උදේම ඇහැරුණේ පූසෙක් බෙරිහන් දෙන සද්දෙට.පුරුද්දට වගේ පෝන් එක අතට ගත්ත. සුපුරුදු ගුඩ් මෝනිං මැසේජ් එක ඇවිල්ල තිබුණෙ නෑ. දවසම මූසලයි වගේ. ආයෙ රෙද්ද ඔලුවෙ ඉදන් පෙරව ගත්තෙ තව ටිකක් නිදාගන්න හිතාගෙන. පාන්දර වෙනකල් පරණ මතක එක්ක ඔට්ටු වෙලා මුළු මූණම තඩිස්සි වෙලා කියල මට තේරුණා. නිදාගන්න හැදුවට නිදාගන්න බෑ ආයෙම.පෙරළි පෙරළි ටිකක් ඉන්නකොට එයයි මමයි පරණ මැසේජ් කරපුව කියවන්න ගත්ත…
අපි මොන තරම් ෆැන්ටසියක ජීවත් වෙලාද? ගුඩ් මෝනිං කියන තැන ඉදන් ගුඩ් නයිට් කියන තැනට වෙනකල් දවස තිස්සෙ මවපු හීන මොන තරම් නම් වේදනාකාරීද ? ආයෙම මං ගියා පෝන් එකේ ගැලරියට. ඒකෙ උඹෙයි මගෙයි පොටෝ පිරිල. එකින් එක එහෙට මෙහෙට කර කර මං තිබ්බ හැම පොටෝ එකක්ම බැලුව. දන්නෙම නැතුව ආයෙත් ඇස් දෙකෙන් කදුලු කැට වැක්කෙරිල. පෝන් එක පැත්තකින් තියල මං ඇදෙන් බැස්සෙ මූණ කට හෝදගෙන පාර පැත්තට යන්න.
වෙන්වී යන බව
දැන දැනම
තාම හිත ඉල්ලන
ඔය දෑත…
උදේ පාන්දරම රේඩියෝ එකේ ප්ලේ වෙන සින්දුවත් එක්ක වේදනාව තව වැඩි වෙන්න පටන් ගත්ත නිසා මං ඒක ඕෆ් කරල දැම්ම. මූණ කට හෝදගෙන පාර දිගේ මං ඔහේ ඇවිදින්න පටන් ගත්ත. ඉස්සරහට හම්බ වෙන මිනිස්සු මං දිහා වරදකාරී හැගීමකින් බලනව වගේ මට දැනෙනව. “මං නෙවේ නැවැත්තුවෙ එයයි නැවැත්තුවෙ.” මට ඒ මිනිස්සුන්ට එහෙම කියන්න ඕනි උනත් මං මොකටද එහෙම කියන්නෙ. ඒත් මට ඒ මිනිස්සු එහෙම රවනව ඉවසන් ඉන්න බැරි උනා.
“මම නෙවෙයි නැවැත්තුවෙ.එයයි නැවැත්තුවෙ.එයා තමයි මාව දාල ගියේ” මං හයියෙන් කෑ ගැහුව. ඇත්තටම ඒකෙන් මගෙ හිත නිදහස් කරනව. මං පාර දිගේ කෑ ගගහ ගියා. ඇත්තටම ඔළුවට නිදහසක් දැනෙනව. මට මහ හයියෙන් හිනා වෙන්න ඕනි. ඉතික් මං මහ හයියෙන් හිනා වෙනව. හහ්. හහ්හහ්..හා…
දැන් නම් මිනිස්සු මං එක්ක හොදට හිනා වෙනව. ඔව් උන් හිනා වෙනව. උන් පිළි අරන් මං නෙවේ වැරදි කියල. මට ගොඩක් සතුටුයි.
මං පාරෙ ඉබාගාතෙ ඇවිදින්න පටන් ගත්ත. හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ. පාරෙ මිනිස්සු තැන තැන ටොපි චොකලට් කොල විසික් කරල.හරිම අප්රසන්නයි. මං ඒව එකින් එක අහුල ගත්ත. දැන් නම් මහන්සි. කීප දෙනෙක් මං දිහාවට දුවගෙන එනව මං දැක්ක. මං හයියෙන් දුවන්න ගත්ත. දැකල පුරුදු නමුත් උන් කවුද කියල මං දන්නෙ නෑ. අවසානෙදි උන් මාව අල්ල ගත්ත. අල්ලගෙන මාව බැදල කොහේදෝ තැනකට එක්ක ගියා. මරු තැනක්. හරිම නිදහස්. මට ඕනි විදියට කෑ ගහන්න පුළුවන්.හිනා වෙන්න පුළුවන්. සතුටුයි මට. ” එයයි මාව දාල ගියේ.මම නෙවෙයි, එයයි මාව දාල ගියේ මම නෙවෙයි…” මං ඇති වෙනකල් කෑ ගැහුව.
නිමි.
උපුටා ගැනීම: Rasara Meemanarachchi