එකමත් එක කාලෙක එක දවසක එක උදෑසනක මමතුමිය හය හමාරට එන බස් එකට නගින්න හයයි විස්සට අවදි වෙලා, බාගෙට මූනත් හෝදලා, ලට පට ගහලා ලෑස්ති වෙලා ,බස් එක අපේ ගේ පහු කරන්න ඔන්න මෙන්න තියලා කඩාබිදගෙන සෙරෙප්පු දෙක අතේ අරන් ගිහින් අම්මගෙ සද්ද පූජාව මධ්යයේ නැග්ගා බස් එකට.බස් එකට වෙලා ඉතුරු ටිකත් ලෑස්ති වෙලා නිවීහැනහිල්ලෙ අයිනක් අල්ලගෙන දිගා වෙලා සැතපෙන්න හදනකොටම මෙන්න බෑග් එක අස්සෙ ඉදන් ෆෝන් රාජයා වලලන්න හදනවා.”මොන මල කරුමයක්ද මන්දා යකෝ” කියලා හිත හිත තියාගත්තා ෆෝන් එක කනේ.
“හෙලෝ ගුඩ්මෝර්නිං නන්නානි.බස් එකේද ඔබතුමී.”
” ගුඩ් මෝනිං….මේ මම තමුසෙට හැමදාම කියනවා මට නන්නානි කියන්නෙපා කියලා.මගෙ නම නන්නානි නෙමෙයි නිර්මානි.”
” හරි හරි නන්නානි ආයෙ කියන් නෑ.මේ බස් එකෙ නේද ඉන්නෙ.මම ටවුන් එකට එනවා මම එනකම් ඉන්නවා හොදේ.මාත් එනවා ඔයා එක්ක රූගෙ අයියා බලන්න යන මනමාලිගෙ ගෙදර යන්න..”
“එනවා නම් ඉක්මනට එනවා ලකල් ගහන් නැතුව.මට බෑ පාරවල් අයිනෙ වේලි වේලි ඉන්න.”
කියලා බෘංගරාජයට ආදරෙන් අමතලා ෆෝන් එක කට් කරලා සැප නින්දක් දාගෙන ගියා.ගිහින් බැස්සා ටවුන් එකෙන්.බස්ටෑන්ඩ් එකට වෙලා පැයක් විතර උඩබලන් ඉද්දි මෙන්න එනවා මනෝජ් හිනාව දාගෙන..
“මොනා කලාද මිනිහෝ මෙච්චර වෙලා.මම ඇවිත් දැන් පැයක් විතර වෙනවා.එක්කො මට ආව බස් එකේම යන්න දෙන්න ඕනි රෙද්ද ,නැත්නම් එනවා කිව්ව වෙලාවට එන්න ඕනි.දැන් බලනවකො බස් එකක් ගියා විතරයි.ආයෙ එකක් එනකම් මෙතන උඩබලන් ඉන්නෙපෑ ශික්.අරුන් ටික විනාඩියෙන් විනාඩියට කෝල් කරනවා පරක්කු වෙනවා කියලා”
කියලා මනෝජ් එනකොටම ජාතක කතා පොත කියවන්න පටන් ගත්තා.මූ ඒ ගමන නිකං “සිනාබෝ වේවා සිග්නල් ” වගේ දත් පනස් හයම දික්කරලා හිනා වෙලා කියනවා
“බස් වල යන්න දෙයක් නෑ හලෝ.මම බයික් එකේ ආවෙ.යං මම ටාන් ගාලා ඔයාව රූහිලගෙ ගෙදෙට්ට දාන්නම්”
කියලා
ඒක කිව්වා විතරයි මගේ සිත සතුටින් ඉපිලී ගියා.මනෝජ්ව දේවදූතයෙක් වගේ පේන්න ගත්තා.බැන්න එකට දෙපා නැමදලා සමාව ගන්න හිතුනා.හිතුනා විතරයි කරන්න ගියෙ නෑ.මම වදියි මේ නස්පෝනියට….(ඔය කිව්වට අවුරුදු දවසට වදිනවා ඉතින් )
දැන් ඔන්න මනෝජ්ගෙ පස්සෙන් ආවා බයික් එක ලගට.ඇවිත් හෙල්මට් එක එහෙම දාගෙන දැන් නගින්නයි ලෑස්තියි.බුද්දං සරනේ සිරස දරාගෙන කියලා එක සැරයක් ට්රයි කලා.බෑ….ධම්මං සරනේ සිත පහදාගෙන කියලා දෙවනි සැරේත් ට්රයි කලා බෑ…සංඝං සරනේ සිවුරු දරාගෙන කියලා ආයෙත් බැලුවා ඒත් බෑ…..මේ තුන් සරනේ ….කියලා කියන්න උන් නෑ මනෝජ් රවන්න පටන් ගත්තා.
මල කෙලියයි.මේ මොන හතරවිලි ලැජ්ජාවක්ද යකෝ..වටේ ඉන්න උනුත් ලාවට ලාවට වගේ බලනවා අපි දිහා…නිකං අර පෙරහැරේ මහ බඹා කෝලම දිහා බලනවා වගේ.මම තනිකකුලෙන් බයික් එකේ එකපැත්තකට කකුල තියාගෙන අනිත් කකුල සීට් එකෙන් එහා පැත්තට දාගන්න ශරීරේ තියෙන මුලු වෙර වීරියම යොදලා දිවි පරදුවට තබා සටන් වදිනවා. ඒ අස්සෙ මනෝජ් කටවහගෙන හරි හුරතල් විදියට මට බනිනවා..
“හැමදාම කියනවනේ ඔය කොට මගුල අදින්නෙපා කියල.බලපියකෝ දැන් බයික් එකට නැගගන්න බෑනෙ ඉතින්.වටේ මිනිස්සු හිනා වෙනවා ගෑනියේ.අර බලපියකෝ අතන වීල් පාක් එකේ උන් මැජික් පෙන්නවා වගේ බලන් ඉන්නෙ.තමුසෙ බස් එකේම එනවා.මොන ලබ්බක්ද මේක.හිටපියකො මම තොගේ ඔය සාය හතරට පලලා අර ගෙදර ඉන්න බල්ලගෙ කරේ ගැට ගහනවා.” කිය කිය..
ඔව් ඔව් තෝ කියනකම් තමයි මේ හිටියෙ සාය හතරට පලන්න.මම ආවෙ බස් එකේ යන්න.ඒකෙ යන්නෙපා, එනකම් ඉන්න කියලා කිව්වෙ කවුද දන්නෑ.එක්කො බයික් එකේ එනවා නම් කලින් කියන්න ඕනි එහෙනම් මම ඩෙනිමක් දාන් එනවානෙ.මුකුත් කියන් නැතුව අරාබි ඔටුවෙක් වගේ බයික් එකේ ඇවිත් ඒකට නැගගන්න බැරි උනාම දැන් මට බනිනවා..දෙන්න හිතයි හක්ක නාලු වෙන්න
කිය කිය මම මූනත් කිලෝමීටරයක් විතර දික් කරන් දුෂ්ට පෙම්වතාට හිතින් බනිනවා.මූන දැක්කම පව් කියලා හිතිලද කොහෙද බනින එක නවත්තලා මනෝජ් මාව සී.අයි.බී. එකට එක්කන් ගිහින් සාක්කු වල තිබ්බ සතපනහෙ කාසිත් එක්කම ඔක්කොම තබදොයිතුවක් නැති වෙනකම් එකතු කරලා දෙදාස්ගානක් දීලා ඩෙනිමකුත් අරන් දීලා ඒකත් එහෙමම චේන්ජ් කරන් දෙනොදාහක සුවහසක් ජනී ජනයාගෙ චාටර් දෑස් වලට හසු වෙමින් අර ටවුන් එක මැද්දෙ මාව ආපහු බයික් එකට නග්ගගෙන යන්න ආපු ගමන ගියා.
මගෙ කරුමෙක මහත කියන්නෙ එදා ඔය සිද්දිය මනෝජ්ගෙ ලොකු මස්සිනා කියන එකා ටවුන් එකෙ ඉදන් බලාගෙන ඉදලා.
අපි කසාද බැන්දට පස්සෙ මනෝජ්ගෙ ගෙදරට මුලු හත්මුතු පරම්පරාවම එකතු වුන බර්ත්ඩේ පාර්ටියක් වෙලාවක අර ලොකු මස්සිනා කියන ඇමසන් කුකුලා ඔය හතර විලිලැජ්ජ නැති කතාව හරිම තුච්ච ලෙස හැමෝම ඉදිරියෙ දිග ඇරියා..
ඒකෙ දුකට මම මනෝජ්ට කපන්න කියලා මස්සිනා කාරයා ගෙනාව බර්ත්ඩේ කේක් එක, එක හුස්මට කාගෙන කාගෙන ගියා..අසමජ්ජාති ලොකු මස්සිනා.ඕකා ගිය ආත්මෙ සීසීටී කැමරා එකක්ද කොහෙද..කානු කටා …ක්රෑහ් තුහ්…..
නිමා…
උපුටා ගැනීම : Nirmani Sandareka