“වාසුකී…. මගෙ ෂර්ට් එක අයන් කලාද?”
මිගාර බාත් රූම් එකේ ඉඳලා කෑ ගහනවා
“අනේ මිගාර මම මේ කෑම එක හදන ගමන් පොඩ්ඩක් ඒක අයන් කර ගන්නවද”
“මොන මගුලක්ද හලෝ හැමදාම කියනව රෑට ඇඳුම් ටික අයන් කරල පිලිවෙලකට තියන්න කියලා තමුසෙගෙ වැඩනම් කියල වැඩක් නෑ චික්…..”
මිගාරගෙ හඬේ තියෙන්නෙ ලොකු කෝපයක්,
“අනේ මිගාර ඊයෙ දුවට බේත් ගේන්න ගිහින් එද්දි රෑ උනා කියලා ඔයා දන්නවනෙ ඇයි ඔහොම කතා කරන්නෙ”
වාසුකී උත්තර දෙන්නෙ ඇස්වල කඳුළු පුරව ගෙන
“ඒ පාර තමුසෙ මාත් එක්ක එකට එක කියන්නත් එනවද….. ආ…. මිනිහෙක් ගෑණියෙක් ගන්නෙ ඒකිට නිකම් කන්න බොන්න දිදී ගෙදර තියාගන්න නෙමෙයි හරියට වැඩක් කරන්න බැරිනම් යනව යන්න තොලොංචි වෙලා….”
මෙතෙක් වේලා වාසුකීගේ නෙතින් ගලා ගිය කුඩා කදුළු බිඳු සිහින් ඉකි බිඳුමක් බවට පත් වන්නට වැඩි වෙලාවක් ගියේ නෑ
විනාඩියට දෙකට මිගාරගෙ කෑම එක පාර්සල් කරපු වාසුකී අත්දෙක හෝදගෙන මිගාරගෙ ඇඳුම අයන් කරන්න ගත්තා..
අම්මාහ්…..අම්මාහ්…… ඈ…ඈ…ඈ..ඈ..
ඒ අතර වාරයෙ ඇහැරුන පොඩි පුතා ගෞරව් මහ හයියෙන් අඬනවා… බාත් රූම් එකේ ඉඳන් එළියට ආපු මිගාර පුතාගෙ ඇඬිල්ල ගැන වගේ වගක් නැතුව කණ්ණාඩිය ඉස්සරහ හැඩ බලද්දි අයන් එක පැත්තකින් තිබ්බ වාසුකී පුතා ගාවට දිව්වෙ පුතා අඬන්නෙ මොකද කියලා බලන්න.
“සුදු පුතා මොකද අඬන්නේ….. ආ.. මැණික අම්මා තාත්තගෙ චෝක්කෙ අයන් කරනවනෙ ම්ම්ම්..”
තාමත් වයස අටමාසයක් උන පොඩි පුතා අඬන්නෙ හොඳටම බඩගිනි වෙලා තමයි කියලා වාසුකී දන්නවා ඊයෙ රෑත් පුතා කිරි බිව්වෙ බාගෙට කියලා වාසුකීට හොඳට මතකයි…..
“අයියෝ…වාසුකී…. තාම කලිසම අයන් කලේ නැද්ද මොකක්ද අයිසේ බලනව දැන් වෙලාව කීයද කියලා …”
කොණ්ඩෙ ජෙල් ගාන ගමන් මිගාර මොර දෙනවා මිගාර බාත් රූම් එකෙන් එළියට ඇවිත් දැන් විනාඩි දහයකටත් වැඩී ඒ වෙලාවෙ කණ්ණාඩිය ඉස්සරහට වෙලා හැඩ බලනකම් කලිසම අයන් කර ගත්තනම් මොනව වෙනවද වාසුකී පුතාට කිරි දෙන ගමන් කල්පනා කලා, පුතාව ඇඳ උඩින් තිබ්බ වාසුකී ආයෙමත් මිගාරගෙ ඇඳුම් අයන් කරන්න ගත්තා…
“වාසුකී…කෝ මගෙ සපත්තු දෙක..”
මිගාර මොර දෙනවා..
“ඔය ඇඳ යට තිබ්බෙ…”
“බලනවකො මේක යන්තම් පිහිදාලා තියලවත් නෑනෙ..”
මිගාර ආයෙත් කෑගහනව, අනේ මන්දා මේ මිනිහට මොන යකෙක් වැහිලද කියලා උදේ ඉඳන් කෑ ගහන එකමයි වැඩේ… රෙදි ටික අයන් කරපු වාසුකී මිගාරගෙ සපත්තු දෙක පිහදාන්න ගත්තා…
අම්මේ….මාව ලෑස්ති කරන්නකෝ…දැන් ස්කූල් වෑන් එක එන්නත් ලඟයි
මූණ හෝදගෙන ගෙට ආපු ලොකු දුව අයීෂා ඒ අස්සෙ මොර දෙනවා..
“කෝ මෙහාට එන්න ඔය කොණ්ඩෙ ගොතන්න”
මිගාරගෙ සපත්තු දෙක පොලිෂ් කරලා පැත්තකින් තිබ්බ වාසුකි දුවගෙ කොණ්ඩෙ ගොතන්න ගත්තා….
“කෝ …කෑම එක හරිද….”
ඒ..මිගාර
නළුවෙක් වගේ ලස්සනට හැඩවෙලා ඉන්න මිගාර ගාවින් එන්නෙ අළුත්ම ෆර්ෆියුම් එකක සුවඳ උසට සරිලන මහතක් තියෙන මිගාර ඒ කාලෙ ඉඳන්ම කොහොමත් කඩවසම්, ඒ කාලේ ඉටි රූපයක් වගේ ලස්සනට ඉඳපු වාසුකීගෙ ලස්සනම් දැන් එන්න එන්නම අඩුවෙලා
ආ…මෙන්න මහත්තයො කෑමඑක..
වාසුකී අත්දෙකෙන්ම මිගාරට කෑම එක දුන්නා…
“ඊයෙනම් කෑම එක මෙලෝ රහක් නෑ මම ඒක එහෙම්ම බල්ලට දැම්මා…අදත් එහෙමද දන්නෙ නෑ…”
මිගාර කියද්දි වාසුකීට දැනුනෙ කවුරු හරි පපුවට පිහියෙන් අනිනවා වගේ උදේ පාන්දර තුනේ ඉඳන් නැගිටලා මහන්සියෙන් හදපු කෑම එක බල්ලට දැම්මයි කිව්වම කොයි ගෑණිගෙද පපුව නොරිදෙන්නේ.. කෑම එක අතට ගත්ත මිගාර වාසුකී දිහා නොබලම ගෙදරින් පිටවුනා..
“අම්මා….මට කවන්නකෝ ..යන්න පරක්කු වෙනවා…”
ලොකු දුවගෙ කෑ ගැහිල්ල ඇහුන වාසුකී ඇස්වල තිබ්බ කඳුළු පිහදාගෙන දුව ලඟට ගියා….
“දුවේ කවද හරි දවසක කසාද බඳිනවනම් ගෑණියෙක් කියන්නෙ තමන්ගෙ වැඩකාරියක් ,වහලියක් කියලා හිතන
එකෙක්වනම් බඳින්න එපා ඊට වඩා හොඳයි තනියම ජීවත් වෙන එක.”
දුවව තුරුල් කරගෙන වාසුකී කිව්වෙ හිතේ තිබ්බ වේදනාව ඇස්වලින් එලියට පනිද්දි.
සමාප්තයි .
සමීර මධුසංක
ගෑණියෙක් කියන්නෙ මිනිහෙක්ගෙ වහලියක් නෙමෙයි කසාදයක් කියන්නෙ ගෑනියෙක් විතරක් තනියම බර උහුලන එකත් නෙමෙයි රෑට ඇඳ උඩදි විතරක් කසාද ගෑණිට ආදරේ කරන ගොඩක් පිරිමි ඊට පස්සෙ බිරිඳට සලකන්නෙ වහලෙකුට වගේ…..ඒකයි අද ලංකාවෙ බොහොමයක් පවුල් අවුල් වෙන්න ප්රධාන හේතුව ,
කාන්තාවකටත් අයිතියක් තියෙනවා තමන්ගෙ ස්වාමියා සමඟ එකඟ නොවිය හැකි තැන්වලදි එය ප්රතික්ෂේප කරන්න පමනට වඩා ඉවසීමත් එක්තරා විදියට අනුවන කමක්.
උපුටා ගැනීම: Sameera Madusanka