‘බයිට’ (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මොකෝ උඹ මෙතනින් නගින්නේ නැද්ද?”
“නෑ, පියල් අයියගේ කඩේට යන්න ඕනේ බං, මට සීඩී එකක් ගන්න තියනවා”
ඉස්කෝලේ ඉස්සරහින්ම බස් එකේ නැගලා ගෙදර යන්න පුළුවන් උනත් දික් කලිසම් අඳින කාලේ ආවම ඒක මදි පුංචි කමක් වගේ දැනුනා.
ඉතින් ටවුන් එකට පයින් ගිහින්, ටවුමේ කාලේ කාලා තමයි බස් එකේ නගින්නේ…
ඒකේ වෙනම විනෝදයකුත් තිබුනා..
කෙල්ලෝ බලන්න පුළුවන්නේ..
ඉස්කෝලේ ඇතුලෙදි ඉතිං තරුණ ගැහැණු පරානයක් කියල එකක් දකින්න වෙන්නේ කාලෙකට සැරයක් සුදු සාරි ඇඳං එන විද්යාපීඨ පුහුණු ටීචර් ලා ආවම තමයි, ඒත් ඉතින් අපේ ක්ලාස් එකේ එවුන්ගේ හැදියාව නිසාද කොහෙද ගොඩාක් වෙලාවට අපේ පංතියට දැම්මේ සර් කෙනෙක්වම තමයි…
ඉතිං ගුරු දිනේට තමයි අපේ එවුන්ට රජ මගුල්..
එදාට අපේ එවුන්ගේ රාජකාරිය වෙනස් ම එකක්, එකෙක් කොහෙන් හරි බුලත් අත් බාගයක් හොයාගෙන එනවා.
කට්ටියත් එක්කම ඉස්කෝලේම ඇවිද ඇවිද සුදු සාරි හොයාගෙන ගිහින් එයාලට වඳින එක තමයි වැඩේ.
සමහර වෙලාවට හිතට අල්ලපු අයට දෙපාර වඳිනවා, එයාලට මතකත් නෑනේ…
“එමියා, මාත් එන්නම්…
පියලගේ කඩේට මටත් යන්න ඕනේ..”
මෙසේ කියු කොඩියා, ඩිලා සමග මගේ ටවුන් ගමනට එක්විය..
ටවුන් ගමනේ අපිට මුළින්ම හමුවන්නේ කොන්වන්ට් කෙල්ලන් ය.. ඒ හෝලික්රෝස් එකේ බස් හෝල්ට් එක ඉස්සරහින්..
ඔවුන් තාප්පේ දිගට හේත්තූ වී බස් එනකං බලාගෙන සිටී.
පාරෙන් එහෑපැත්තේ ඒකාලේ තට්ටු දෙකේ ඩොමිනෝස් පීසා බිල්ඩින් තිබුනේ නෑ. ඉතිං ගඟයි මුහුදයි දෙකම ඕපන් උඩින්. ඒ නිසා තමයි අපිට බ’නූලී ගේ උදව් හොඳටම ලැබුනේ.
ඒ නැතත් එතනින් වේගෙන් බස් එකක් ගියත් ඇති. තාප්පෙට හේත්තු වෙද්දි ඇඳුමේ ජරාව ගෑවෙන හිංදද දන්නේ නෑ වැඩි හරියක් ගෑණුලමයි බෑග් එක පිටි පස්සට තමයි දාගෙන ඉන්නේ. ඒකත් බර්නූලිට එයාගේ වැඩේ කරන්න පහසුවක් උනා..
ඉතින් අපි ඒ කලාපය පහු කරන්නේ කොයි වෙලේ බ’නූලී දෙයියා ක්රියා කරයිද කියා විමසිල්ලෙන්…
ඊට පස්සේ ඥානෝදේ කෙල්ලෝ
ඊට පස්සේ ටවුන් එකේදී බාලිකාවේ කෙල්ලෝ… හැම ඉස්කෝලෙකින්ම ටවුන් එකට එනවා හොරණ, බණ්ඩාරගම ,පාණදුර පැත්තට යන්න ඉන්න අය අනීවාර්යයෙන්ම..
“පියල් අයියේ ටාසන් තියනවද?”
“රයිට් කරලා දෙන්නම් මල්ලී”
“හරි, මං එතකන් මේවයෙන් එකක් තෝරගන්නම්”
මං මගේ පාඩුවේ සීඩී තෝරන අතර තුර ඩිලා උගේ පාඩුවේ සීඩී තෝරයි…
හැබැයි ඒ අමුතුම ක්රමයකට..
කොඩියා කඩේ මැද පිහිටුවා තියෙන කැරකෙන කණුවල දමා ඇති සීඩී අතගගා සිටී, ඒ උගේ කරේ තියන ස්කූල් බෑග් එකේ සිප් එක ඇරගෙනය.
ඔන්න ඕක වහගනිං කියා කියන්න හදනකොටම තමයි මට මුං දෙන්නගේ වැඩේ තේරුනේ ..
ඩිලා, කොඩියාට පිටුපා සිට බිත්තියට සවිකොට ඇති රාක්ක වල දමා ඇති සීඩී එකින් එක සිප් එක ඇරී ඇති කොඩියාගේ බෑගය තුලට වට්ටයි..
“හරි මල්ලි”….
රුපියල් 100ක් දී මගේ සීඩි තැටිය මිලට ගත් මම සෙන්ට්රල් සීඩී හවුස් එකෙන් පිටතට පැමිණියෙමි.
ගතවූයේ නිමේශයකි..
පියලා මුන් දෙන්නවත් අල්ලගෙන ගෙන කඩෙන් පිටතට පැමිණෙයි..
පියලට වැඩේ චෙක් වෙලා, චාටර්…
මුන් දෙන්නට පිස්සුනේ.
දැන් මාත් ඉවරයි…..
“දණ ගහපන් දෙන්නම මෙතන, මං පොලීසියට එන්න කිව්වා, එතකන් දණගහගෙන හිටපන්
විද්යාලේ එවුන් ඔහොම්මමයි”…
(මෙතනදී “එවුන්” කියන වචනය වෙනුවට පියලා භාවිතා කලේ “කැ” යන්නෙන් පටන් ගන්නා වෙනත් වචනයකි)…
පියලාගේ ඒ ප්රකාශයත් සමග මට මතක්වූයේ හෙක්ටර් සර් පන්තියෙන් පිටතට පැමිණ කොඩියටත් මටත් කෑගහපු හැටිය.. ඒ ඔය වාක්යයම කියා විද්යාලේ ගුණ ගායනා කිරීමෙනි..
එසේ කියා පියලා මා දිහාද බලයි.
ඌ දන්නවනේ මාත් විද්යාලේ කියලා.
දැන් ඉතිං මටත් පෝරියල් එක සෙට් වෙන්න වගේ යන්නේ…
අනේහ්…
ඒත් මොනයම් හෝ පුණ්යකර්මයක් නිසා පියලා මාව ඒ කේස් එකට ඈඳා ගත්තේ නැත…
“උඹලා දෙන්නගේ ගෙවල් වල ෆෝන් නම්බර් දියන්”…
එතන වැඩි වෙලා ඉන්න එක ඇඟට ගුණ නැති නිසා මං ශේප් එකේ යාළුවෝ දෙන්නව තනිකරලා එතනින් මාරු වුණා..
පහුවදා ඉස්කෝලේ ගියාම පන්තියම කතා වෙන්නේ ඔය සිද්දිය ගැන… හිමේශයා තමයි කථානායක..
ඇහෙන විස්තරත් එක්ක මම් කතාවේ ඉතුරු හරිය ගොඩනගා ගත්තෙමි…
පොලිස්සියේ එක්කෙන්ක් ඇවිත් මුන් දෙන්නව පොලීසියට එක්කන් ගිහිල්ලා,
මුන් ඇහුවට ගෙදර නම්බර් කියලා නෑ
කොඩියා ගාව ගෙදර නම්බරයක් තිබිලත් නෑ, ඒත් ඩිලා ගේ බෑග් එකේ පොතක ලියලා තිබිලා ගෙදර නම්බරේ.
පොලීසියෙන් පුතාගෙ විස්තරේ කියලා ගෙදරට.
අම්මා අන්ස්වර් කරලා තියන්නේ..
අම්මගේ පෙරැත්ත කිරීම නිසා මුන් දෙන්නව අවවාද කරලා පිටත් කරලා යවලා, ස්කූල් යුනිෆෝම්නේ..
හිමේශයගේ කථාවේ සාරාංශය ඔහොමයි.
ඩිලා පන්තියට එනවා කිසි ප්රශ්ණයක් උනේ නෑ වගේ..
වෙලාව හරි නිසා ගාථා කියන්න සෙට් උනා මට ඌත් එක්ක කතා කරන්න හම්ඹුනේ නෑ..
ගාථා නෙමෙයි මගේ ඔළුවේ තිබුනේ මූ කොහොමද ගෙදරින් බේරුනේ කියන එක.
ගාථා ඉවර වෙච්ච ගමන් මන් දිව්වා උගේ ලඟට..
“ගෙදරින් මොකෝ උනේ?”
“මං ගෙදර යනකොට අම්මා ඉන්නවා ගේ ඉස්සරහට වෙලා මට බනින්න බලාගෙන.”
“ඉතිං?”
“මං එක දෙයයි කිව්වේ”
“මොකක්ද?”
“””””කොහොමද අම්මේ මගේ ‘බයිට’..””””
ආදී….
(සත්ය සිද්දියක් ඇසුරෙනි)
.
.
.
.
.
.
.
අම්මට ඒක එකපාර කොහොම අවබෝධ උනාද මන්දා..
මටනම් එය තේරුම් ගැනීමට තප්පර කිහිපයක් ගත විය.. ඒ තවත් හරස් ප්රශ්ණ කිහිපයකින් අනතුරුවය..
මූ ගෙදරට ඇක්ට් කරලා තියන්නේ යාළුවෙක් ලව්වා කටහඬ වෙනස් කරලා ගෙදර අයව බයිට් කරන්න කමියුනිකේශන් එකකින් කෝල් එකක් දීපු විදිහට..
“අඩෝ පොලීස්සියෙන් වත් ඔහොම හරස් ප්රශ්ණ ඇහුවේ නෑ යකෝ”
ෆොටෝ එක ටාසන් මූවී එකේ එකක්.
බලපු අයට මතක ඇති…
උපුටා ගැනීම: ආදිත්‍ය තේනුවර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!