බයවෙන්න එපා බන්, අපේ තාත්තා පොලීසියේ! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එදා මෙදා තුර A/L ජීවිත තුල ආදර කතා හැරුනු විට කොලු ජීවිත වල තියන ප්රධාන එකක් තමයි වලි හෙවත් ගුටි ඇණගැනීම්. මගේ A/L කාලෙත් ඕවා ආදර කතා වගේ ම ගුටි ඇණගැනීම්නුත් අඩු නැතුව තිබුනා. මේ සිද්ධිය ඒ වගේ වෙච්චි හිනා යන සිද්ධියක්. (දැන්ම හිනා වෙන්න එපා ඉතින් )
සාමාන්යයෙන් A/L කරන්න ආපුවාම කොල්ලොන්ට එක එක උණවල් එනවා. ඒවාගෙන් එකක් තමයි ඔය මොකක් හරි සටන් කළාවක් හදාරන්න, යකඩ උස්සල ඇග හදාගන්න ඕන වගේ උණවල්.
අපේ මහත්වරුන්ටත් එක එක්කෙනාට එක එක උණවල් තිබුනා. ඒ වගේම ඒවට එක එක හේතුත් තිබුනා. ගිහාන් (කෙටි නම ජීජී) සහ නුවන් බෲස් ලී ට පහන තියපු නැති එක විතරයි. මාතර දුම්රිය පාරේ කෝවිලේ මාස්ටර් කෙනෙක් ගාවට සටන් කලාව හදාරන්න ගියා. කොයි තරම් ඒක ආගම කරගත්තද කිව්වොත් කොන්ඩෙ වවල, හැමතිස්සෙම බොටම් කලිසම ගහල සම්පූර්ණයෙන්ම පේවෙලා බෲස් ලී වගේ ඇවිදින ගානටම ආවා. උන් දෙන්නට තිබුනෙ කලාවට ගහගන්න ඕන ඇම්මක්. මතක් වෙන කොට බඩ යන්න හිනා. එතකොට චාමි ඌගේ කෙල්ල බූට් එක තියල වෙන එකෙක් එක්ක යාළු උනා කියල ඒ කොල්ලට ගහන්න මු වෲෂූ සටන් ඉගෙන ගන්න ගියා. ආ, අමතක උනා කපිලත් ගිහාන්ල එක්ක ම උඩ කියපු මාස්ටර් ගාවට ගියා.
මම යි රූසටයි තිබුණේ යකඩ කන උණක්. අපි දෙන්න ඇග හදාගන්න ජිම් දෙකකට ගියා. මට නම් ජිම් යන්න හේතුව උනේ පොඩ්ඩක් උස යන්න. රූසට හේතුව උනේ උගේ තඩි ඇග බස්ස ගන්න.
අපිට හිටියා තව ගිහාන් කෙනෙක් (කෙටිනම ඇන්ටා). මුගේ තාත්තා පොලීසියේ වැඩ කලේ. හිටියේ මාතරින් කිලෝමීටර 7 විතර ඇතුලෙ.
ඉතින් ඇන්ටාගෙ පවුලේ හිටියේ අම්මා තාත්තා ඇන්ටා නංගී. මුන් ටිකක් ගමේ මිනිස්සු ආස්රේ නොකර නිශ්ශ්බ්ද හිටපු පව්ලක්. මොකක් හරි හේතුවක් නිසා ඇන්ටා ගමේ කොල්ලො කට්ටියක් එක්ක වලියක් දාගෙන.
ගමේ කොල්ලො බය කරන්න මූ පෙන්නන්න හිතාගෙන ඉදල තියෙන්නේ අපි සෙට් එක.
කොහොම හරි දවසක් ඇන්ටා යෝජනා කලා තාත්තාත් ගෙදර ඉන්නෙ යමු අපේ ගෙදර, ගිහින් පොඩ්ඩක් ගමේ උන්ට පේන්න ගමේ රවුමක් යමු කියල. අපිටත් සහලෝලා උණ තිබුන කාලේ නිසා අපිත් ගමනට කැමති උනා.
ඔන්න ඉතින් මම, කපිල, නුවන්, ගිහාන්(ජීජී) මාතරින් බස් එකක ගොඩ වෙලා ඇන්ටලගෙ ගෙදර යන්න ගියා. ගිහාන් ගෙදර තිබුන ලංචක්කුවක් (පොඩි පොලු දෙකක් අඩි 1 1/5 පමණ දිග යකඩ චේන් එකකින් සම්බන්ධ කරන ලද ආයුදයක්. බෲස් ලී වැඩිපුර භාවිතා කල සටන් ආයුධය) ඉනේ ගහගෙන ආවා. ඇන්ටගේ තාත්තා පොලීසියේ නිසා අපිටත් ලොකුවට බයක් දැනුනේ නෑ පිට ගමකට ගිහින් වලියක් දාගෙන එන්න.
කොහොමෙන් කොහොම හරි අපි ඇන්ටගෙ ගෙදර ට ගියා. ගෙදර පිහිටල තිබුණේ කුඹුරක් වට කරල. නියරකට වඩා පොඩ්ඩක් ලොකු පාරකින් තමයි ගෙදර ට යන්න තියෙන්නේ. අපි ආපූ කාරණාව ඇන්ටා ගෙ තාත්තා දැනගෙන හිටියා, අපිව දැක්කම ඇන්ටගේ තාත්තා ට පොඩ්ඩක් උද්යෝගය වැඩි උනා. අපිත් එක්ක ගමේ කොල්ලොන්ට හොදටම දෙහි කපපු ඇන්ටගේ තාත්තා එළියට බැහැල ත් පොඩ්ඩක් සද්දෙන් කෑගහන්න පටන් ගත්තා.
“පුතාලා බයවෙන්න එපා මම ගාව බඩු තියෙනවා” කියල ඇන්ටගේ තාත්තා කිව්වා.
අපිටත් ඉතින් පොඩි හයියක් ආවා බයකරන්න අනිවාර්යයෙන් පොඩි පිස්තෝලයක් හරි ඇති කියල. කොහොම හරි අපි එයාව සනසල අපිට තේ බොන්න මාළු පාන් ගේන්න නුවන් එක්ක ඒ ගෙවල් ළඟ බේකරියට යැව්වා.
මළ මගුලයි, ගිහින් විනාඩි දෙකක් යන්න උනේ නෑ නුවන් ඇන්ටගේ තාත්තා එක්ක අඩියට දෙකට ආයේ ගෙදර ට ආවා. බැලීනම් උද්දාමයෙන් උද්දාමයට පත් වෙලා හිටපු ඇන්ටගේ තාත්තා බේකරිය ළඟ හිටපු ගමේ කොල්ලො කීපදෙනෙකුට සද්දයක් දාල. පස්සෙ නුවන් ඇදගෙන ඇවිත් ගෙදර ට. නිවී හැනහිල්ලෙ ගමේ රවුමක් දාල බොරුවට බය කරන්න හිතන් ගියපු අපිට ඉල්ලගෙන කෑමක් කොහොම හරි ඇන්ටගේ තාත්තා සෙට් කලා. ඒත් අවුලක් නෑ තාත්තා පොලීසියේ නේද කියල අපි හිත හදාගත්තා.
අලි මදිවට නයි කිව්වලු, විනාඩි දහයක් යන්න උනේ නෑ මෙන්න බොල ගමේ ලොකු පොඩි කොල්ලො 15-20 විතර තඩි පොලු අරන් ආව කියහන්කො ඇන්ටගේ ගෙදර ඉස්සරහට.
අපි ඔක්කොම ඇන්ටගේ තාත්තා එක්ක 6 දෙනයි, එකාගෙන් එක ටොක්ක ගානේ වැදුනත් ඉස්පිරිතාලෙ යන්න වෙන ගනන්.
අපිත් ඉතින් බැස්සා එලියට. ගිහාන්ගෙ අත ඉනේ. ලංචක්කුව ගාව. කපිල ගත්තා අඩි 4 විතර දිග පොල්ලක්, ගහ ගහගත්තා පිටිපැත්තෙ ඉනේ, හරියට නින්ජා කඩුව ගහන් ඉන්නවා වගේ. මම දැක්කා ඇන්ටගේ තාත්තා ඉනේ තිබුන පටිය ගලවල ගන්නවා අතට. දැන් දෙගොල්ල බැනගන්නවා. හැබැයි අපි නෙවෙයි කතා කලේ.
ගමේ කොල්ලෙක් “ඇයි උඹල පිටින් චන්ඩි ගෙනල්ලා අපිට ගහන්නද? බේකරිය ගාවදී කොල්ලෙක්ට සද්දේ දැම්මේ”
වෙව්ලන කකුල් දෙක සහිත අපි චන්ඩි කියල කිව්වම හිනාත් යන්න එනවා.
ඇන්ටගෙ තාත්තා ” ඔව් අපිට චන්ඩි ඉන්නවා තමයි උඹල මොකක් කරන්න ද ආ”
හුටා දැන් නම් හොදටම කනවා තමයි කියල මට හිතුනා.
මැදට පැනපු ඇන්ටගේ අම්මා ” මේ චන්ඩි නෙවෙයි අපේ පුතාගෙ යාළුවෝ, අපිට මොකටද චන්ඩි”
අම්බෝ ඇති යන්තම් ඇන්ටි අපිව ගොඩ දැම්මා.
කතාව යන අතර තුර ගමේ කොල්ලෙක් කපිල පිටිපැත්තෙ ගහගෙන හිටපු පොල්ල දැක්කා.
“අඩෝ අන්න අරූගෙ අතේ පොල්ලක් අපිට ගහන්නද” කියල කට්ටියම එක පොකුරට පැන්නා අපි හිටපු දිහාවට.
කපිල එතකොටත් අඩි 6 විතර උසයි. කපිලගෙ පැත්තට උඩින් පැනගෙන ආපු එකා කපිලගෙ පා පහරකින් ඊටත් වඩා උඩින් වෙලට ගිහින් වැටෙනෝ මම දැක්කා.
මට හොද මුෂ්ටි පාරවල් හතරක් පහක් වැදෙන්න ගත්තා කීප දෙනෙක්ගෙන්. අතට අහූඋන එකෙක්ට කොහොම හරි මමත් මූනට දෙකක් ඇනගත්තා බිම වැටෙන්න. මාත් බිම ඌත් බිම. නුවන් ගිහාන් මොකක් කරගත්තා ද කියල දන්නෙ නෑ.
මට පෙනුනෙ එච්චරයි. එක පාරට ඇන්ටගෙ තාත්තා පොලිස් බෙල්ට් එක කර කවාගෙන මැදට පැනල දස අතේ කර කවන්න උනා. ඒකෙන් පහර කෑ ගමේ කොල්ලො කීපදෙනෙක් අම්බෝ ගාගෙන ආපස්සට දිව්වා. ඒ සද්දෙට කට්ටිය ආපහු පස්සට ගිහින්
“හරි උඹල අද යන්න ඕන පාරට ඇවිත් නේ, බලාගම්මු” කියල පාර දිහාවට යන්නට උනා.
අපිත් බැන බැන ගේ ඇතුලට යන්න ගියා.
අපිට ආයේ යන එක ගැන කිසිම බයක් ඇති උනේ නෑ ඇන්ටගේ තාත්තා පොලීසියේ නිසාත් එයාගාව මොකක්ද හොඳ ආයුදයක් තියෙනවා කියපු නිසාත්.
කටිටියට ලොකු අලාභ හානී නොවිච්චි බව සැකහැර දැනගත් පසු ඇන්ටගෙ තාත්තා කටහඬ අවදි කලා.
“පුතාල බයවෙන්න එපා මම ඉනේ බඩු ගහගෙන හිටියේ, මොකක් හරි උනානම් මම බයකරන්න මේක එළියට ගන්න හිතන් හිටියේ” කියල කමීසය උස්සලා දිරච්ච අගලක්වත් දිග නැති පිහිතලයක් එළියට ගත්තා.
අන්න ඒ වෙලාවෙ තමයි අපි කාටත් එලෝ පොල් පෙනෙන්න පටන් ගත්තෙ.
යකෝ, පිස්තෝලයක් ඇති කියල හිතන් හිටපු අපි ට දිරච්ච පිහිකෑල්ලක් පෙන්නුවම කොහොම හිතෙන්න ඇද්ද. අපිට හීන් දාඩිය දාන්න පටන් ගත්තා.
අන්තිමේ දී කටින් සිනාවී හිතින් බියවී අපි එදා රෑ 7 විතර වෙන්කන් ඇන්ටගේ ගෙදර ට වෙලා ඉදලා කරුවල වැටුනම, පාරේ ගමේ කොල්ලො ඉන්නවා ද කියල ඔත්තු බලල ඉක්මනින් බස් එකක නැග මාතර බලා පැමිණියෙමු.
එනකන් බස් එක පිටි පැත්තෙන් අපිව අඹවනවා ද නැද්ද යන්න ගැන සැලකිලිමත් වීමට ද අපි අමතක නොකලෙමු.
අපි අදටත් මතක් වෙන සෑම වෙලාවකම ඇන්ටාට දෙහි කැපීමට අමතක නොකරන්නෙමු.
අදටත් අපේ වලි වල නොමැකෙන හොඳම හා හාස්යජනක ම අත්දැකීම මෙයයි.
උපුටා ගැනීම: Indi Siriwardhana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!