බීබර් සර් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගෑනු ලමයි විතරක් ඉන්න ඉස්කෝලෙකට සර් කෙනෙක් එනව කියන්නෙ ඉතින් මරු කතරට දිය පොදක් වැටුන වගේ තමයි. එහෙම එන සර් තරුණ සර් කෙනෙක් වෙන්නෙ කණ කැස්බෑව විය සිදුරෙන් එලිය බලනව වගේ කලාතුරකින්.
ඔන්න ඉතින් අපේ ඉස්කෝලෙටත් ඉඳල ඉඳල එහෙම සර් කෙනෙක් අාව. සර් කිව්වට වැඩි වයසකුත් නෑ. මං හිතන්නෙ පලවෙනි පත්වීම වෙන්න අැති.
සර්ගෙ පෙනුම හරියට අනන්තයෙන් අා තරු කුමරා වගේ. ගෑනු ලමයෙක්ගෙ වගේ අහිංසක අැස්. නා දලු දෙතොල්, ලප කැලැල් මුකුත් නැති වාත්තු කරා වගේ මූණ. එ්ත් ඉතින් එ් කාලෙ අපි අනන්තයෙන් අා තරු කුමාරයවත් වෙන කොරියන් නලුවොවත් දැකල තිබ්බෙ නෑ. ඒ චංගුමී ලංකාවට එන්න කලින් කාලෙ.
එ් කාලෙ ජස්ටින් බීබර් තමයි කෙල්ලන්ගෙ සිහින කුමාරය වෙලා හිටියෙ. ජස්ටින් බීබර් ඉන්න ඩේ කාඩ් හරි බුක් මාක් හරි ගෙනැල්ල විකිණුවොත් ඉන්ටවල් එකට දිග අරින බත් එකකට වැඩිය ඉක්මන්ට ඉවර වෙනව. සර්ටත් තිබ්බෙත් ජේබීගෙ ලපටි සුකුමාල පෙනුම නිසා අපි සර්ව බීබර් සර් කියල රෙජිස්ටර් කරා.
ඒ කාලෙ උදෙන්ම සර් ව දකින කෙනා තමයි එදා දවසේ වීරවරිය. එ් චාන්ස් එක ගොඩක් වෙලාවට ලැබුනෙ අපේ සිස්ස නායක මඩුල්ලෙ විනයගරුක සිස්යාවන්ට තමයි. උන් ඉතින් පන්තියට අැවිල්ල සර් අැඳන් අාපු ශර්ට් එකේ පාටයි, දාන් අාපු සපත්තු දෙකේ අාලෝක පරාවර්තිත හැකියාවයි, අතේ බැඳන් අාපු ඔරලෝසුවෙ කටු දෙක තිබ්බ තැනයි ගැන පම්පෝරි ගහනව. හරියට උන් අරන් දීල වගේ.
අපිත් ඉතින් උන්ට සෙකන්ඩ් වෙන්න පුලුවන්ද කියල පාන්දරින් අැවිත් ජීවිත පවා අවදානමේ හෙලල ඔෆිස් එක ගාව කරක් ගහනව සර් අත්සන් කරන්න එනකම්.
අපරාදෙ කියන්න බෑ අපිව දැක්කම සර් නල දත පේන්න ලස්සනට හිනා වෙලා ගුඩ් මෝර්නිං ලමයි කියල කියනව. එ්කට මිස්ල සෙට් එක. උදේට දැක්කත් හිඟන්නො රැලක් දැක්කම වගේ අහක බලාගෙන යනව.
සර් ඉගැන්නුවෙ ඉතිහාසය උනාට අාපුම දවස් වල පන්තියක් බාර දීල තිබ්බෙ නැති නිසා ගුරුවරයෙක් නැති පීරියඩ් වලට තමයි එන්නෙ. අපි ඉතින් ගණං මිස්ට ජබර කලන්තෙ හැදේවා, ඉංගිරිස් මිස්ට බස් එක මිස් වේවා කිය කිය පාර්ථනා කර කර ඉන්නව. ඔහොම යද්දි දෙයියන්ට අපි ගැන දුක හිතිලද කොහෙද සිංහල මිස්ට බබෙක් හම්බවෙන්න අැවිත් මිස් නිවාඩු ගත්ත. එ් වෙනුවට බීබර් සර් අපේ පන්තියට සිංහල උගන්නන්න අාව.
තාම ඉලන්දාරි වයසෙ උනාට මොකද එයා කෙල්ලොන්ගෙ අැලුම් බැලුම් උකුලු මුකුලු වලට ලේසියෙන් අහුවෙන ජාතියෙ කෙනක් නෙවේ කියල අපිට වැඩි දවසක් යන්න කලින්ම තේරුනා. එ්ත් එක්කම අපිට තේරිච්ච තව දෙයක් තමයි අපේ සංගීත මිසුත් සර්ට කැමතියි කියන එක.
මොනව උනත් සර් ගොඩක් හොඳට ඉගැන්නුව. පොතේ තියන ජාතක කතා එහෙම හිතේ අැඳෙන්න කියල දෙනව. වෙනදට සිංහල පීරියඩ් එකේ නිදා ගන්න උනුත් සර්ට තියෙන කැමැත්ත නිසාම හොඳට වැඩ කරපු නිසා එ් පාර විභාගෙට අපේ පන්තියෙ හැමෝටම සිංහල වලට හොඳට ලකුණු තිබ්බ. එ් සැරේ සිංහල වලට වැඩිම ලකුණු අරන් ප්රයිස් එක ගත්තෙ පුංචි මම තමයි.
ඉතින් සර් ගැන අපේ තියෙන අාදරේ කැමැත්ත එන්න එන්නම වැඩි උනා. එ්කට අනුලෝමව සමානුපාතිකව සංගීත මිස් ගැන තියන අකමැත්තත් වැඩි උනා. අපිට සර් ව කවදාවත් හිමි උනේ නැතත් අපේ අැස් ඉස්සරහ පිටම සර් ව සංගීත මිස්ට අයිති වෙන්න දෙන්න බෑනෙ.
ඔහොම කාලය ගෙවී යනකොට දවසක් සර් අපේ පන්තියේ ඉද්දි හදිස්සි ගුරුවරුන්ගෙ රැස්වීමක් තියෙයි කියල යකඩ කටින් කියපු නිසා සර් එ්කට ගියා. කලබලේට පොත් ටිකත් දාල ගිහින්. අාපු අලුතනෙ ඉතින්.
අපි ඉතින් විනාඩි දහයක් විතර ඉවසීමෙන් බලන් ඉඳල සර් අායෙ අාපු නැති නිසා සර්ගෙ පොත් ටික අවුස්සන්න ගත්ත. සර් මේ දවස් වල නවකතා පොතක් කියවනව අපි රචනා විචාර එහෙම ලියනකම්.
“විරාගය” අපි ඉතින් වටවෙලා සර්ගෙ සුවඳ තැවරිච්ච පිටු එකින් එක පෙරල පෙරල තැනින් තැනින් කියව කියව හිනා වෙනව. එ් අස්සෙ අපිට පිටු අතරෙ දෙකට නවල දාල තිබ්බ කොලයක් හම්බුනා.
එකෙක් එ්ක උදුරගෙන හයියෙන් කියවන්න ගත්ත. ලියුමක් වගේ නිසඳැසක්. දැන් හරියටම මතක නෑ. එ්ත් ගලපල ලිව්වොත් මෙහෙමයි.
සදාදර ඊළඟට බීබර් සර්ගෙ නම
මව් පියන් වියරුවෙනි
පෙම්වතිය උමතුවෙනි
ගිනිගත් මගෙ හදට පිරිත් පැන් පොද නුඹය
නුඹේ නෙතු දුටු විගස මගේ හදවත නිවුණි
ලෝකයම එරෙහි වන මුත් අපේ අාලයට
නින්දාද ගැරහුම්ද සම සිතින් දරාගෙන
ලෝකයට නොපෙනෙන්න අපි අපේ වී හිඳිමු
සංසාරෙ පුරාවට අපි අපිට පෙම් කරමු
අන්තිමට සදා නොවෙනස් තිවංක කියල ලියල යටින් අත්සන් කරල තිබ්බ.
ගොඩක් දිගට තිබ්බ. මේක සාරාංශෙ. අපි ඔල්මොරොන්දං ලොන්ත පොල් වෙලා ගියා. හීන මාලිගා අපේ දෙපා මුල කැඩී බිඳී විසිරී වැටුනා. හැබැයි එ්ත් එක්කම සංගීත මිස්ගෙ හීන මාලිගාවත් බිඳ වැටෙනව කියල තේරුනාම කෘෘර සතුටකුත් හිතේ මෝදු නොවූවා නොවේ.
අපි දන්න එකම එක තිවංක කෙනෙක් විතරයි ඉන්නෙ. එ් තමයි අපේ ඉස්කෝලෙ කැඩෙට් පුරුදු කරන්න එන තිවංක සර්. එයා හමුදා නිලදාරියෙක්. උස මහත කලු තිවංක සර්ට කැඩෙටින් කරන ලමයි විතරක් නෙවේ අපිත් බයයි.
අපි හුඟක් දවසට දැකල තියෙනව තිවංක සර්රුයි බීබර් සර්රුයි පිට්ටනියෙ, නැත්තම් කැඩෙට් රූම් එකේ කතා කර කර ඉන්නව. අහසයි පොලවයි වගේ වෙනස් ගතිගුණ තියෙන එ් දෙන්න අතරෙ ලොකු යාලු කමක් තියෙනව කියල හිතද්දි පුදුම උනත් කොල්ලොනේ එක වයසෙනේ කියල අපි වැඩිය එ් ගැන හිතුවෙ නෑ.
තිවංක සර්ට අපි ඉස්කෝලෙ ඉන්න කාලෙම වෙන පලාතක තියෙන හමුදා කඳවුරකට මාරුවක් ලැබිල යන්න ගියා. මං මේ ලඟදි අපේ ඉස්කෝලෙ නංගි කෙනෙක්ගෙන් බීබර් සර් ගැන අැහුවම කිව්ව එයා අලුතෙන් ඉස්කෝලෙට අාපු මිස් කෙනෙක්ව බැන්ද කියල.
උපුටා ගැනීම: Arundi Wijesooriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!