අපේ අක්කා ළඟ ඉස්සර තිබුනා ඇල්කටෙල් වර්ගේ ෆෝන් එකක්. කෝල් එකක් එනකන් විතරයි ඒක ඔන් එකේ තියෙන්නේ. රින්ග් වෙන්න පටන් ගත්ත ගමන් ඕෆ් වෙනවා. එක්කෝ විනාඩියක් විතර කතා කරද්දී ඕෆ් වෙනවා. බැටරියට ලහිපිට පත්තර පිටුවක් විතර නමලා ගහලා තද කරලා තමයි යාන්තම්වත් ගොඩදාගන්නේ. කොහොමත් මම තමයි ෆෝන් එකේ ඔපරේටර් වැඩේ කරන්නේ. මට තරමක් දුරට ෆෝන් රෙපෙයාරින් එහෙමත් පුළුවන්.
ගෙදර තිබුන ඉලෙක්ට්රික් බඩු හුඟක් එව්වත් රෙපෙයාර් කරන්න මම පොඩි දවස්වල ඉඳන්ම දක්ෂයා. එක්කෝ බැටරිය ගලවලා බිත්තියේ ගහලා තලලා ආපහු දානවා. පොඩි අයිටම් එකක් නම් එක අතකින් අල්ලලා අනිත් අල්ලට එකෙන් තුන් හතර පාරක් මහ හයියෙන් තඩිගහනවා. ටිකක් ලොකුයි නම් මේසේ උඩට හතර පස් පාරක් අතාරිනවා. ගොඩක් ලොකු එකක් නම් කීප සැරයක් පොලේ ගහනවා. සමහර එව්වා හරි ගියා. සමහර එව්වා පන ගියා.
ඉතිං අක්කගේ ෆෝන් එක උනත් රෙපෙයාර් කලේ ඔය විදියට තමයි. හවුසින් එක එහෙම ටික දවසක් යද්දී යුද්දෙකට ගිහින් ආව වගේ. තැනින් තැන කෑලි නෑ. අන්තිමට ඔහොම කරලා “මොකක්ද ඕයි ඔය ෆෝන් එකේ හැටි, බස් එකේදී එළියටවත් ගන්න පුලුවන් ද, ගන්නවකෝ අලුත් ෆෝන් එකක්” කියලා අක්කට පරණ එක එපා කරවලා අළුත් ෆෝන් එකක් ගැන “පිළිඹඳ සිතක්” පහළ කලා. අපරාදේ කියන්න බෑ ගෑණි ඊළඟ පඩියෙන්ම ගත්තා නොකියා 1100 එකක්. එතකොට අර වෙඩි වැදුන ඇල්කටෙල් ෆෝන් එක නිතරඟයෙන්ම මට තමයි. ගෙදරින් ක්ලාස් යනවා කියලා හිතාන දෙන සල්ලි වලින් කොහොම හරි රුපියල් තුන් සීයක් විතර වියදම් කරලා දැම්මා අළුත් හවුසින් එකකුත්. දැන් පෙනුම එහෙම ඉතිං සුපිරි.
මාසෙකින් විතර අක්කගේ නොකියා 1100 එක නැති කරගත්තා. දැන් මගේ ෆෝන් එක ලස්සනට බබා වගේ තියෙනවා. පොත්ත ඔපේට තියෙනව නම් අක්කටත් ඕන මගුලක්.
“මල්ලී, මට දෙනවකෝ ආපහු ඔය ෆෝන් එක”
“මම මේක වියදම් කරලා හැදුවේ.. දැන් දෙන්න බෑ”
“මම තමුසෙට කීයක් හරි දෙන්නම්, දෙනවකෝ..”
“එක්දාස් පන්සීයක් දෙනවා එහෙනම්”
“අනේ මේ එච්චර නෑ, දාහක් දෙන්නම්”
“හා දෙනවකෝ’
හවුසින් එක විතරක් දාලා අක්කගේ ෆෝන් එක අක්කටම විකුණුවේ ඔහොම. ඒ දවස් වල ආතක් පාතක් නැතුව ටවුන් එකේ රස්තියාදු වෙවී ඉන්න කාලේ. ඒ දාහෙන් අට සීයක් දීල ගත්තා නොකියා 3310 වර්ගේ ලොකු, ඉස්සර අපි රීලෝඩ් ෆෝන් එක කියපු මොඩ්ල් එකේ ෆෝන් එකක්. ඒක මාසයක් විතර පාවිච්චි කරලා ඒක රුපියල් එක්දාස් තුන් සීයකට විකුණලා එක්දාස් එකසීයකට ගත්තා නොකියා 1100 වර්ගේ එකක්. ඒක එක්දාස් හයසීයකට විකුණලා රුපියල් 1300 කට ගත්තා නොකියා 1110 වර්ගේ තව එකක්. ඔහොම ඔහොම ගිහින් මාස හයක් ඇතුලත නොකියා, මෝටරෝලා, සෝනි එරික්සන්, ඇල්කටෙල්, බර්ඩ්, වගේ රටේ නැති හැම වර්ගේම ෆෝන් දොලහක් විතර මාස හයක් ඇතුලත පාවිච්චි කලා. ඔක්කොම වික්කේ රුපියල් පනහක් හරි ලාබ තියාගෙන. අනික එකක් විකුනලා ගත්තේ ඊට වඩා ටිකක් හරි ඔප්ෂන් වැඩි ෆෝන් එකක්.
අක්කගෙන් පිනට ගත්ත ඇල්කටෙල් එකෙන් පටන් අරන් අන්තිමට නතර උනේ මෝටරෝලා කැමරා ෆෝන් එකකින්. ඒකෙන් ෆොටෝ එකක් ගත්තම ඉන්නේ මමද කියලවත් හොයාගන්න බැරි එක වෙනම කතාවක්. කැමරාව මම හිතන්නේ මෙගා පික්සල් රින ගාණක් වෙන්නැති. රිලවෙක්මයි පේන්නේ ගන්න ගන්න ෆොටෝ එකේ.
අකවුන්ට්ස්, බිස්නස්, ඉකෝන් ක්ලාස් කට් කලාට මොකද අපි ප්රායෝගිකව ඒ දවස් වලම ඔය සබ්ජෙක්ට් පාවිච්චි කලා. එක පන්තියේ හිටපු උන් කැම්පස් ගිහින් ඇවිත් ඔව්වා ප්රායෝගිකව පාවිච්චි කරනකොට අපි ප්රැක්ටිකල් කලින්ම කරලා ඉවර කලා. කරුමෙට ඉතිං ප්රැක්ටිකල් වලට පස්සේ තියරිය ඉගෙනගෙන අනාගතේ ගොඩදාගන්න සිස්ටම් එකක් අපිට කවුරුත් හදලා දුන්නේ නෑ. අම්මපා මම කල්පනා කලේ මී කුණෙනුත් දියුණු උන විදිය ගැන කතා තිබුනට මම මීකුණක්වත් නැතුව රුපියල් දහ දොලොස් දාහක් විතර හම්බ කලා ඒ දවස් වල. අක්කට කරපු වැඩේ කරුමෙ පඩිසන් දෙන්නද මන්ද දැන් විසි පහ පඩි ගත්තම ඊළඟ මාසේ දහවෙනිදා විතර වෙනකොට යන්නේ දන ගාගෙන. පහළොස් වෙනිදා විතර වෙනකොට ඒක මාරුවෙනවා බඩගාගෙන යන තැනට. විස්ස පහු උනාම යන්නේ හොම්බෙන්. තව දවස් දෙක තුනකින් ඉන්නේ නිකන් අර මොකක්දෝ එක උඩ තියෙන දෙකේ කාසියත් දිවෙන් ගන්න තරම් අහේනියකින්.
බිකෝස් අප් සැලුනද. ඔව්.. ඔව්, සැලුනා. එහෙම නෑ කියන්න රටේ ලෝකේ මිනිස්සුන්ට ආතල් එකක් සපයගෙන ජොලියේ ඉන්නවා ඉතිං. මොනවා උනත් විසිපහ පඩිනේ.
-හෝම්ස්-
උපුටා ගැනීම: Sherlock Holms