බිදුණු හදවත් සුසානය (කෙටි කතාවකි) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇනා කෞතුකාගාරයට ඇතුළු වනු බලා සිටි පරාක්රම වීදිය දිගේ මදක් ඉදිරියට ගොස් කෝපි හලකට ගොඩ වැදුණේ මද පිපාසයක් දැනුණු බැවිනි. ප්ලිට්විට්සා (Plitvice) උද්යානයේ අපූරු දිය ඇළි සමූහයම හොදින් පෙනෙන සේයාරුවක් ගැනීමට කන්ද මුදුනට සෑහෙන දුරක් ඇවිද ගිය බැවින් සුවදායි මද වෙහෙසක් ගතට දැනේ. ලංකාවේදී මෙන් ගත දහදියෙන් තෙත් නොවීම නිසා දුරක් ඇවිද ගියද අපහසුවක් වූයේ නැත.
කලාකාරියක් වූ ඇනා කාන්දමකින් මෙන් කෞතුකාගාර කෙරෙහි ඇදී යාමද, තමන් ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් දිය ඇළි, ගංගා, කදු, විවිධ අමුතු ව්යුයහන් සහිත ගොඩනැගිලි කෙරෙහි ඇදී යාමද සැමදා සිදුවන්නකි. දෙදෙනා එක්වන් දැඩි උද්යොගයකින් සහභාගි වන්නේ යම් නුවරකට ගිය විට එහි ආහාර සංස්කෘතිය හදුනා ගැනීමට සහභාගි වන චාරිකා වලටය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “ෆුඩී” ලා වන දෙදෙනා විවිධ කෑම හදන්නට මෙන්ම විවිධ කෑම රස බලන්නටද එකසේ රුසියෝ වෙති.
අදද සවස හයට සාග්රෙබ් (Zagreb) නුවර පැය තුනක් ආහාර චාරිකාවකට ඔවුන් ලියාපදිංචි වී අවසන්ය. ඒ වන තුරු ඇති පැය දෙකක කාලය තුළ ඔහුට අවශ්ය පින්තූර තෝරා ජර්ලනයේ අද දිනට අවශ්ය සටහන් ලියා අවසන් කළ හැකිය.
සරසවියේ එක්ස්ප්ලෝරර් සංගමයේ සාමජිකයෙකු ලෙස කදු නගින්නට හෝ වෙනත් චාරිකාවක ගිය විට පටි ගැලවුණු බෑගයේ දමාගෙන ගිය පිටු එකසිය හැටක පොතක් දිනය අවසානයේ තමන් එදින තුළ ආගිය තැන්, දුටු දේ විස්තර සහිතව ලියා, ගත් ප්රවේශ පත්ර, කෑම බිල් හා බස් ටිකට් පවා ඇලවීම ඔහුගේ පුරුද්දක් විය.
දැන් ඒ සියල්ල ඔහු අතේ ඇති දුරකථනයේ ඇප්ලිකේෂනයක සටහන් වෙයි. එදා මහපොළ පිරිමසා ගෙන, අම්මාට වැඩි කොටසක් යවා කැන්ටිමේ පොතට කමින් දිවි ගෙවූ සරසවි මානවකයා අද යුරෝපා රටවල් රැසක එකවර සංචාරය කළ හැක්කෙකු වී ඇතද ජීවිතයටද ලෙයටද මුල් අල්ලා ඇති ඇතැම් පුරුදු ගලවා දැමීම‌ට කාලයට හැකියාව ලැබී නැත.
පැයකට පමණ පසු පරාක්රම හිස එසවූයේ උදෑසන සිට දිය ඇල්ල බැලීමට ගිය ගමනේ විස්තර ලියා මනස්කාන්ත පින්තූර තෝරා එක්කිරීමෙන් පසුවය. “පරාගේ චාරිකා” බ්ලොගයට මේ දිනවල දවස්පතා අපූරු සටහන් එකතු වන්නේ එහි පාඨකයන් අමන්දානන්දයට පත්කරවමිනි.
යාබද බොස්නියාවේ ගත කළ දෙදින තුළ මොස්ටර් (Mostar) නුවරට හා යුද්ධයෙන් බිදී ගිය පාලම බලන්නට ගිය ඔහු එහි සටහන දැමුවේ පෙරදා සවසය. එරටද මෙවර සංචාරය කරන ගොඩට ඔහු දමාගත්තේ පාසල් කාලයේ බොස්නියානු යුද්ධය ගැන ලංකාවේ ප්රවෘත්තිවලද නිතර දෙවේලේ ඇසුණු බැවින් ඒ හා විශේෂ සමීපතාවක් දැනුණු බැවිනි. බ්ලොග් පෝස්ටුවේ ප්රතිචාර බලද්දී ඔහු මෙන්ම බොහෝ මිතුරෝද ඒ පිළිබදව සිහි කර තිබුනු බව ඔහුට පෙණිනි.
ඔහුගේ සරසවියේද පාසලේද මිතුරෝ බොහෝ දෙනෙක් බ්ලොගයේ පාඨකයෝ වෙති. ඔහු ලියන්නේ තමන් මෙන් ලොව වටා අසිරිය දකින්නට පිරී ඉතිරෙන ආසාවක් ඇතත්, හැකියාව නැති බොහෝ උන් සදහාය. එසේ නැත්නම් මුදල් අතේ ගැවසෙන අනාගතයක ලොව එක්ව දකින්නට පිළිණ දී, සැළසුම් කර මග දී වෙන් වුණු කෙනෙකුට පෙනීම සදහාය.
———————————————–
පහාමාර වන විට ඇනාට ඇමතුමක් දී ඔහු කෞතුකාගාරය අසලට ආවේ හයට දේවස්ථානය අසලින් ආහාර වන්දනාවේ යන කණ්ඩායමට එකතු විය යුතු බැවිනි. “Museum of Broken Relationships’ නම ගැසූ ගොඩනැගිල්ල ඉදිරිපස පදික වේදිකාවේ ඇනා සිටගෙන සිටිනු ඔහු දුටුවේ ඈතදීය. ඇයට එය අල්ලන්නට නැති බව ඔහු සිතුවේ සිනාවකිනි. නැතහොත් කෞතුකාරයකින් ඇදගෙන මෙන් මිස ඇනා පිටතට ගනු බොරුය.
“කොහොමද? හොද නැද්ද?’
“නෑ හොදයි. මට ටිකක් මහන්සි දැනුණා” ඇනා කියන්නේ ඇද පැදය. කසාක් කතක වන ඇයද තරුණ වියේදී සිඩ්නි නුවරට පැමිණි බැවින් තවමත් පරාක්රම තරමට ඉංග්රීසිය එතරම් දිවට හුරු නැත.
“එහෙනම් ගමන නවත්තලා හෝටලේට යමුද?” පරාක්රම ඇසුවේ ඇනාගේ මුහුණද ඇදුරු වී තිබෙන නිසාය. ඇය සාමාන්යයෙන් ලෙහෙසියෙන් වෙහෙසට පත්වන්නියක නොවේ. නමුත් දැන් සතියක් පමණ රටවල් කිහිපයක හෝටල් කිහිපයක නිසි විවේකයක් නොමැතිව ගත කිරීමේ ඵල විපාක පරාක්රමගේ සිරුරටද දැනේ.
ඇනාට පුතාගෙන් වෙන්ව සිටීමේ වේදනාවද දැනෙනු ඇත. ඇගේ පළමු විවාහයේ සිව් හැවිරිදි පුතු වන ජේසන් මේ සතිය ගත කරන්නේ ඔහුගේ පියා, මැක් සමගය. තමන් දෙදෙනාට නිදහසේ චාරිකා කර එන්නට යැයිද තමන් පුතා හා ප්රමාණවත් කාලය ගෙවීමට එම සතිය යොදාගන්නා බවද මැක් කීවේ ඉතා සතුටිනි. වසර දෙකකට පෙර වෙන් වුවත් තවමත් ඔවුන් දෙදෙනා හොද මිතුරන් ලෙස එකිනෙකාට උදව් කරගනිමින් වාසය කරති. මැක්, ඇගේ පෙම්වතා වන තමාට පවා සළකන්නේ ඉතා ලෙංගතුවය.
“නෑ නෑ කමක් නෑ”
නමුත් පැය තුනක් විවිධ අවන්හල්, සාම්ප්රදායික ආහාර සාදන ස්ථාන, වීදි ආහාර කඩ ආදියෙහි සැරිසරමින් ගත කරද්දී පවා ඇගේ මුහුණ ප්රබෝධමත් නොවූ බව ඔහු පෙනිණි. සාමාන්යයෙන් ඕනෑම සාමාන්ය ආහාරයක් අමුතුම කෝණවලින් බලා අපූරු විචිත්ර සේයාරූ ගැනීමට හැකි ඇය කැමරාව පිටතට වත් නොගත් බවද මුලු කාලය පුරාම වෙනත් කල්පනාවක සිටි බවද ඔහුට පෙනිණි.
තව දින දෙකකින් නැවත සිඩ්නි බලා යන බැවින් ඇයට එහි ගොස් විවේක ගන්නට හැකි වෙතැයි ඔහු සිතුවේ සහනයෙනි. තමන් ආපසු යන දිනට පසුදා රැකියාවට යා යුතු වුවත් නිදහස් කලාකාරියක වන ඇනාට නිවසේ සිට විවේක ගෙන වැඩ කළ හැකිය.
ඇනා පුතාටද මැක්ටද කතා කර යහනේ උණුසුම් පොරෝනය යටට ආවේ පමාවීය. ඇය ඒත් නොනිදා සිටින බව වැටහුණද පරාක්රම කතා කළේ නැත. වැඩිහිටි වියේ පෙම් කිරීම යනු අනෙකාට හුස්ම ගන්නටවත් නොදී තරයේ ළං කරගෙන සිටිීම නොවන බව පරාක්රම දනී. ඔහුට සිතුණේ බිදුණු බැදීම් ගැන ඇති කෞතුකාගාරය නැරඹීමෙන් ඇනා සිත් වේදනාවට පත්වන්නට ඇති බවය. මේ කෞතුකාගාරයේ ලොව වටා විවිධ පුද්ගලයන්ගේ බිදුණු බැදීම්වල සැමරුම්ද එයට අදාළ කතා වස්තුද සටහන් බව ඔහුට කීවේද ඇයය.
ඇනාගේ මව්පියන් ඇය කුඩා කල වෙන්වීමද, එය තමාගේ වරදකින් වුයේ යැයි ඉතා බාල වියේ සිටි ඇනාගේ සිතේ තදින් සටහන් වීමද නිසා ඇනා වැඩිහිටි වූ පසුවද ප්රබල තනිකමකින් හා අනාරක්ෂිත හැගීමකින් පීඩා විදි බවද ඔහු දනී. ඇය වසර ගණනාවක් එ සදහා ප්රතිකාරද ලබා ඇත. සිඩ්නි නුවරට පැමිණි පසු හදුනාගත් මැක්ගෙන්ද ඇය කෙටි කලකින් වෙන් වූයේ එහි ප්රතිඵලයක් ලෙසට බව ඔහුට හැගී ඇත. තමා හදුනාගෙනද කලක් වුවද තම විවාහ යෝජනාව පිළිගැනීමට ඇය තව කල් ඉල්ලන්නේද එබැවින්ය.
ඇතැම් විට ඇයට මව්පියන්ද මැක්ද දැඩිව සිහිවන්නට ඇත. මවගෙන් වෙන්වී ඇමරිකාවේ පදිංචියට ගිය පියා සමග ඇනාට කිසිදු සම්බන්ධයක් නැත. වසර කිහිපයකට වරක් ගොස් මව බලා ඒම හැර සම්බන්ධයක් ඇය සමගද නැත. ඇයට මේ සියල්ල සිහිවන්නට ඇත.
සංචාරයෙන් මාසයකට පසු දිනක් ඇනා මැක් සමග පුතු පිටතට යවා ඔහු සොයා ආවාය.
“පරා, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා”
ඇගේ දෑස් දුටු ඔහුට බිය සිතුණේ යම් රෝගයක් පිළිබදව කියන්නට යන්නේ දැයි සිතාය. පියා අංශබාධ රෝගයෙන් දුක් විදි හැටි දුටු ඔහු සතුරකුටවත් රෝ පීඩා නොවන්නට යැයි ප්රාර්ථනා කරන්නෙකි.
“ඇයි හනී?”
“පරා, ඔයාට මතකද මම සාග්රෙබ් මියුසියම් එකට ගිය දවස? බ්රෝකන් රිලේෂන්ෂිප්ස්? “
“ඔව් ඇනා ඇයි?”
“පරා, ඒකෙ ඔයාගේ සේෆ් එකේ තියන පරණ වොච් එක වගේම තව වොච් එකක් තිබුණා. වෙන් වෙලා ගියත් ආයෙ එනකම් බලා ඉන්නවා කියලා නෝට් එකක් එක්ක. ඒක ලියල තිබුණේ සදුනි”
ඇනා තමන්ගේ කණට අතුල් පහරක් ගැසුවද තමන් මේ තරම් කම්පනයට පත් නොවනු ඇතැයි ඔහුට සිතිණී. ඔහු බලා සිටියේ කතා කරන්නට වචන නොආ බැවිනි.
සදුනි, තමන් හැර ගිය, ජිවිතයේ කටුක මාවතක තමන් තනි කර ඈත ගිය සදුනි.
ඔහු ඇනාගේ සුදෝ සුදු රවුම් මුහුණ දෙස නිහඩව බලා සිටියේ උමතුවෙන් මෙනි. තමන්ගේ මේ ප්රතිචාරය ඇගේ සංවේදී සිත දැඩිව රිදවනු ඇති බව දැන සිටියද ඔහුට තමාව පාලනය කළ හැකි වූයේ නැත. තමන් සදුනිට ආදරය කළ තරම් ගැහැණියකට පෙම් කළ කිසිවකුට හෝ මෙවැනි වෙලාවක රගපාන්නට බැරි වනු ඇතැයි ඔහුට සිතිණි.
“පැරා, මට එදා ඔයාට ඒක බලන්න කිව්වේ නෑ. මම බයවුණා බලපු ගමන් ඔයා එයා හොයාගෙන යයි කියලා. ඒත් මම ඇවිත් මගේ තෙරපිස්ට් එක්ක කතා කළා. එයා කිව්වා ඔයාට කියන්න කියලා. ඔයා කැමති තීරණයක් ගන්න. එයා ඔයාට කොච්චර වැදගත්ද කියලා මම දන්නවා.”
අඩ පැයකට පමණ පසු ඇනා පිටවී ඉදිරි දොර අගුලු වැටෙනු පරාක්රමට ඇසිණි. ඇසේ තිබුණු තෙත ඇය ගිය පසුව ගලා හැලීම පිළිබදව ඔහුට දැනුණේ සහනයකි. ඇනාගේ රිදුණු සිත තවත් රිදවීමට ඔහුට අවශ්ය නැත.
ඔහු නැගිට ගොස් සේප්පුවෙන් පැරණි ඔරලෝසුව අතට ගත්තේය. වීදුරු මුහුණත සීරී, පටිය හමගොස් ඇති එය දශක කිහිපයක් පැරණීය. සරසවියේ තෙවන වසරෙන් පසු, දවසට රුපියල් සියය ගානේ ලැබුණු මාස තුනක ආයතනික පුහුණවෙන් පසු නිවෙස්වලට යන්නට කොටුවට පැමිණ දුම්රිය පළ ඉදිරියේ ඇති පොඩි කඩ පීරා හේට්ටු කර එක් වැනි මේ ඔරලෝසු ගත්තේ සරසවි පෙම් යුවළකි.
ඔහු අන්තර්ජාලය පීරා කෞතුකාගාරයේ වෙබ් පිටුවට ගොස් “watch” යැයි යතුරු පුවරුවේ ගැසුවේ ගැහෙන හදිනි. තම අත ඇති ඔරලෝසුවට සමාන පැරණි ඔරලෝසුවේ සේයාරුව සමග දිගු සටහනක් වේ.
එහි ලියවී ඇත්තේ ලෝ දහමට යටවී බිදුණු, නමුත් නැති නොවුණු පෙමක් ගැන කතාවකි.
පරාක්රම චමරියට පැමිණ නා ඇදට වැටුණේ දැඩි වෙහෙසිනි. දැඩි අවු රශ්මිය මධ්යයේ විවිධ ගම්මාන වල ඇවිදීම දැඩි වෙහෙස දනවයි. අද ඔහුගේ හිස පැලෙන කැක්කුමක්ද ඉතිරි වී ඇත්තේ චමරියට ආසන්නව පැනඩෝල් පෙත්තක් වත් ගැනීමට තැනක් නොමැති බැවිනි. බොහෝ දිනවල දහවලේ හරි කෑමක් නොමැති වීම නිසා දිනය අවසාන වන විට ඔහු සිටින්නේ පාන් කියා ගැනීමට නොහැකිවය. අනිත් මිතුරන් උයන්නට දේ රැගෙන ආ පසු රෑයට උයා බඩ පිරෙන්නට කන බව සිතා ඔහු නින්දට ගියේ ගුරුලේත්තුවෙන් නමා ගත් වතුර වීදුරු දෙකක් බීමෙන් පසුය.
නමුත් ඔහුට වැඩි වේලා නිදාගැනීමට වූයේ නැත.
“පැරා, උඹට එතනා කතා කළා බලපං” එකල ජංගම දුරකථන සුලභ නොවූයේ චමරියේ සිටි සගයන් පස් දෙනාගේම සන්නිවේදන අවශ්යතා සපුරා ලූයේ රුවන් සතුවූ නොකියා දුරකථනයය. විහිළුකාරයකු වන රුවන් සිනාසෙන්නේ “මගේ ෆෝන් එකට මඤ්ඤං වෙනවා ඇති, එකෙක් මැණිකේ කියනවා, එකෙක් සුදූ කියනවා, එකෙක් හා පැටියා කියනවා මේ මොන මගුලක්ද කියලා” කියමිනි. තාප්පවලින් වටවූ චමරියේ මිදුලට ගොස් පෙම් පිළීසදරේ යෙදෙන විට අන් අයට ඇසීම වැළැක්විය හැකි කරුණක් නොවේ.
අමාරුවෙන් ඇස් ඇරගත් පරාක්රම “සදූ” යැයි කීවේ යම් හදිස්සියක් දැයි සිතාය. නමුත් “හලෝ” කියූ ඇගේ කටහඩින් සතුට දොරෙ ගලයි.
“මේ මට ඩොක්ටර් උදය කතා කළා දැන්, ජපානෙ සර්ගෙ යාලුවෛක් පී ඒච් ඩිවලට ළමයෙක් හොයලා දෙන්න කියලා, මගේ නම දෙන්නද අහලා. නියමයි නේද?”
“ෂෝක් නේ, ඉතින් ඔයා මොකද කිව්වේ?”
“මම මුකුත් කිව්වේ නෑ, ගෙදරින් අහලා කෝල් ඒකක් දෙන්නම් කිව්වා. හා කියන්නද?
“කියන්න කියන්න අහන්නත් දෙයක් යෑ. සන්තෝසයි මැණිකෙ.” පරාක්රම කීවේ සැබෑ සතුටිනි. සරසවියට ආදා සිට ඉතා උනන්දුවෙන් සතුටින් ඉගෙනීමේ යෙදුණු සදුනිගේ ඒකම අරමුණ වූයේ සරසවි ආචාර්යවරියක වීමය.නමුත් ඇයට වැඩි ලකුණු ලැබී සිසුන් දෙදෙනෙකු එවර ආචාරය මණ්ඩලයට එක්වූ නිසා ඇයට ඒ අවස්ථාව ඉඩ ලැබුණේ නැත.
නමුත් දැන් ඇයට එම අවස්ථාව සිතුවාටත් වඩා පහසුවෙන් ලැබී තිබේ. සදුනිගේ ප්රතිඵල, ඇගේ අවසන් වසර පර්යේෂණ වාර්තාව හා ආචාර්ය මණ්ඩලය දෙන රෙකමදාරු අනුව ඇයට කිසිදු ගැටළුවක් ඇති නොවන බව ඔහුගේද විශ්වාසය විය.
තමන්ගේ ජීවිතය වැඩි සැපක් නැතිව වුවද බාධක වලින් තොරව ගලාගිය කාලය එදා එසේ නිමාවුණූ බව ඒ කාලය දෙස හැරී බැලූ පරාක්රම සැමදා සිතූ දෙයකි.
දරිද්රතාවයෙන් මිරිකී ගිය ඔහුගේ නිවසට දාහේ කොළ වැඩම ගණනක් එක විට ලැබුණේ ඔහුගේ පළමු වැටුප ගෙන ගිය දිනය. උසස් පෙළ හා සාමාන්ය පෙළ පන්තිවල නංගිලා දෙන්නාට පන්ති වලට අවශ්ය වියදම්ද තාත්තාගේ බෙහෙත් වලටද ඔහු මුදල් වෙන් කළේ පළමුවෙන්මය. නංගිලා එතෙක් උගත්තේ ගුරුවරුන් නොමිලේ දුන් ෆ්රී කාර්ඩ් වලිනි. දැන් ඔහුට රැකියාව ඇති බැවින් තවත් එම සහනය ලබාගැනීම යුතු නොවේ.
සදුනිගේ අයදුම්පත විශ්ව විද්යාලය මගින් පිළිගත් බව නිල වශයෙන් දැන්වූයේ තවත් මාසයකින් පමණය. එතෙක් ඇයද රැකියාවට ගියාය. අගනුවර කාර්යාලයක් තුළ කල් ගෙවූ ඇය සරසවි කාලයටද වඩා පිරිපුන්ව වඩා රූමත්ව සිටියදී පරාක්රම අවු කාෂ්ටකයේ කල් ගෙවා කෙට්ටුවී කලුවී තිබිණි. සැබැවින්ම බොහෝ දෙනෙකු ඇයදුම් කිරීමට මැලි වූ ඒ දුෂ්කර රැකියාවට ඔහුත් තවත් ආර්ථික අපහසුතාවලින් පෙළෙන මිතුරන් තිදෙනෙක්ද එක්ව අයදුම් කළේද මොන දුකක් වින්දද ලැබෙන මුදල තම පවුල්වලට මහමෙරක් වූ නිසාය.
———————————————————————————————————————
ප්රශ්න ඇරඹුණේ සදුනිට ලැබුණේ ශිෂ්යත්වයෙන් අඩක් වීම නිසාය. ඒ මුදල ඇයට තනිව එහි ගොස් ජීවත් වන්නටද ප්රමාණවත් වූයේ යන්තමිනි. නැතහොත් ඔවුන් සැළසුම් කර සිටියේ දෙදෙනාට විවාහ වී ගොස් පරාක්රම රැකියාවක් සොයාගන්නා තුරු ශිෂ්යත්වයෙන් යම් මුදලක් ඔහුගේ නිවසට එවීමටය. මාසයකට සැළකිය යුතු ගණනක් ශිෂ්යත්වයෙන් ඉතිරි වන බව බොහෝ මිතුරන් සදුනිට පවසා තිබිණි. තමන්ට එහි ගොස් සදුනිටද බරක් වී රැකියාවක් හෝ මුදලක් ලැබෙන තුරු සිටීමට බැරි බව පරාක්රමට නැවත සිතන්නට දෙයක් නොවීය. ඔහුගේ රැකියා ලැබුණු පසු අම්මාද කිරි කැපීමට අනෙකුත් වතු වලට යාම නැවතා දැමූවේ වැඩි වශයෙන් ඔහුගේම බල කිරීමටය.
නමුත් සදුනි සිටියේ සුබවාදීවය. ඔහුත් ඇය අනුව සිතන්නට උත්සාහ කරමින් එක් සති අන්තයක ගෙදර ගියේ උදාවී ඇති තත්වය පිළිබදව අම්මා සමගද කතා කර තීරණයක් ගැනීමට සිතාය. ඔහුගේ අදහස වූයේ සදුනිට මුලින් යන්නට කියා වසරකින් පමණ යාමටය. ඒ අතරතුර කාලයේ මුදල් ප්රමාණයක් ඉතිරි කර නිවසේ වියදම මාස කිහිපයක් පිරිමසා ගන්නට කටයුතු සළසා ඔහුට ජපානය බලා යා හැකිය.
තාත්තා හිස පැළෙන්නට මෙන් රිදෙන බව කීවේ ඒ සෙනසුරාදා රෑය. අම්මා පුරුදු පරිදි සිද්ධාර්ථය ඇතිල්ලුවද ඔහු දැඩි වේදනාවෙන් පෙළෙන බව දුටු පරාක්රම වහා අසල්වැසියකු සතු ත්රීරෝද රියක් ඉල්වාගෙන අවුත් ඔහු රෝහලට ගෙන ගියේ අධි වේගයෙනි. එදා දෙපයින් ගෙයින් පිටතට බට තාත්තා නැවත සතියකින් පමණ ආවේ පරාක්රමගේ දෑත මතය. මොළයේ සිරවූ ලේ කැටිය ඔහුගේ සිරුරේ අඩක ප්රාණයද ගෙන ගොස් තිබූ නිසාය.
“පරා මම එන්නෙ නෑ කියලා කියන්නද?” කලබල අස්සේ ඔහු හදිසියේ කතා කළ දිනක සදුනි ඇසුවේ සැබෑවටමය.
“පිස්සුද සදූ, හිතන්නවත් එපා. ඔයා ඔච්චර ආස දේ.”
අවසානයේ සදුනි රටින් පිටවූයේ හැකි ඉක්මනින් ඇය වෙත එන බවට පිළිණ දුන් පසු ඔහු වැළදගෙන බොහෝ වේලා හඩමින් සිටීමෙන් පසුවය. තමා ශිෂ්යත්වය අමතක කර නවතින්නට කියූවා නම් ඇය දෙවරක් නොසිතා තමා වෙනුවෙන් එම කැපකිරීම කරන බව ඔහු දනී. තම වියළි, කටුක ජීවිත දිය මත සැනසුමක් ලෙස සදුනී තබද්දී තමන්ගේ ජිවිතයට නොදුන් සියල්ලට දෙවියන් ඇය මගින් වන්දි දී ඇති බව ඔහු ‌බොහෝ විට සිතුවේ ඇගේ මේ ගතිගුණ නිසාය. පසුව ඇය නොදැක, ඇගේ හඩ නොඅසා ගත කළ වසර ගණනාවේදී පවා ඔහුට ඇය අමතක කළ නොහැකි වූයේද ඒ නිසාය.
සදුනි වෙනස් වූයේ කොයි මොහොතේදැයි ඔහුට නිශ්චිතව කිව නොහැකි වුවත් පළමු වසර අවසානයේ ඇය නේවාසිකාගාරයේ වඩා විශාල යුවළ කාමරයකටඅ මාරු වී ඔහුට එන්නට යැයි කියද්දී පවා ඔහුට යන්නට බැරි වූ පසු ඇයගේ ඇමතුම්ද ආදරයටද සීමා වූ බව ඔහුට හොදින් වැටහිණි. ඔහුට යන්නට නොහැකි වූයේ තාත්තාගේ රෝගී තත්වය උත්සන්න වී ඇති බැවින් තනිව බසයක පවා යාමට නොදන්නා අම්මාට ඒ බර දමා එන්නට හිත හදාගන්නට බැරි වූ නිසාය.
—————————————————–
පසුව සිතද්දී ඔහුට සිතුණේ සදුනි ඇයගේ වෙනස් වන්නට දගලන සිත නිවැරදි මාවතට ගැනීමේ අවසාන පියවර ලෙස තමන් ඇය වෙත ගෙන්වා ගන්නට උත්සාහ කරන්නට ඇති බවය. දිනක් සරසවි සගයකු පැකිළි පැකිළී ඔහුට ඇය හා ඇගේ තව පෙම්වතා ගැන කියද්දී ඔහු එතරම් කම්පනයට පත්වූයේ වසර හතර පහකින් පසු හෝ සදුනි ලංකාවට එන්නේ තමන් වෙනුවෙන්ම යන්න ඔහුගේ සි‌තේ දැඩිව සටහන් ව තිබීම නිසාය. ලංකාවේ වෙනත් සරසවියකින් ජපාන ආචාර්ය උපාධිය සදහා ගිය සිසුවකු හා ඇය එක්ව ජීවත් වීම අරඹා තිඹිණි.
දෛවය ඔහුට සරදම් කළේ මාස ගණනකට පසු තාත්තාගේ පණ නළද උදුරා ගනිමිනි. යන්ත්රයක් මෙන් රැකියාව කර වැටුප් ගෙන අම්මා හා නංගිලා පෝෂණය කරනු මිස පරාක්රම අනාගතයක් සිතුවේ නැත. අවසානයේ ඔහු අවශ්ය සුදුසුකම් සපුරාගෙන ඕස්ට්රේලියාවට ගියේ සොයුරියන් දෙදෙනාම රැකියා ලැබ විවාහ වූවාටත් පසුවය. දැන් එහි පුරවැසිභාවය ලබා සිටින ඔහු අම්මාගේ වියෝවෙන් පසු ලංකාවට යන්නේද වසර දෙක තුනකට වරකි.
කොපමණ කලක් ගත වුවද ඔහුට ඇය අමතක වූයේ නැත. මිතුරන් හමුවූ විට තමා ඉදිරියේ ඇයට දොස් කීමටද ඔහු කිසිවකුට ඉඩ දුන්නේ නැත. සැබැවින්ම වරද ඇයගේ පමණක් නොවේ. ඇය නොයන්නටද ඇසුවාය. ඔහුට එන්නට කියුවාය. කුමක් හෝ හේතුවක් නිසා යන්නට බැරි වූයේ තමාටය.
ඇයගෙන් වෙන්වූ මුල් වසර වල බොහෝ විට ඔහු තමාත් ඇය හා ජපානයට ගියා නම් හෝ ඇය ලංකාවේ නැවතුනා නම් ජීවිතය කෙසේ වේදැයි සිතා තිබිණි. ඉතා සරල කෙනෙකු වූ සදුනි හා ජිවිතය බෛාහෝ පහසු, ආදරණීය එකක් වනු ඇති බව ඔහුට ස්තිරය.
ඇය පෙම්වතා හා ලංකාවට පැමිණ විවාහ වූවත් සරසවි‌යේ කිසිවකුට ආරාධනා නොකළ සරල උත්සවයක් පවත්වාය. යළි ඇය ජපානයටම ගියේ ඔහුට එහි රැකියාවක් ලැබී තිබූ නිසා බවද ඔහුටපසුව ආරංචි විණි.
පරාක්රම රැකියාව කළේය. නිදහස් හැම විටකම ඇවිද්දේය. මිතුරන් ඇසුරු කළේය.
නමුත් සදුනිගෙන් වෙන්වී ඇනා හමුවන තුරු ගතවූ වසර ගණනාව තුළ වෙන ගැහැණියක ළග ඔහුගේ සිත නැවතුණේ නැත. කොපමණ කලක් ගියත් සදුනි ඔහුගේ සිතින් මිදුණේද නැත.
පරාක්රම සදුනිගේ ෆේස් බුක් ප්රොෆයිලයට ගොස් බැලුවේය. ඔහු කලින් කලට එහි ගියද ඇය සැමියා සමග සෑහෙන කලකින් ඡායාරූප එක් කර නොමැති බව ඔහු දුටුවද දරුවන්ද නොමැති ඇය බොහෝ විට තනි සේයා රූ එක් කරන බැවින් ඒහි විශේෂයක් ඔහුට දැනී තිබුණේ නැත.
දැන් ඔහුට දෛවය තවත් අවස්ථාවක් දී තිබේ. තමන් තවම විවාහ වී නැති බව සදුනි නොදන්නවා වන්නට නොහැක. ඔහුගේ බ්ලොගයේද සටහන් කරන්නේ යන ස්ථානවල ගන්නා තනි ඡායාරූප පමණකි.
තමන් ඇයට පෙම් කළ ආකාරයද ඇය කෙසේ පැමිණියද තම සිතේ ආදරය ඉතිරි බවද දන්නා බැවින් සදුනි තමන් පැමිණෙන තුරු බලා සිටිනු වන්නට ඇත.
———————————————————-
සති දෙකක් ගතවූයේ පරාක්රම අතීතයේ ජීවත් කරවමිනි. ඔහුට රිසි තීරණයක් ගන්නට පහසු වන්නට දෝ ඇනා ඇයගේ මිතුරියක හා ඇගේ නවාතැනට ගියේ ඔහුට පණිවිඩය කියූ දිනම රැයේය.
ඔහු කුමන තීරණය ගත්තද තමා අමනාප නොවන බව කියා යන්නට ඇය අමතක කළේද නැත.
පරාක්රම පැරණි ඔරලෝසුව නැවත අතගා බැලුවේය. සදුනි ජපානයට ගිය මුල් කාලයේ ඔහු එහි වෙලාව ජපාන වේලාව අනුව වෙනස් කොටගෙන තිබිණි. එවිට එය දකින වාරයක් පාසා ඔහුට ඇය ඒවේලාවේ කුමක් කරන්නේදැයි සිතාගැනීමට පහසු වූ බැවිනි.
දශක දෙකකටත් වැඩි කාලයක් හද ළග තිබූ එය එයට හිමි තැනට යවන්නට දැන් කාලය පැමිණ තිබේ.
ඔහු පරිස්සමින් ලිපිනය ලියූවේය. “බිදෙන සුළු බැවින් පරිස්සමින් පරිහරණය කරන්න” යැයි ලෙබලයක්ද පාර්සලයේ ගසා ඒ සමග තබන්නැයි තමන් ලියූ සටහන නැවත කියෙව්වේය.
කරුණාකර මෙම ඔරලෝසුව හා නෝට්ටුව 124 ප්රදර්ශන භාණ්ඩය සමග තබන්න.
“ආදර කතා අවසන් වුවද ආදරය අවසන් නොවේ. මතකයද ආදරයද සදා ජීවත් වේ. නමුත් මහා දුරක් ගිය පසු හැරී ආ විට සිටින්නේ එදා සිටි ඔබද නොවේ. මමද නොවේ. එබැවින් නොඑමි. මතකයද ආදරයද නොවෙනස්ව සුරකිමි. – පරාක්රම”
ලිපිය තැපෑලට දමා ගිය පරාක්රම රිය නැවැත්වූයේ ඇනාගේ මිතුරියගේ නිවස ඉදිරිපසය. විවර වූ දොරින් ඇය එබෙන විට යටි ගිරියෙන් කෑ ගසා ගෙන පැමිණි ජේසන් ඔහුගේ ඇගට පැන්නේ ඇනාවද තල්ලු කරමිනි. ඔහු වඩා ගත් පරාක්රම ඇනා පසුපසින් නිවසට ඇතුළු වූයේ ජේසන්ගේ සිගිති මුහුණට තම නහයෙන් අනිමිනි.
ඔහු දෙස විමසිල්ලෙන් බැලූ ඇනා ඔහුගේ දෑසින් පිළිතුර කියවා ගත් සෙයින් ඔහුගේ බාහුවට තම මුහුණ ඔබා කමිස අතෙහි දැසෙහි මතුවූ කදුළු පිසිමින් සැනසිලිදායක මදහසක් නැගුවාය.
පවිත්රා අභයවර්ධන
(සටහන : ලොව වටා ඇති අපූරු කෞතුගාර ගැන සේවූ දිනක ක්රොඒෂියාව නම් මනස්කාන්ත යුරෝපා රාජ්යයේ අගනුවර ඇති “බිදුණු බැදීම්” සැමරීම සදහා වූ මේ MUSEUM FOR BROKEN RELATIONSHIPS ගැන කියෙව්වෙමි. එහි වෙබ් පිටුව තුළ කෞතුකාගාරයේ ප්රදර්ශනය කරන බොහෝ භාණ්ඩවල ඡායාරූපද, ඒ පිටුපස ඇති කදුළු කතාවද ඇත. එවැනි සටහන් කිහිපයක් කියවූ මා කම්පනයට පත්වූ තරම සිතාගන්නට නොහැකිය.
වෙනත් රටක ජීවත් වන හද බැදි යුවතියක් සිහි වීම පිණිස ඇගේ වේලාවද සටහන් ඔරලෝසුවක් බැදි තරුණයකු ඒ පැරණි ඔරලෝසුව සමග ලියා ඇති සටහන කියවූ මට මේ කතාව ලියන්නට සිතිණි. ඔබටද පහත නම සොයා එහි ගොස් බැලිය හැකිය.
MUSEUM FOR BROKEN RELATIONSHIPS
බිදුණු බැදීමක් ගැන පවා ඉතා සංයමයෙන් සිතා, එතුළින් ලැබුණු මතකයට හා අවබෝධයට ගරු කරන මිනිසුන්ගේ කතා එහි ලියවී ඇත. ලොව වටා කොතැන සිටියත් මිනිසුන්ගේ හැගීම්, සංවේදීතාවයන්, වේදනාවන්, කැපකිරීම් කොතරම් සමානදැයි එතුළින් දකින ඔබද මා අත්දැකි කම්පනය විදිනු ඇතැයි සිතමි.-පවිත්රා)
උපුටා ගැනීම: Pavithra Abhayawardana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!