“ඔය තරම් බොන්නේ ඇයි තාත්තේ?”
“ඒ විතරක්ද පුතේ සිගරට් එකක් ඉවර වෙන්න එකක් – කිව්වට අහනවද මෙයා”
“තාත්තට ඕන ඔව්ව ඔහොම බීල බීල ලෙඩක් හදාගෙන ඉක්මනට මැරෙන්නද?”
“තොපි ඉතිං මම මැරෙන කම් තමයි බලන් ඉන්නේ”
“ඔය ඉතිං! හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදයි කියනවා”
“හිටපල්ලකෝ, මම ඉක්මනට මැරෙන්න උඹලට එතකොට නින්ද යයිනේ”
“පිස්සුද සිරී! ඔයා මැරුනාම කොහොමද? ඔබ නැති නම් මිහිපිට නැත මම්”
” මොකක් ! අම්මට පිස්සුද? මෙයා බීලා මලා කියලා අම්ම සති පූජා කරන්නද? විකාර නැතුව ඊට පස්සෙවත් හොඳ මිනිහෙක් හොයලා බැඳලා සන්තෝසෙන් ඉන්න තියෙන්නේ”
“මේ නහින දෙහින කාලේ?”
“ඇයි අම්ම කියන්නේ නහින දෙහින කාලේ ඉන්න මිනිස්සු සන්තෝසෙන් ඉන්න එක පවක් කියලද? වයසට ගියා කියලා මිනිස්සුන්ගේ කටවල් වලට බයේ දුකෙන් ඉන්න ඕනද?”
ඒ සංවාදේ අපේ ගෙදරදී අම්මයි මායි තාත්තයි අතර ඇති උනේ මීට අවුරුදු විස්සකට විතර කලින්. එතකොට දෙන්නට වයස 58,56යි.
එදා ඉඳන් ඊට අවුරුදු 10කට වගේ පස්සේ තාත්තා බීම නතර කරන කල්ම අපි හැමෝම එකට හම්බවෙන ගොඩක් වෙලාවට රෙකෝඩින් කරපු කැසට් එකක වගේ මේ සංවාදය කෙරෙනවා.
ලස්සනම හරිය අර “ඔබ නැති නම් මිහිපිට නැත මම්” කොටස අම්මා ලස්සනට ගායනා කරන එක.
ඇත්තෙන්ම ශ්රීමතී තිලකරත්නගේ ගීත පුංචි කාලයේ ඉඳන් ගුවන් විදිලියේ ඇහුව වුනත් මේ ගීතය විශේෂයෙන්න් අහන්න පටන් ගත්තේ අර සංවාදේ මුලින්ම ඇති උනාට පස්සේ කියලා මට හොඳින් මතකයි.
මේ පහල ෆොටෝ එකේ ඉන්නේ දැන් අවුරුදු මහා ගානක් තිස්සේ කාගෙන කාගෙන ගිය විදිහට නැටි දෙක වත් ඉතුරු වෙන එකක් නෑ කියලා අපි හිතපු ජෝඩුව අවුරුදු 52කට කලින් බඳින වෙලේ ගත්තු ෆොටෝ එක.
දැන් දෙන්නගේ වයස 78, 76යි වෙනසක් නෑ තාම ඒ කාලේ වගේම මරාගන්නවා 

අමරස පෙම් රසයෙන් කැලතෙන්
ඔබ නැති නම් මිහිපිට නැත මම්
ඔබ නැති නම් මිහිපිට නැත මම්
අමරස පෙම් රසයෙන් කැලතෙන්
සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා
ඔබ දැකුමෙන් සිත උමතු උනා//
මා ජීවත් වන බව මට දැනුනේ
ඔබ හද සැලෙනානා රාවෙන් . . //
සුපිපුනු මල් නටුවෙන් ගිලිහී
මඳ සුළඟින් ඔබ වෙත පැමිනී//
ඔබ පා මත වැතිරී පර වෙන්නට
මට ඉඩ දෙනු මැන මතුදා //
ගායනය: ශ්රීමතී තිලකරත්න
පද රචනය: ප්රේමකීර්ති ද අල්විස්
සංගීත: වික්ටර් රත්නායක
මේ පින්තූරේ ඉන්න කොල්ලයි කෙල්ලයි ඒ කෙල්ලගේ නංගිගේ වෙඩින් එක දවසේ තමයි යාලුවෙලා තියෙන්නේ.
ඒ කොල්ලා අර කෙල්ලගේ නංගි බැඳපු කොල්ලගේ නෑදෑ වෙන කොල්ලෙක්.
ඒ කොල්ලව දැක්කම ඒ කෙල්ලට මේ සින්දුවේ කියනවා වගේ “ඔබ දැකුමෙන් සිත උමතු උනා” වගේ වැඩක් වෙන්න ඇති කියලා අපි ඉතිං හිනා වෙනවා.

උපුටා ගැනීම: Subhash Gunawardhane