එතකොට මං ඉස්කෝලේ පොඩි පන්තිවල, 1996 අවුරුද්දේ .මට අවුරුද්ද හොඳටම මතකයි මොකදකොටින්ම ඇට්ටිම්බෙන් ඉඳන් එලෝ මෙලෝ සිහියක් නැතුව ක්රිකට් පිස්සුවෙන් බලන කාලේ. ලංකාවට ලෝක කුසලානේ ලැබුණ අවුරුද්ද කොහොම අමතක වෙන්නද.
අපේ අම්මලා මොකද්දො සීට්ටුවක් අල්ලලා තිබුණා ඒ දවස් වල , ඒකට ගන්න පුලුවන් පෝසිලෙන් පීරිසි කුට්ටම් සෙට් එකයි, ලොකු වතුර බොන වීදුරු හයේ පෙට්ටියකුයි තව ලොකු තාච්චියක් හරි රහත් පානක් වගේ මතක. රහත්පානක් කියලා මං ඉස්සර කිව්වට ඒවට කියන්නේ සාස්පාන එහෙමත් නැත්නම් සෝස්පෑන් කියලා මං දැනගත්තේ පස්සේ කාලෙක.
ඉතිං ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා අම්මා ටවුමට යන්න හදද්දි දාහක් කණිපින්දම් කියවලා නාහෙන් අඬලා මාත් අම්මා එක්ක ටවුමට ආවා. සීට්ටුවට බඩු ගන්න තිබ්බේ සලාහුදීන් එකෙන් මතක හැටියට. අපි කෙලින්ම බස් එකෙන් බැහැලා සලාහුදීන් එකට ගියා. මුලින්ම අම්මා තෝරලා ගත්තේ තරමක් ලොකු පියනකින් වහන්න පුලුවන් ඇලමිනියම් සාස්පානක්. ඒක අරගෙන මගේ අතට දෙනවා අල්ලන් ඉන්න.
දැන් අම්මා පීරිසි කෝප්ප , වතුර වීදුරු තෝරනවා . මම වටේටම ඇන්ටනාව දාගෙන කඩේ අස්සෙ තියන නානායක්කාර අයිතම දිහා ඇස් දෙක කටේ දාගෙන වගේ බලන් ඉන්නවා. ඔන්න ඔහොම බලාගෙන වටයක් කැරකෙද්දි එක පාරටම ඩෝං ගාලා මගේ හිත ගැස්සිලා නතර වෙනවා. හරියට ඩුප්ලිකේශන් පාරේ සීතා හෝටලේ ඉස්සරහදි කිම් කඩදාසිඈස් හම්බ උනා වගේ ගැස්සෙනව.
කඩේ අස්සේ කූඩෙක දාලා දිලිසි දිලිසි තියනවා අර අපි පොඩි කාලේ තිබ්බේ පහනක් පත්තු කරලා යටින් තිබ්බම පුටු පුටු පුටු ගාලා යන දුම් බෝට්ටු. අන්න ඒවා විස්සක් විතර ඒ කූඩේ තිබ්බා. මාත් මීහරක් රැලේ නායක එල හරකා වගේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම එතනින් එක බෝට්ටුවක් සුස් ගාලා ඇදලා අරන් අතේ තිබ්බ සාස්පාන අස්සට දාලා පියනෙන් වහගත්තා.
මහබැංකුව කැඩුවටත් වඩා ගැම්මෙන් මං දැන් ඉන්නව. බෝට්ටුව ගෙදර ගිහින් පදින හැටි මතක් කරකරා. ඔන්න දැන් අම්මා බඩු ඇරන් ඉවරයි.දැන් මුදලාලි බිල ලියන වෙලාව.
“ආ සොල්ලුංග….”
මුදලාලි ලියනවා…ගෝලයා කියනවා
“රෙන්ඩ පෙට්ටි තන්නි ග්ලාස් “
“ආ..නූර්තු අයිම්බදු “
” ඔරු ටීකප් සෙට් පෙරිය සයිස්”
“ආ ….අයිනූර්තු අරුපදු”
ඔහොම කියාගෙන යන අස්සෙ එක පාරටම මහේ කණේ වැටුනා ගෝලයා කෑගහලා කියනවා බෝට්ටු බෝට්ටු කතාවක්. මං ඇහුනේ නෑ වගේ හිටියට අම්මා ඒකට කලබල උනා.
“මොන බෝට්ටුද? අපි ගත්තේ නෑ.. ගත්ත සේරම ඔය තියෙන්නෙ “
“නෑ නෝනා සෙල්ලම් බෝට්ටුවක් ගත්තා…”
“නෑ අපි ගත්තේ නෑ , ගත්තා නම් තියෙන්න එපායැ. ….”
අම්මට එච්චරයි කියන්න හම්බවුනේ ගෝලයා ලඟට ඇවිල්ල මගේ අතේ තිබ්බ සාස්පාන අරන් ඒකේ පියන ඇරලා අස්සේ තිබ්බ සෙල්ලම් බෝට්ටුව අම්මට පෙන්නුවා.
“මේ තියෙන්නෙ නෝනා බෝට්ටුව. පොඩි කෙනා අරගෙන”
මේ නං කීයටවත් තමන් ගෙදරින් එක්කරන් ආව ලමයා වෙන්න බෑ කියන ගාණට මගේ දිහා බලපු අම්මාගේ මූණ රතුම රතුපාට වෙලා දුම් දාන්න ගත්තා. මගේ හිතේ තිබ්බ සංතෝසේ කොහේදෝ ගියා වගේ අන්තරස්දාන වෙලා ගියා. ආපහු ගෙදරට එනකම්ම අම්මා වචනයක් කතා කලේ නෑ. මට මොකුත් කිව්වෙත් නෑ. සෙල්ලම් බෝට්ටුවත් එතනදිම ආපහු දුන්නා. වෙනදට අරන්දෙන රෝල්ස් එක්ක තේ අරන් දුන්නෙත් නෑ…
හැබයි එදා හවස තාත්තා ආවම මට ගේ වටේ දුම් බෝට්ටු පදින තත්වෙට සබුක්කුව නම් හම්බ උනා.
එදයින් පස්සේ ඒ බෝට්ටු ආසාවත් එහෙමම අන්තරස්දාන වෙලා ගියා.
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්රේමසිරි