“කොහොමද මිසිස් අබේකෝන් දැන් ඔයාගේ හස්බන්ඩ් ට ?. “
“හස්බන්ඩ් නම් හොඳින් මම හිතන්නේ, දැන් ගොඩදවසකින් කෝල් කලෙත් නෑ හැබැයි.. කතා කරන්න විදියකුත් නෑනේ ඉතිං අපිට. හස්බන්ඩ් සාමාන්යයෙන් මාසෙකට සැරයක් කතා කනවා.. දැන් ගොඩ දවසකින් නම් කෝල් එකක් දුන්නේ නෑ
හැබැයි.. “
මිසිස් අබේකෝන් කියා අමතන ඇය ශල්ය වෛද්යවරියකි. හෙතෙම අනුරාධපුර හමුදා රෝහලේ රාජකාරි කරමින් සිටියාය.
මාගේ අම්මා වෘත්තියෙන් ගුරුවරියකි. පියා යුධ හමුදා නිළධාරියෙකු විය. මේ කතාව සිදුවන විට මාගේ අම්මා ගුරුවෘත්තිය සිදු කල පාසලේම මාද දෙවන ශ්රේණිය ඉගෙනුම ලබන පාසල් ශිෂ්යයෙකු විය.
එදින මේ පවසන ලද වෛද්යවරිය ඇගේ දරුවා රැගෙන යාම සඳහා , ඉගෙනුම් කටයුතු අවසන වේලාවේ, අප පාසල වෙත පැමිණ එහි ගුරුවරියක ලෙස රාජකාරි කටයුතු කල මාගේ අම්මාගෙන්, මාගේ පියා පිළිබඳව කරුණු විමසා සිටියාය. එම වෛද්යවරියගේ දරුවාටද ඊට ඉහත අවුරුද්දෙදි මාගේ අම්මා විසින් ඉගැන්වීමේ කටයුතු සිදු කර තිබු හෙයින්, එම වෛද්යවරිය මාගේ මව, පිලිබඳවද යම් තාක් දුරක හැඳුනුම්කමක් පවතින්නට විය.
හිතමිත්ර ආදීන් අතර එලෙස තම පවුලේ උදවිය කෙරේ කරුණු විමසන කටයුත්ත සාමාන්ය සිරිතක් බැවින්, එදින එම වෛද්යවරිය විමසු කාරණය කෙරෙහි පිලිතුරක්, සාමාන්ය පරිදිම ලබාදීමට අම්මා කටයුතු කර තිබුණේ, දුරකතන, මොබයිල් ෆෝන්, අන්තර්ජාල පහසුකම් නොමැති 1992 වර්ෂය වැනි තාක්ෂණය අතින් නොදියුණු කාල වකවානුවක, අප්පච්චි පිළිබඳව කිසියම් හෝ යාවත්කාලීන තොරතුරක් කෙරෙහි අල්ප මාත්රයක් හෝ නොදැනය.
අප්පච්චි කෙරෙහි නැගු පැනයට අම්මා විසින් ලබා දුන් පිලිතුර ඔස්සේ වැඩිදුර කරුණු විමසා යාමට හෙතෙම එම වෛද්යවරිය කටයුතු කර නොමැත්තේද, අම්මා අප්පච්චි කෙරෙහි දන්නාවූ සීමිත තොරතුර එවැන්නම පමණක් වූ නිසාය.
එබැවින් ආගිය තොරතුරු විමසා කෙටි පිළිසඳරක යෙදී තම දරුවාද කැටුව, පාසලින් නික්මියාමට හෙතෙම, එම වෛද්යවරිය කටයුතු කර තිබුණි..
දින දෙකකින් උදාවූයේ ඉරුදින දහම්පාසල් දිනයයි. සුපුරුදු පරිදි අයියාත් මාත් දහම්පාසල් ඉගෙනුම් කටයුතු සඳහා පන්සල වෙත ගොස් සිටියෙමු. විවේක කාලයේදී අපට අප්පච්චිගෙන් දුරකතන ඇමතුමක් ඇති බව පන්සලේ නායක ස්වාමීන් වහන්ස විසින් සැලකර ලදුව එම ඇමතුම ලබා ගැනීමට හැකියාව ලැබිණි.
“සුදු පුතේ, කොහොමද. ඔක්කොම හොඳින්ද. දවල්ට කෑවද, ඉස්කෝලේ වැඩ කොහොමද, නංගි හොදින් බලාගන්නවා නේද. අම්මි එහෙම හොදින් නේද.. “
ඒ අප්පච්චිගේ සාමාන්ය ප්රශ්න වූවද, අප්පච්චි සමග මෙහෙම දුරකතන ඇමතුමක් මගින් කතා කෙරෙන්නට ලැබෙන්නේද ඉතා කලාතුරකින් වීම නිසා අයියත් මාත් අප්පච්චි සමග කතාකරන මේ මොහොත ඉතාමත් ආදරණීය මුහුණුවරක් වන්නටම විය.
“අපි ඔක්කොම හොඳින්, අප්පච්චි හොඳින්ද. “
පැවතියේ මද නිහැඬියාවකි.
“අප්පච්චි …? “
” පුතේ මෙහෙම කීවට බයවෙලා කලබල වෙන්න එපා. අම්මිටත් කියන්න කලබල වෙන්න එපා, දැන් අප්පච්චිට ගොඩක් හොඳයි කියලා.. අම්මිට කියන්න, අප්පච්චි ඉක්මනින් නිවාඩු එනවා කියලත්..”
“අප්පච්චි, ඇයි මොකද අප්පච්චි … “
කුතුහලය දනවා ඇතිවූයේ ඉමහත් ප්රෙහෙලිකාවකි.
“පුතේ, අප්පච්චි ගිය සතියේ බිම් බෝම්බයකට අහුවෙලා ගොඩාක් තුවාල වුනා. බෝම්බයට අහුවෙලා අපි ගිය ජීප් එක අපිත් එක්කම අඩි ගාණක් උඩට විසිවෙලා තමයි බිමට වැටුණේ. බයවෙන්න එපා. අම්මිට කියන්න කලබල වෙන්න එපා කියලා. සතියක් විතර අනුරාධපුර හොස්පිටල් එකේ ඉඳලා හොඳ වුනාට පස්සේ තමයි ආයෙත් කෑම්ප් එකට ආවේ. වැඩ ටික ඉවර කරල, මම ඉක්මනින් නිවාඩු එන්නම්කෝ. “..
එදා සිදුවූ සිදුවීමට අනූව, යම් රාජකාරි කටයුත්තක් සඳහා කඳවුරින් පිටත් වූ අප්පච්චි ගමන් ගත් ජීප් රථය, මුලතිව් ප්රදේශයේ කැලෑබද හුදෙකලා පෙදෙසකදී, කොටි ත්රස්තවාදීන් ඇටවූ පීඩන බෝම්බයකට හසුව පිපිරී ඉහළට අඩි ගාණක් විසිවී නැවත පොළොවට පතිත වී තිබේ.
එසේ ඉහළට විසිවී යන අවස්ථාවේ ඔහුත්, ඔහුගේ රියදුරුත් විසින් ජීප් රථයේ දොරවල් හැර, ඉන් නික්මීමට කටයුතු කර ඇතත්, ඉහළට ඇදී යන විට ඇතිවන සුළඟේ ප්රතිරෝධය හමුවේ දොරවල් හැරගැනීමට නොහැකි ව, එහි ජනෙල් විවරය හරහා පිටතට පැනගැනීමට කටයුතු කර ඇත.
අප්පච්චිටත් ඔහුගේ රියදුරුටත් එසේ ජීප් රථයෙන් පිටතට පැනගත හැකිවූවද, පොළොව මට්ටමින් අඩි ගණනාවක් ඉහළ සිට දෙදෙනාම, බිම් බෝම්බ ප්රහාරයට ලක් වූ ජීප් රියට සමාන්තරව එකසේ පහළට ඇදගෙන වැටෙමින් එම ජීප් රථයට නුදුරින් පොළොවට පතිත වී, එකී බිම් බෝම්බ ප්රහාරයෙන් දිවි ගලවා ගැනීමට සමත්වී තිබේ.
පිපිරීමෙන් ඇතිවූ කම්පනයත්, වෙඩි කැබලි ද්රව්ය සිරුරේ වැදීමත් සහා අඩි ගණනාවක් ඉහළක සිට කිසිදෙයක ආධාරකයක් නොමැතිව, එක එල්ලේ පොළොවට පතිත වීමත් නිසා ඇතිවු තුවාල ආබාධ තත්ව මත මෙලෙස අප්පච්චි සහ ඔහුගේ රියදුරු අනුරාධපුර රෝහල වෙත වැඩිදුර ප්රථිකාර සඳහා යොමු කර තිබේ.
වඩාත් විශ්මය දනවන එහෙත් දුක්ඛිත කරුණ නම්, අප, අපගේ අප්පච්චි එලෙස බිම් බෝම්බයකට හසුවී අනූ නවයෙන් දිවි ගලවා ගත් පුවත දැනගනු ලබන්නේ එම ප්රහාරය සිදුවීමෙන් සති කීපයකට පසුවය.
“පුතේ, අම්මිට කියන්න.. මගේ ඔපරේෂන් එක කලේ අම්මගේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ අම්මා කියලා. ඒ ඩොක්ටර්, මගේ ගෙවල්, විස්තර ඇහුවම, ඒ ඩොක්ටර්අම්මිව හොඳට දන්නවා කීවා, එයාගේ පුතාගේ ගිය අවුරුද්දේ පංතිභාර ටීචර් විදියට උගන්නලා තියෙන්නේ අම්ම කියලත් කීවා. “
විනාඩි ගණනක සංවාදයකින් පසු, දහම්පාසල් අවසානයෙන් ඉක්බිති ගෙදර පැමිණි අයියා සහ මම, අප්පච්චි හා එක්ව සිදු කල දුරකතන සංවාදයත්, අප්පච්චිට සිදුවූ අනතුරත්, ඔහුට ශල්යකර්ම සිදු කල වෛද්යවරියගේ විස්තරත් එකසේ අම්මා හට පවසන්නට විය.
ඒ පුවත අසා අම්මා දැඩිලෙස දුක් සංතාපයට පත් වූ හෙතෙම කිසිවක් කර කියාගත නොහී අප ඉදිරියේ හඬන්නට විය. ඒ ශෝක ජනක අවස්ථාවේ තනියම ඈගේ සිතට පිළිපන් දුක් මුසු හැඟීම කොතරම් දැයි වචනයකින් පැවසිය නොහැක. අප කොතෙකුත් ඈ අස්වසාලීමට කරුණු පහදා සිටියද, කුඩා අපගේ මොලකැටි වදන් ඒ සා විසාල දුක් දෝමනස්සයන් දුරු කරලීමට තරම් දරඳඬු නොවීය. සැමදාම වාගේ ඈ තම සිතට ඇතිවූ ශෝකය තනිවම විඳදරා ගත්තා සේම, දිරිය ගැහැණියක් ලෙස මේ මොහොතේද තම දුක් දොම්නස තනිවම තුනී කරගත්තාය.
මද වේලාවකින්, එක හෙලාම අම්මට මතක් වූයේ , ඊට දින කීපයකට පෙර එකී වෛද්යවරිය පැමිණ අප්පච්චි කෙරෙහි ඇසූ ප්රශ්නය ගැනයි.
“කොහොමද මිසිස් අබේකෝන් දැන් ඔයාගේ හස්බන්ඩ් ට. “
එසේනම් මේ විමසුමට මූලික වූ කාරණය, අප්පච්චී මෙලෙස බෝම්බ ප්රහාරයට ලක් වී තුවාල ලබා ඇති නිසා බැව් තේරුම් ගැනීමට සංතාපයට පත්ව සිටි අම්මට තවත් වැඩි වේලාවක් ගත නොවීය.
අම්මා එවෙලෙහි එම වෛද්යවරිය අප්පච්චි කෙරෙහි නැගු පැනයට දන්නා සැටියෙන් පිලිතුරක් දී තිබුණේ ද, ඉන් ඔබ්බට හාරා ඇවිස්සීමක් නොකර එම සංවාදය වෙනතක ගෙනයාමට කටයුතු කෙරුමට එම වෛද්යවරිය ස්ථානෝචිත කටයුතු කර ඇත්තේද, වැඩියමක් කතා බහක් වූවහොත්, අප්පච්චිට සිදුවූ අනතුර පිළිබඳව නොදත් අම්මා ඉන් කලබලයට පත්වේ යැයි යන කරුණ නිසා විය යුතුය.
මේ අප ජීවත වල ගත කෙරූ එක් කාලපරිච්ඡේදයක් ම විය. නිවසින් පිටවී රාජකාරිය සඳහා යන අප්පච්චි කෙරෙහි විස්තරයක්, අප ලබන්නේ, ඔහුත් සමග දුරකතනයකින් හෝ සංවාදයේ යෙදීමට හැකියාව ලද්දේ ඉතා විරල වශයෙනි.
එකල තාක්ෂණය අනූව, අප සතුව ජංගම දුරකතන, දුරකතන සහ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැත. අප්පච්චි දුරකතනයකින් කතා කලොත් ඒ ඔහු, නිවසින් බැහැරව සිටින මාසයකට, දෙකකට එක් වරක් කීවොත්, එය ඔබ අපට පුදුමයක් නොවන බව ප්රත්යක්ෂය.
අප්පච්චිට මේ සා විශාල අනතුරක් සිදු වී, අප ඒ පිළිබඳව දැනගැනීමට හැකිවෙන්නේ සති ගාණකිනුත් අනතුරුව වීමත් , එම කාල පරිච්ඡේදය අනුව පුදුමයක් නොවනු ඇත. මේ එක් කතා පුවතක්ම පමණි. මෙවැනිම කතා පුවත් සියක් දහසක් මේ රට තුළ අනන්ත අප්රමාණව ලෙසින් , එ දවස ගොඩනැගී තියෙන්නට ඇති.
ඉතින් අප අද සතුටු වෙමු. එවන් අඳුරු යුගයකට තිත තැබූ පරිසරයක ජීවත් වීමට හැකි වීම පිළිබඳව සහා, එවන් සාමකාමී වාතාවරණයක් ඔස්සේ අපට අනෙකාගේ සුවදුක් විමසීමට, යාවත්කාලීන තොරතුරක් දැනගැනීම පිණිස තරම් ඇවැසි මොහොතේ ක්රමවත් තාක්ෂණයක් වත්මන් සමාජය පුරා ව්යප්තව ඇති නිසාවෙන්.
තම ආදරණීයයන් සුවෙන් දැයි, ඔවුන්ගේ තොරතුරු කෙසේදැයි විමසීමට තරම් ඇවැසි වටපිටාව ඇසුරු සැනින් අදහස් හුවමාරු කරගැනීමට තරම් අද දවසේ අප ඔබ භග්යසම්පන්න වී ඇත්තෙමු.
තිස් වසරක බෙදුම්වාදී කුරිරු අරගලයෙන් පීඩිතව හෙම්බත් වූ සමස්ත ශ්රී ලංකාවම, ඒ අඳුරු අගාධයෙන් ගොඩගෙන, සෞභාග්යයමත් අනාගතයක් උදා කරලීම උදෙසා තම දිවි, ඉස් මස් ලේ පුද කර කැප වුණු වීරෝධාර රණවිරුවන් අප සාඩම්බරයෙන් ගෞරවයෙන් ස්මරණය කල යුත්තේ ඒ නිසාමය.
ඔවුන් නොවන්නට, තව දුරටත් මේ සුන්දර ශ්රීලංකාද්වීපයෙහි
“කොහොමද මිසිස් අබේකෝන් දැන් ඔයාගේ හස්බන්ඩ් ට. ” …,
එවැනිම අකාරයේ සුවදුක් විමසීම්, සතුටුදායක පිලිතුරක් රහිතව, සදාකල්ම උහතෝකෝටික පැනයක් ලෙස තව දුරටත් පැන නැගෙනවා නොඅනුමානය.
උපුටා ගැනීම: Moditha Lakshitha Abeykoon