මෙවා මේ වනේ වන හතුරගෙ නංගිටවත් සිද්ධ වෙන්න හොද නැති සිද්ධි.
සැබෑ ප්රේමය බස් එකකදී වූවද හමුවිය හැකිය කිව්වට ඕවා මහ බොරු කතන්දර මෙයා. ඔය බස් ගමන් වලදි සිද්ධ වෙනවනම් වෙන එකම දේ තමා හත්මුතු පරම්පරාවෙම දැලි ගෑවිලා යන, ආයෙ මතු භවයකවත් හම්බනොවේවා කියලා ලේබල් ගහන්න පුලුවන් මිනිස් කණ්ඩායමක් ඇති වෙන එකයි.
ඔන්න දවසක් මං රාජකාරී කටයුත්තකට මඩකලපුවෙ ගිහින් බස් එකක නැග්ගා ගෙදර එන්න. බස් එකේ නැග්ගා කිව්වට එබ්බුනා කිව්වනම් තමා හරි.
සූ ගාලා සෙනග. හැබැයි කිලෝමීටර බර ගානක් දුර ටිකට් එකක් ගත්තු නිසා කොන්දාමාමාගේ දැඩි සානුකම්පාවට ලක්ව ඒ ආනුභාවයෙන් රාජකීය විදියට සීට් එකක් හම්බුනා. සීට් එක රාජකීයයි කිව්වට රාජකීයම නෑ ඉතිම්. ඒක අර බස් එකේ ඉස්සරහා දොරෙන් ඇතුල් උන ගමන්ම තියෙන සීට් එක. එහා පැත්තේ වාඩි වෙලා හිටියේ වයසක අන්කල් කෙනෙක්.
ඒ උනාට අසාධාරණයි ඈ. එයාට සීට් එකෙන් 3/4ක් ඕන උනා එයාගේ අධික පතරංග දේහය ස්තානගත කරගන්න.
ඔව් ඔව් මට සීට් එකෙන් අරික්කාලයි හම්බුනේ. ඒ කිව්වේ ඉදගත්තට ඒක නිකන් ඉදගෙන ඉන්නවා වගේ රගපෑමක් මං කලේ. ඉතින් මේ යන්න තියෙන මුලු පැය 6ක් වගෙ කාලෙම, රියදුරි මහතා හදිසි තීරණයක් අරන් ඩොකුස් ගාලා බ්රේක් එකක් ගැහුවොත්, මගේ ගුරුත්ව කේන්ද්රය ස්ථාවරව පවත්වන් යන්න මට අමතර කැලරි දහනයක් කරන්න සූදානමෙන් ඉන්න ඕනේ කියන පාඩම තමයි මං ඒ වෙලේ මගේ පුංචි මොළේට පැහැදිලි කර කර හිටියේ.
කොහෙද! ම් නසරානි මොළේ ඒක අහන් හිටියෙම නෑ. ඒ වෙනුවට ” අම්නේ අද කුකුලටත් කලින් ඇහැරුනා නෙවෙද?දැන් නිදිමතයි නේද. නිදා ගමු නිදාගමු” වගේ නිසදැස් ලියන්න ගත්තා. ඉතින් බස් එකට නැගලා විනාඩි විස්සක් යන්නත් කලින් “ඉරබැස ගියා-අවට ලෝකේ අදුරු උනා-කුරුල්ලන් කැදලි කරා ගියා-මට නින්ද ගියා”. ඒකෙන් මේකෙන් බස් එක පැයට හැතැප්ම හතලිස් ලක්ස පනස් දෙකේ වේගෙකින් යන වගත්, අරහෙන් මෙහෙන් මුක්කු ගහන් ශරීර ස්කන්ධය බැලන්ස් කරන් ඉන්න වගත් ඒ අසමජ්ජාති මොළ කෑල්ලට අමතක උනා. කොහෙද ඒ අලකලංචියේම ඩැයිවර්තුමාට මාරක වංගුවක් ගන්න ඕනෙ උනානේ. ඔවාලා හිතන්නේ සුව නින්දේ මට ඒ වගක් තේරුනා කියලද? නෑනේ නෑනේ නෑනේ. .
හැබැයි ටිකකින් මට දැනෙනවා මගෙ වම් අත කවුරු හරි අධික වොට් බල ධාරාවකින් ඇදන් ඉන්නවා වගේ. ඒත් එක්කම දෙමළ මීටරේ දැම්මා වගේ ” නීංගල අලෙක්කුම් පුත්තාන්ඩු වාල්තුක්කල්” වගේ පද මාලාවක් නොනවත්වා ඇහෙනවා. කෝකටත් රේඩාර් පද්ධතිය පණ ගන්වලා බැලුවා. සිද්ධිය මේමයි. ඇත්ත වසයෙන්ම ඒ අසුබවාදී හෝරාවේ මගෙ අත විතරයි සීට් එක උඩින් හරි තිව්නේ. ඒකත් අර එහා පැත්තේ හිටපු අන්කල් ඇදගෙන ඉන්නවා. සරීරයේ ඉතිරි ඔක්කොම සීට් එකෙන් පිට පාවෙනවා. මොකද මේක බස් එක්ක නෙවෙ..ජෙට් එකක්. මේක සමාජෙට බම්බු ගහගන්න කියලා කේන්ද්රපසාරී බලය රජ කරපු මොහොතක්. ඒ අන්කල් මාව ඇදන් ඉන්නෙකෙන් භූමිගතනොවී මං එල්ලි එල්ලී ඉන්නවා. ඒ ඇරෙන්න ඒ අන්කල් නොනවත්වා මාව ඇහැරෝනවා. හැබැයි දෙමළෙන්. බාසා ප්රස්නේ නිසා ඇහැරුනේ නැත්තේ. නැතුව වෙන මොකටවත් නෙවෙ. වටේ පිටේ හිටපු මිනිස්සු ගැන මං සිහි කරන්න යන්නෙ නෑ මේ වෙලේ ඒක මගේ ආත්ම අභිමානයට කැළලක්. ඕකොටමත් වඩා මට කේන්ති බස් එකට නගිද්දී සූ ගාලා හිටපු සෙනග ඔක්කොම බස්සෙකෙන් බැහැලා හිටන් ඉන්න මිනිස්සු ප්රමාණය ශූන්යයකට ලගා කරවීමයි. හූම්! හාරි කමක් නෑ. ඕවද මිනිස්සුන්ට වෙන්නේ. නෑනේ නෑනේ .. ඉතිම් අර අන්කල්ට මං සෑහෙන්න ස්තූති කලා ඒ වෙලේ. ඒ මනුස්සයා මාව අල්ලගත්තේ නැතිනම් මං බස් එක මැද්දී චකල බොකුස් ගාලා වැටෙනවා! එහෙම උනානම් සියළු දේපොළ මැක්කන්ට පවරලා ප්ලූටෝවල පදිංචියට යන්න වෙන සීන් එකක් වෙන්නේ. එක අතකට මං කල්පනා කලා මං මොකටද ලැජ්ජ වෙන්නේ.
මං මේ මිනිස්සු අදුරනවද? මං වැඩ කරන්නේ ලං.ග.මේ ද? නෑනේ නෑනේ. ඉතිම් මං අර මනුස්සයට ස්තූති කරන එක නැවැත්තුවා. ආයෙත් නිදා ගත්තා. ( මොකක් ආයේ නිදා ගත්තා?) ඔව් ඔව් මං ආයෙත් නිදා ගත්තා. ඔවාලා අහල තියේනේ ලැජ්ජ නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා. මාත් අහල තියේ. ඒක නිසා මං නිදා ගත්තා. මං නිදාගත්තම එහා පැත්තේ අන්කල්ගේ ඩියුටි ඔන් වෙනවනේ. පස්සේ එයැයිටම එපා වෙලා මට කතා කරලා සීට් එකේ අයින පරිත්යාග කලා!
ඒක හරි! මොකද එයාට නෑනෙ මට වගේ මොලේ අවපාතමය වෙන නිදි මතක්. ඉතින් මට ආයෙ නින්ද ගියා. ඇහැරෙද්දී බස් එකේ කවුරුත් නෑ. ඩැයිවරුත් නෑ. කොන්දත් නෑ. හා හා හා ඔවාල හිතුවනේ මාව ඩිපෝ එකේ නිදගාන්න ඇරලා සියල්ල සතුටින් විසිරිලා ගියා කියලා. වරදිනකම්මයි බලන් ඉන්නේ නේහ් . ඒ අලකලංචියක් නෙවේ ඉතිම් බස් එක තේ බොන්න නවත්තලා ..ඔය ළමයි කලබල වෙන්න එපා දැන්ගෙවල් වලට යන්න. හූම්! ඒ උනාට මාත් පොඩ්ඩක් ඒ වෙලේ කලබොල නොවුනම නෙවෙ.
ඔන්න ආයෙ දවසක, මං කැම්පස් එකේ ඉදන් බෝඩිමට යන්න බස් එකක නැග්ගා. මගේ භයානක දුස්ට මිතුරු කැළත් ඒ වෙලේ හිටියේ නෑ මාත් එක්ක. එදා මයෙ හිතේ සිකුරාදා දවසක්. සිකුරාදා කියන්නේ ගෙදර යන දවසක්! ඒත් මක්ක හරි හේතුවකට ඒ සතියේ ගෙදර යන්න උනේ නෑ. ඉතිම් මං බෝම සාංකාවෙන්,අස්පයා හැරගිය කව්ද බෝයි වගේ ගෙදර ගැන මතක් කර කර හිටියේ. කොන්දොස්තර කොලුවටත් ටිකට් කඩන්න ඕනෙ උනේ ඔන්න ඔය වෙලේමයි!
“කොහෙටද යන්නෙ?”
මගෙ ඇස් දෙකට කදුළු පිරුනා. ගෙදර මතක් උනා. අම්මව මතක් උනා. අම්මගෙ බත් මතක් උනා. (තාත්තවත් මතක් උනා. ඒක කිව්වේ නැත්තම් මේක කියෙව්වම අපරාධ අංශයේ පැමිණිල්ලක් දාන්න ඉඩ තියේ අපේ තාත්තා) ගෙදර යන්නෝනෙ උනා. ඒත් දැන් යන්නේ බෝඩිමට. මං බෝම අවංකයි. කොන්දට උනත්බොරු කියන්නේ නෑ. ඉතිම් මං බෝම සෝකෙන් උත්තර දුන්නා.
” බෝඩිමට”
කොන්දා උඩ බැලුවා. බිම බැලුවා. අසුනේ අනෙක් පස සිටි ස්ත්රීය වහා නැගිට ගියා. බස් එකෙ බෙල් එක වැදුනා. මුහුදෙන් පිසගෙන ආ සුළග බස්සෙක පුරා බ්රමණය උනා. කොන්දා පියවි සිහියට ආවා.
“නෑ මිස් මං ඇහුවේ කොහෙන්ද බහින්නෙ? හෝල්ට් එකේ නම? මිස්ගේ බෝඩිම තියෙන හෝල්ට් එක මොකද්ද?
හා හා හා හා!” ඒ අන්තිම හිනාව වස කැතයි ඈ. තරුණ වයසට නොහොබිනයි. ඇයි අප්පා. හැදිච්ච කොන්දොස්තරලා ඒම නෙවෙනේ. කොන්දා උනත් ඔයිට වඩා වැදගත් වෙන්න ඕනේ.
මං තීරණයකට ආවා. ප්ලූටෝවල සිටිසන් ඇප්ලයි කරලා ඒක හම්බෙනකන් බස් හෝල්ට් එකේ ඉන්න වෙලේක ඒ බස් රථය දැක්කොත් අහක බලාගන්න ඕනෙ වගත්,බසය මා පසු කර යනතෙක් පයිතගරස් ප්රෙමේයය කෙතරම් සාධාරණද යැයි මනසින් තර්ක කල යුතු බවත්, රෑට නැති නුවණ උදේට පහළ වෙන බව සිතිය යුතු බවත්- අහක බලා සිටින කාලය එසේ ඵලදායි ලෙස භාවිතා යුතු බවත් සිහියට ගත්තා. හැබැයි මම නෙවෙ මගෙ යාලුවෙක්ටවත් අර බස්සෙකට නගින්න දුන්නේ ආයෙ කල්පයක් යනකන්. ඒ වගේ නොහොබිනා කොන්දොස්තර කෙනෙක් ඉන්න බස්සෙකකට කොහොමද යාලුවෙක්ට උනත් නගින්නෙයි කියන්නේ. හූම්!
පින්තුරය අන්තර්ජාලයෙනි.
උපුටා ගැනීම: Randini Athukorala