බත්.. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අම්මට බැරි වෙලා පැදුරක කෑම ජාති ගොඩක් තියලා මාව ඒ මැද්දෙන් ඉන්දවලා නැකතට මට බත් කවන්න. මට දුක හිතුනේ ලොකු අක්කා පොතයි පෑනයි ගත්තා වගේ, පොඩි අක්කා කිරිටොෆි කෑල්ලක් ගත්තා වගේ මම ගත්ත දෙයක් ගැන කියන්න නැති එකට. ඉතින් මම ඉස්සරහ පඩියේ බිම වාඩිවෙලා හිතේ දුකට අම්මට බැන බැන අඬනවා. ඒ හැම දවසකම අම්මා මට කතාවක් කියනවා. හැමදාම මම ඒ කතාව අහන්නේ මීට කලින් කවදාවත්ම අහලා නැති අලුත්ම කතාවක් වගේ.
ඇත්තටම කිව්වොත් අම්මා නැකතක් බලලා වැඩේ ලෑස්ති කරලා තියලා කට්ටියත් එක්කම ගිහින් එල්ලක්කල අම්මගේ මල්ලිගේ ගෙදර. මාමටත් ඉන්නවා මගේ වයසම දුවෙක්. මට තේරෙන වයසෙදි මමත් ආසාවෙන් නාපු ළිං හත අටක් තිබුනා ඒ ගෙවල් කිට්ටුව පුරන් වෙච්ච කුඹුරු යායක් වගේ. බිම වාඩිවෙලා බාල්දියෙන් වතුර අරන් නාන්න පුළුවන් පුංචි පුංචි ළිං. එදත් මාව නැන්දට බලාගන්න දීලා හැමෝම ගිහින් නාන්න.
රෙදිත් හෝදගෙන නාලා එනකොට ඈත තියාම දැක්ක දේකට අපේ අම්මගේ කකුල් දෙක පණ නැතුව ගියාලු ඇවිදගන්න බැරි විදියට. නැන්දා මාවත් එක අතකින් වඩාගෙන බත් පිඟානකුත් තියාගෙන හොඳට අන අන බත් කවනවලු.
අම්මා: ” අනේ ඉන්දු, ඔය ළමයට තවම බත් කවලා නෑ.”
නැන්දා: “අනේ පිස්සුද අක්කේ, බලන්න මේ ළමයගේ හැටි..කටින් පිම්බොත් විසිවෙනවා.”
තාත්තා: ” ලොකු දෙයක් ඉන්දු, ඔයා මට සල්ලි ටිකක් ඉතුරු කරලා දුන්නට”
එදා බත් පිඟානක් කාලා, බඩ පුරවගත්ත මම අද වෙනකම්ම ඕනම දෙයක් එක්ක බත් කෑවට මොකද, මල්, සමනල්ලු, කුරුල්ලො පෙන්න පෙන්න මට බත් කවන්න අම්මට මහන්සි වෙන්න ඕනේ නැති උනාට මෑතක් වෙනකම්ම මම හිටියේ මතක් වෙත්දිත් ඉවසා දරාගන්න බැරි දුකකින්.
“බලන්න චූටි දූ, මුලින්ම අතට ගත්තේ මොකද්ද කියන එකෙන් වැඩක් නෑ. ඔයාට බත් කවලා තියෙන්නේ හොඳම නැකතක. ඒකනේ ඔයාට හොඳට කන්න පුළුවන්. ඒ හින්දා ඔයා දුක් වෙන්නෙපා. “
ඔයාලා විශ්වාස කරයිද මන්දා, කැම්පස් එනකම්ම මම දවසට බත් වේල් 6ක් කෑවා. පොඩි පිඟානක, ටික ටික. කවුරු ගෙදරට ආවත් බත් පිඟානත් අරන් මම ගිහින් දොර අරිනවා.
“කොයි වෙලාවේ ආවත් ඔයාගේ අතේ බත් පිඟානනේ”
නිතරම ගෙදරට යන එන අය මට විහිළු කරන එකේ සම්බන්ධයක් නැති උනත්, මම කන වේල් ගණන අඩු උනොත් තාත්තට ඒක හොඳට තේරෙනවා.
“මම හැමදාම කියනවා මේ ළමයට මින්ස්සුන්ට පේන්න බත් කන්න එපා කියලා. බලන්න ඉතින් දැන් කන්න බෑනේ ඉස්සර වගේ.”
තාත්තා දුක් උනාට දවසයි දෙකයි, මම ආයෙමත් කන්න ගන්නවා. ගොඩක් ඉස්සර 2005 නියඟයක් ඇවිත් කෑම හිඟ වෙනවා කියලා කියපු අනාවැකියට මම බයෙන් ඉන්දෙත්දි තාත්තා මට විහිළු කරා මතකයි.
“ඔයාව සල්ලි තියෙන මනුස්සයෙකුට කසාද බන්දලා දීලා වැඩක් වෙන්නේ නෑ. කුඹුරු යායක් තියෙන ගොවි මහත්තයෙක් තමයි හොයන්න ඕනේ”
තාත්තා රාජකාරි වැඩකට කොළඹ ගියොත් හරි ඉලෙක්ෂන් ඩියුටි වලට ගෙදරින් දුරකට ගියොත් හරි මමත් නැගිටිනවා අම්මත් එක්ක පාන්දර 2ට 3ට. තාත්තට වැඳලා තාත්තා ගියාට පස්සේ බත් ටිකක් කාලා තමයි ආයෙමත් නිදාගන්නේ. ක්ලාස් ගියත්, ටවුන් එකට බඩු ගන්න ගියත් අනත් මිනිස්සු ගෙදර ඇවිත් වතුර වීදුරුවක්, තේ එකක් බොනවා වගේ කෙලින්ම කුස්සියට ගිහින් බත් ටිකක් බෙදාගෙන කුස්සියේ බංකුව උඩ ඉඳන් කනවා බලං ඉන්න අම්මා මුලින්ම කවි පදයක් කියනවා.
“අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා”
මම අම්මගේ මූණ බලත්දි අම්මා කියනවා,
“නෑ. මම කිව්වේ, කසාද බැඳලා ගෙදරින් ගියපු කාලෙක කොහේහරි යනවනම් බතකුයි, එලවළුවකුයි උයලම යන්න. මොකද ගෙදර එනකොට උයලා තියන්න මම නෑනේ එතකොට.”
කිව්වත් වගේ අම්මා ළඟ පාත නැති හුඟක් දවසට මට බඩගින්න දැනුනා. අම්මා ළඟ ඉන්දෙත්දි කවදාවත් නොදැනිච්ච.
“වැඩක් නෑ කොච්චර කෑවත්. බටලීයකට දානවා වගේ. බලන්න ඇඟේ හැටි”
මගේ කෙට්ටු ඇඟ දිහා බලලා ඒ කාලේ අම්මා හූල්ලනවා. ඒක කොච්චර වාසනාවක්ද කියලා තේරෙන්නේ දැන් තමයි. තාමත් මම බත් කන්න කැමතියි. වේල් 6, 4ට අඩු වෙලා. ඔෆිස් ගිහින් එනකොට හේමන්තගේ අම්මත් දවල් බත් වලින් ටිකක් ඉතුරු කරලා තියනවා.
“ඔය බත් ගිලින එක තමයි ඔයාගේ හෙනේට හිටියේ අනු”
දවස ගානේ මහත් වෙන මම දිහා බලලා හේමන්ත හූල්ලනවා,
ඒ දවස්වල පොළොවෙ හැපුනට මමත් දැන් පිළිගන්නවා නැන්දා මට බත් කවලා තියෙන්නේ හොඳම නැකතක කියලා. මගේ දරුවන්ගෙන් ඒ වගේ නැකතක් ලැබිලා තියෙන්නේ මගේ දෙවනි පුතා යවින්ට විතරයි. එයත් මම වගේම ඕනෙම දෙයක් එක්ක ආවෙලාවෙත් බත් කනවා. සහේන් වගේම ඊයේ පෙරේදා නැකතක් බලලා, ඉඳුල් කට ගාපු කියනුත් බත් කට කටේ තියාගෙන හිනාවක්, කතාවක් නැතුව බුම්මගෙන පැයක් උනත් ඉඳියි.
උපුටා ගැනීම: Anu Jayawardane

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!