ඔන්න දවසක් තම මව් රට බලා ආපහු එමින් තිබුනු නැවක්, හදිසියේම කුණාටුවකට අහු උනා. තමන්ගෙ ජීවිතය ගැන බය උන නැවේ හිටපු හැමෝම, තමන්ව බේරලා දෙන්න කියලා දෙවියන්ට කන්නලව් කරන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් තමන් සතු ඕනිම දෙයක් දෙවියන්ට පූජා කරන්න කැමතියි කියලත් ඒ අය කිව්වා.
මේ අතර නැවේ හිටපු සුෆි මුනිවරයෙක් නිහඬවම බලාගෙන හිටියා.
‘ඇයි ඔබතුමා නිහඬව ඉන්නේ? හරි නම් මේ ව්යාපාරික අපි නෙමෙයි, ඔබතුමානේ දෙයියන්ගෙන් අපිව බේරගන්න කියලා ඉල්ලන්න ඕනි’ මුනිවරයා දැකපු ව්යාපාරිකයෙක් කිව්වා.
‘දැනටමත් ඔයාලාම හේතුව කිව්වනේ.මම ව්යාපාරිකයෙක් නෙවෙයි. දෙයියො මට ජීවත් වෙන්න දෙන්න කැමති නම් ඒක දෙවියන් වහන්සේගේ වැඩක්. අද අපි හැමෝම මැරෙන්න ඕනි නම්, ඒකත් උන්වහන්සේ තීරණය කරයි. මට මගේ පෞද්ගලික ව්යාපාර මොකුත් නැහැ. මං දෙවියන් වහන්සේ සමඟ සම්පූර්ණයෙන් එකඟයි. ඕගොල්ලො දෙයක් ඉල්ලන්නෙම දෙවියන් වහන්සේගේ තීරණයට එකඟ නැති වෙලාවලදී.’ මුනිවරයා උත්තර දුන්නා.
‘අනේ කොහොම උනත් මගෙ ජීවිතය අද බේරලා දෙනව නම්,මං මගේ මාලිගාව වුණත් දෙවියන් වහන්සේට පූජා කරනවා’ ජීවිතය රැකගන්න ඕනි උන ව්යාපාරිකයා දෙවියන්ට පොරොන්දු වුණා.
ඔන්න ඉතින් කොහොම හරි ටික වෙලාවක් යනකොට මුහුද නිශ්චල වෙලා හැමෝටම කරදරයක් නැතුව ගොඩබිමට එන්න ලැබුණා. දැන් ඉතින් ව්යාපාරිකයට එයාගේ පොරොන්දුව මතක් උනා.
‘අපරාදේ මටත් ඔබතුමා වගේ ඉන්න තිබ්බේ නේද ‘කියලා මුනිවරයාට කිව්ව ව්යාපාරිකයා, තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන්න මාලිගාවට ගියා.
රෑ එලි වෙනකන්ම කල්පනා කරපු ව්යාපාරිකයා,ඊළඟ දවසෙම මාලිගාව වෙන්දේසියට දැම්මා. හැබැයි මාලිගාව වෙන්දේසි කරද්දි එක ඉස්සරහ කණුවක පූසෙකුත් ගැට ගහලා හිටියා.
‘ මං වෙන්දේසි කරන්නේ මේ මාළිගාවයි පූසයි එකට. මාළිගාවටයි පූසටයි- ඩොලර් නමදාස් එකයි.’ ව්යාපාරිකයා වෙන්දේසියට ආපු අයට කීවා. අන්තිමේදී වෙන්දේසිය අවසන් උනාම, ව්යාපාරිකයා දෙවියන්ට දුන්න පොරොන්දුව ඉටු කරා. දේව පිලිමය ඉදිරියෙන් ඩොලර් එකක් පමණක් තැබූ ඔහු, දෙවියන්ට ඇහෙන්න මෙහෙම කිව්වා.
‘මාලිගාව ඩොලර් එකයි, පූසා ඩොලර් නමදාහයි. ඉතින් දෙවියන් වහන්සේට අයිති ඩොලර් එක මෙන්න’

උපුටා ගැනීම: Sithu Samarajeewa