් බෑ ආයුබෝවන්ට.
කෙසේ වෙතත් ඔය සිද්ධි පොජ්ජත් අමතක කරල එදා ක්ලාස් එකේ අපි අකුරු කොරනවා. වැරදිල පෑනක් බිමට වැටිල ඒක ගන්ට නැමුණු වෙලේ මට ඇහැ කොනින් පේනවා කණ්ණාඩි පොලොං කොලු ගැටයෙක් මද සිනාවෙන් යුක්තව අපෙ දිහාවට ඇහැ දාගෙන ඉන්නවා. ඒ පාර මොකෙද්දෑ බොල මේ කියල මනෝ පාරක් ගැහුවට පස්සෙ තමා මතක් වුණේ මේ අපෙ අනංග කොලුවා නොවේදෑ කියල. “අයියෝ… පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ” මුන්දැ මං යන යන තැන එනවනෙ යකුනේ. මාරු කරපු ක්ලාස් එකටත් ඇවිදින් කියහල්ලකො. තවත් තත්පර දෙක තුනකට පස්සෙ තමා මට හරියටම ක්ලික් වුණේ අනංගයත් කණ්ණාඩි දාල නේදැයි කියල. “අනේ මේ පව්කාරි වෙනුවෙන් ඒ තරම් ආදරයක් අනංගයෝ” දුර පේන්නැති මේ බටකොල ආච්ච් වෙනුවෙන් කොච්චර කැපකිරීමක්දෑ දෙයියනේ මේ. මොකට කියනවද. දැන් ඉතින් හවසට ක්ලාස් ඉවර වුණාම මට උන්දැත් එක්කන් රේස් දුවන්ටත් එපැයි. ඉන්ට හම්බෙන එකක් නෑ.
ඔන්න ඔයි වෙලේ තමා මගෙ මන්චි ටිකිරි මාරි කාල සංවර්ධනය කොරගත්තු මොළ ඩිංගට පට්ට අයිඩියාවක් පහල වෙන්නෙ. කෙමිස්ට්‍රි මන්තර ඊළග දවසෙ ලියාගන්ට බැරියෑ කියල හිතාන යාලුවයි මායි දාගත්තා පොත් පෑන් පැන්සල් ටික අපෙ නයි මලු අස්සට. සර් අනිත් පැත්ත හැරුනු පමාවට ඉද්ද ගැසුවා සේ නැගිටලා “සැරසේන් වේන් යාහ්” කියල දිව්වා ක්ලාස් එක මැද්දෙන්. ලැජ්ජාවෙ බෑ. පන්තියෙ ළමාලපටි ටික පිස්සියො දෙන්නෙක් ගානට අපෙ දිහා බලාන. දැන් ඉතින් ඕවා හිත හිත ඉන්ට වෙලාවක් නෑ ආයිබොවන්ට. අනංගයගෙන් බේරෙන්ටත් එපෑය. අපොයි උන්දැත් පස්සෙන් දුවන් එයිවත්ද? අයියෝ වේගෙ වැඩි කොරාන්ට ඕනා. දැන් නම් අපි දෙන්නා දුවනවා කුලප්පු වෙච්ච කුළු හරක් දෙන්නෙක් වගේ. පසු නොබලා දුවලා බස් හෝල්ට් එකටම ඇවිදින් තමා ආයෙ පිටිපස්ස බැලුවේ. අනේ වාසනාවන් ඇති අනංගයෙක් නෑ බොල. හුම්ම්.. එදායින් පස්සෙ නම් මංතුමීට අනංගයව ඇහැට මුලිච්චි වුණේ නං නෑ ඕං. කෙසේ වෙතත් උන්දැගෙ ආදරේට පින් සිද්ධ වෙන්ට මං හොද මැරතන්කාරියක් වුණාය කිව්වට පාඩු නෑ.
ප.ලි. කියවූ ඔබ සැමට ස්තූතියි.
මෙය මගේ කතාවකැයි සිතා කියැවූ මාගේ අපාය සහයක මිත්‍රවරුන් සිටිත් නම් ඔබතුමා/තුමීලට මාගේ සාතිශය සංවේගය…!!!
චතුරිකා අබේසේකර