” ඔය ගවුම ඔයාට හරි නෑ” එයා දැක්ක ගමන් කිව්වා.
” හරි නෑ…? ඇයි එහෙම කියන්නෙ? ” මගෙ හිත රිදුනා.
” ඔයාව ටිකක් මහතට පේනවා ඕකට”
” මං කොහොමත් මහතයිනේ ” මං මාවම සනස ගත්තා.
” අලුත් අවුරුද්දට අලුතින් ගත්ත ගවුමටනේ මේ කැතයි කියන්නෙ. රුපියල් තුන් දහකුත් වුණා. දැක්ක ගමන් මගෙ හිත ගිය ගවුම. මොකද්ද මේකෙ වරද. මේකට පිස්සු” මං හිතින් බැන්නා.
කාලෙකට පස්සෙ බස් එකේ යන්න වුණේ ට්රාන්ස්පෝට් නැති නිසා අද. බස් හෝල්ට් එකේ වැඩි වෙලාවක් ඉන්න වුණේ නෑ බස් එක ආවා. බස් එකේ ඩ්රයිවර් ඉස්සරහ දොර මගෙ ඉස්සරහම හිටින්න බස් එක නැවැත්තුවා. ටක් ගාලා නැගලා වටපිට බැලුවේ ඉඳ ගන්න සීට් එකක් තියේද කියලා. නෑ ඔක්කොම සීට් වල කට්ටිය ඉඳගෙන. කමක් නෑ වැඩි දුරක් නැහැනේ.
කොන්දොස්තර අයියා පිටි පස්සෙ ඉඳන් හයියෙන් හයියෙන් ආවා.
” සීට් එකක් දෙන්න.. සීට් එකක් දෙන්න.. ” මෙයා කෑ ගහනවා.
කාටද සීට් එකක්.. මාත් වටපිට බැලුවා. මගේ දිහා බලාගෙන නේද
කියන්නෙ. එතකොටම අංකල් කෙනෙක් නැගිටලා මට වාඩි වෙන්න කිව්වා. මාත් ඉඳ ගත්තා. අංකල් ඉස්සරහින් බහිනවා ඇති කියලා හිතුවට බැස්සෙ නෑ. දිගටම හිටගෙන යනවා.
“මේ මොකද්ද දෙයියනේ වුණේ. මං ප්රෙග්නන්ට් කියලා හිතලා. වස නෝන්ඩියක් වුණේ. කමක් නෑ මං විතරනෙ දන්නෙ” කාලා කාලා මහත් වුණු බඩ දිහා බලාගෙන මං හිතුවා. හෙමිහිට වටපිට බැලුවෙ දන්න හඳුනන මූණක් එහෙම තියේද කියලා. කවුරුත් නෑ.
ලැජ්ජ වෙන්න බැහැනේ. බඩට අතකුත් තියාගෙන ආවා. බහින තැනට ආවම බස් එක නතර කරනකල්ම ඉඳලා නැගිටලා කොන්දට අතකුත් තියාගෙන බැහැලා ආවා කොන්දොස්තර අයියට පිං දිදී.
උපුටා ගැනීම: Piyumi Iresha