මේ බිසෝ අක්කාගේ කතාවය.
බිසෝ පනස් එක් වියැතිය. රුමත් යෞවනියකව සිටි බවට දෙස් දෙන ශරීරයක් හිමිය. අතිශයින් නිහඬය . අසූ පස් වියැති සිය මවගේ උපස්ථායිකාව වී රෝහලේ සිටින බිසෝ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා හොඳ උපස්ථායිකාවකි.
කිසිඳු විටක කෝප නොවන ඈ සිය මවගේ කැතකුනු අතගා තුවාල පිරිසිදු කර,කවා පොවා බලා කියාගන්නා ආකාරය ප්රශංසනීයය. මේ කියන බිසෝ තමාගේ දියනිය නොවන බවත් ඈ මුදලට තමා බලාගන්නා බවත් රෝගී මව විසින් හෙදියක සමඟ කියන්නට යෙදුන තැනින් මේ කතාව ආරම්භ වේ.
හෙදියගේ කනට ඔය කතාව ගිය දාට පසුදා උදෑසන පටන් රෝගී මව ඇඳෙන් නැගිට්ටේ නැත. ඇයට කුමක් නමුත් දැඩි අපහසුතාවයක් ඇති බව පෙනිණි. බිසෝ හෙවත් අර දියනිය සිටියේද දැඩි කනස්සල්ලෙනි. මව ආහාර පාන ප්රතික්ෂේප කළ අතර නින්දේම පසු වූවාය. වෛද්යවරයා පැමිණ තවත් බෙහෙතක් පාමසියෙන් ගෙනෙන්නැයි ලියා දුන්විට බිසෝ එයද ගෙනවිත් පෙව්වාය.
එදිනම සන්ධ්යාවේ මෙකී මව බලාගැනීමට ඒ මවගේ ලේලිය පැමිණි අතර බිසෝ ගෙදර ගියාය. බිසෝ වාට්ටුවෙන් එලියට ගිය පමණින් නැගී සිටි රෝගී මව වහ වහා කොන්ඩය පීරාගත්තාය . ලේලිය සමඟ වැසිකිළියට ගියාය. ආපසු ආ ගමන් කිරි කෝප්පයක් වත්කරවාගෙන බිව්වාය.
උදේ පටන් ඇයට තිබුණේ අමාරුවක් නොවන බවත් ඈ කරන්නට යෙදුනේ රඟ පෑමක් බවත් වටහා ගත් අනෙක් ඇඳෙහි සිටි රෝගී කාන්තාව සියල්ල හොඳින් නිරීක්ෂණය කළාය. ඇයගේ සූක්ෂම කන මේ නැන්දම්මාත් ලේලියත් බිසෝ පිළිබඳව කතා කරන සියල්ල අසා සිටින්නටම උත්සුක වූයෙන් ඈ දැනගත් තොරතුරු මෙසේය.
බිසෝ යනු අවිවාහක කාන්තාවකි. බිසෝගේ තරුණ කාලයේ ,ඇය මේ රෝගී මවගේ එක් පුත්රයෙකු හා ප්රේම සම්බන්ධයක් පවත්වා ඇත. ඒ පුත්රයා නිශාන්තය. දැන් ඔය නැන්දම්මා සමඟ කතා කරමින් සිටියේ නිශාන්තගේ මල්ලී වන පියනන්දගේ බිරිඳය..පියනන්දගේ බිරිඳද බිසෝ සමඟ කුමක් හෝ අමනාපයක් ඇති බව පෙනෙන්නට තිබූ බවද නොකියාම බැරිය.
අපගේ කතා නායිකාව වන බිසෝ රෝගී මවගේ පුත්රයා නිශාන්තට වඩා වසර තුනකට පෙර උපන්නියක වූ බැවින්ද ,ඇයගේ ජාතිය තමාගේ ජාතියේ නොවූයෙන්ද මේ අම්මා ඒ විවාහයට කැමැත්ත දුන්නේ නැත. මවට බෙහෙවින්ම ආදරය කළ පුත්රයා මවගේ අකමැත්තෙන් බිසෝව විවාහ කරගත්තේ නැත. එහෙත් ඔහු වෙනත් විවාහයක් කරගත්තේද නැත. බිසෝ කෙල්ලද වෙනත් විවාහයක් කරගත්තේ නැත. ඈ තවමත් පතා සිටින්නේ මෙකී රෝගී මවගේ පුත්රයාය.
නිශාන්තගේ ඉල්ලීම මත වරින් වර මව බලාගැනීමට රෝහලට එන බිසෝ බොහෝ විට එන්නෙත් පිටව යන්නේත් නිශාන්ත සමඟමය. සුමානයක් දෙකක් ඇයගේ උවටැන් වලින් සුවය ලබමින් සිටි මේ අම්මාට පෙරදා සවස දැනගන්නට ලැබී තිබුණේ තම පුතා විසින් බිසෝව විවාහ කරගන්නට යන බවකි . ඈ බිසෝගේ උවටැන් ප්රතික්ෂේප කරමින් හැසිරී තිබුණේ ඒ තරහටය. එම රාත්රියට පසුදා උදෑසන එළඹි විට එතැන් පටන් රෝගියා අසළ සිටින්නේ කවුදැයි පවුලේ අයවලුන් අතර වූ කතා බහට දුරකථන ඇමතුම් බොහෝ ප්රමාණයක් ඇතුලත් වූ පසු ප්රශ්ණය එතැනම තබා ඒ ලේලියටද නින්ද ගියේ නැන්දම්මා ඇහැරවා තබමිනි.
පසුදා උදෑසන නිශාන්ත අම්මා බැලීමට පැමිණියේය .හෙතෙම තම පොරොන්දුව නැවත අලුත් කළේය. එනම් කිසිදාක තමා විසින් බිසෝව විවාහ කර නොගන්නා බවට වන පොරොන්දුවය..
තවත් පැයක් දෙකක් තුළ බිසෝ නැවත ආවාය. පෙර පරිදිම උවටැන් කිරීම පටන් ගත්තාය.
අනෙක් ඇඳෙහි සිටි කාන්තාව ඕනෑකම්න්ම බිසෝ සමඟ හිතවත්වූයේ මේ සිදුවීමෙන් ඈ අත්දුටු ස්ත්රීත්වයේ සහකම්පනය නිසාය.
“
“ඒ මනුස්සයටත් කොන්ද පන නැනෙ අප්පා.ඔයොට වඩා දෙමව්පියො විරුද්ධ වෙලා කසාද බැන්ද අය කොච්චර ඉන්නවද..විකාරනෙ..”
“එයාලගෙ තාත්තා මැරිලා තියෙන්නෙ පොඩි කාලෙම..අම්මා ගොඩාක් දුක් වින්දා එයාල හදාගන්න. ඒක හින්ද එයාට අම්මට පිටුපාන්න බෑ..එයා අම්මට ආදරේ වැඩි ..”
“බම්බු ආදරේ..ඒ අම්මා ඒ ආදරේ ඉත්තට තියාගන ඔයාලා දෙන්නගෙම ජීවිත විනාස කරලනෙ..”
“මේක මගෙ කරුමෙ වෙන්න ඇති..තව කී කාලෙද ඉතිං. අනික දැං මට මොන කසාදද නංගි.”
“ඒ වුනාට අපරාදෙ බිසෝ අක්කා තනියම හිටියෙ.බඳින්න තිබ්බෙ මුන්ට පේන්නත් එක්ක හොඳ කෙනෙක්”
“නිශාන්තත් පොඩ්ඩක් හරි වෙනස් වුනා නම් මටත් වෙනස් වෙන්න තිබ්බා. ඒත් එයත් හෙල්ලුනේවත් නෑ. මාත් හිටියා කවද හරි අම්ම කැමති වෙලා එයා බඳියි කියලා..”
“ඔයාට නම් පිස්සු බිසෝ අක්කෙ. ඔච්චර කෙණහිලිකං කරලත් ඔය ගෑනිට බලන්නෙ පිස්සු”
“මං කරන්නෙ අම්මට නෙවෙයිනෙ නංගි. මං මේව කරන්නෙ නිශාන්තට. අම්මා ඉස්පිරිතාලෙ කියලා එයා ඉන්නෙ ඔලුව කම්මල වාගෙ වෙලා..එයාට සැනසීමයිනෙ මං අම්මා ගාව ඉන්නකොට.”
බිසෝ අක්කාගේ කතාව දැනගත් පසු මට ආ පළමු සිතුවිල්ල වූයේ නයගැතිභායවක් පිලිබඳව හැඟීමක් හදවතට කාවද්දා දරුවන් හදා අපි උඹලට මෙහෙම කළ නිසා උඹලත් අපිට මෙහෙම කළ යුතුයි කියමින් දරුවන් තැනීම නතර විය යුතුය යන්නය.
අනෙක් අතට මට නම් කිසිදාක බිසෝ අක්කාගේ අහලකින් වත් සිතන්නට හැකි වේයැයි මට සිතෙන්නේ නැත.
එක්කෝ බිසෝ අක්කාට පිස්සුය. එක්කෝ මට පිස්සුය. මට නම් ඒ අම්මාට ඒ තේවාව කරන්නට හිත හදාගන්නට හැකි වන එකක් නැත.
බිසෝ අක්කාගෙන් උගත යුත්තේ ප්රේමයද නැතිනම් මෝඩකමක පාඩමක්දැයි මා දන්නේ නැත. මට ස්ථිරවම කිව හැක්කේ ඒ බිසෝ අක්කා අර නිශාන්ත මල්ලීට සැබැවින්ම පෙම් කර ඇති බවය.
සදා කාලයෙන් සදාකාලයටම ඔය අම්මාගේ මුසළ විරෝධය පැවතියත් සදා කාලයෙන් සදාකාලෙටම ඒ බිසෝ අක්කාගේත් නිශාන්තගේත් ප්රේමයද පවතිනු ඇත. අපට අනුව නම් ඔවුන් විවාහ නොවනු ඇත.
එහෙත්
ඒ විවාහය යනු කුමක්ද?
එකිනෙකා රැක බලා ගැනීමය. එකිනෙකාගේ සැනසීම උදෙසා කැපවීමය. එකිනෙකා අත නෑර සිටීමය. අනෙකා තමාගේම බවත් කිසිදා හැර නොයන බවත් දැනීමය. තනි නොකරන අයෙකු සිටින බවට වන හැඟීමය.
එසේ නම් ඒ
ඔය නිශාන්ත හා බිසෝ අතර තිබෙන්නේ එයමය.
වෙනසකට ඇත්තේ අර අකාරුණික හා උඩඟු අම්මාගේ කාරනාවෙන් ඔවුහු එක වහලක් යට නැති එකය.
====
උපුටා ගැනීම: සුජාතා මැණිකේ ඉහළගෙදර