හැමෝම තමන්ට වෙච්ච සිද්දි ලියන නිසා මටත් නිකම් ඉන්න එකේ මේක ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ මේක කිසි කමකට ඇති කතාවක් නෙවේ. මේකෙ ගන්න තරම් ආදර්සෙකුත් නෑ. ඒනිසා ඔයාලගෙ කාලෙ කෑවා ඩේටා කෑවා චික් මේ මොන කතාද, මේවත් කතාද කියල බනින්නෙ නැතුව දැන්මම කියවන එක නවත්තන්න. කාලෙයි ඩේටයි ඕනෙ තරම් තියෙන කමකට නැති දෙයක් කියවන්න ඕනෙ ඈයො මෙතනට සෙට් වෙන්න.
දැන් මේ කතාවේ මේ නම දැම්මේ මගේ පන්තියේ යාලුවෙක්. මේ නම දාන්න සිද්ද උනේ පන්තියේ ඇති උන මහා වාදයක්. ඒ කතාවට එන්න තව කල් තියෙනවා. සිද්දිය පටන්ගන්නෙ මෙන්න මේ විදිහට. එකමත් එක කාලෙක, ඇසල මාසෙ, පිංවත් දරුවෙක් පර දේසෙට යනව. යන අතරමගදිත් ප්ලේන් එකේ හා අනෙකුත් මගින් බහින මොන රටෙත් බැස්සහම ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්නෙ ටොයිලට් රාජයාව වැද පුදා ගන්න එකනෙ. ඉතින් හා හා පුරා කියල පුරුද්දට බැලුවාම වතුර නෑ. කොල රෝලක් තමයි එල්ලෙන්නෙ. මුල් වතාවෙ දෙවතාවෙ පුරුදුවෙන්න එපැයි දැන් අපි මේවා වලට. කියල හරි උජාරුවෙන් පිහගත්තත් තුන්වෙනි හතරවෙනි වතාව එනකොට ඉතින් සාරීරිකවත් මානසිකවත් මේ වැඩේ එපා වෙන තත්වෙට ආව.
ඉතින් අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී කියල එක එක උප්පරවැට්ටි කලා. බොන වතුර බෝතල් අරන් ගියා, ටිශූ තෙමල අරන් ගියා, ගෙදරට ගිහින්ම වැඩේ කරන්නම් කියල තද කරගෙන හිර කරගෙන ගියා… හරි අමාරුයි අප්පා. ඔන්න ඔහොම ගිහින් ගිහින් අන්තිමේ නවතින ගෙදරට ගියා. ඉස්සෙල්ලාම කලේ කඩේ ගිහින් කලේ හෝදන්න පුලුවන් පොඩි කෝප්ප පොඩ්ඩක් ගත්ත එක. ඒ වැඩේ සැනසීමෙන් කරන්න එපැයි මොක නැති උනත්.
ඉතින් ඔහොම කාලයක් සැපෙන් සනීපෙන් ජීවත් උනා. ගෙදරින් එළියට යද්දි බැහැර කිරීමේ කටයුතු වල නිරත වෙලා. ගෙට ගොඩවෙනකොටම ලැට් එක බදාගන්න එක අන්තිමේ ආගමක් උනා.
ඔහොම ඉන්නකොට දවසක් මහ රෑ දේශනයක්, ලෙක්චර් එකක් සෙට් උනා. සීතල කාලෙ. හැමෝම පැයෙන් පැයට ටොයිලට් යනවා. ළමයි නමකුත් දාගෙන හිටියෙ පී බ්රේක් කියල. මම විතරක් යන්නෙ නෑ. ඉතින් අන්තිමේ එකෙක් බැරිම තැන ඇහුවා
“මම මේ අහන්න මයි හිටියේ ඇයි ඔයා පී බ්රේක් එක ගන්නෙ නැත්තෙ?”
“මට බෑ බන්… මට කම්මැලී”
“කම්මැලී??? ටොයිලට් යන්න”
“ඕ”
“මට තේරෙන්නෑ”
“මම ඔයාල වගේ නෙවේ, මට ඩිස්පෝසල් වතුර බෝතල් හොයන්නයි, අරකයි මේකයි මට කම්මැලී. මට බෑ”
“ම්ම්ම්හ්????” (මූන නිකන් සාන්තගෙ බල්ලා වගේ කරගෙන ඉන්නව. ඌට හෙන පෙහෙලිකාව)
“ඔයාලා වගේ කොලෙන් පුප පිහින්නෑනෙ අපි. අපිට ඒකට වතුර ඕනෙ”
දැන් මේ වෙනකොට මගේ මේසෙ හිටපු අය කතාවට සෙට් වෙලා.
“ඊයා… එතකොට අතේ ගෑවෙනවනෙ.”
“අතේ ගෑවෙන එක හෝදගන්න සබන් තියල තියෙනවනෙ. ඒවගේද පුපේ ගෑවි ගෑවි තියෙනකොට?”
ඔන්න ඔතනින් ඇරබි විවාදය මහා වාද විවාදයක් තත්වෙට දුර දිය ගියා. මම තනියෙන්. මගේ මුලු ටේබල් එකම එක පිළක්. මමත් අපේ සංස්ක්ෘතිය පාවාදෙන්න ගියේනෑ දිගටම සටන් කලා. ඔය අතරෙ පස්ස හෝදන කෝප්පෙට මුන් ටික නමකුත් දැම්මා බට් බෝල් කියල. අන්තිමේ ඩොක්ටර් එන්. (අපිට එදා උගන්නපු ගුරුතුමිය) කිව්වා.
“මම හරි අගේ කරනවා ඔයගොල්ලන්ගේ ක්ලාස් ෆිට් එක ගැන. ඕනෙ දෙයක් කතා කරන්න තරන් ඔයගොල්ලො එකතුයි. හැබැයි දැන් අපි ප්ලීස් පාඩමට එමු”
ඉතින් කතාව එතනින් ඉවර උනත් මගේ ටේබල් එකේ හිටපු අය පොඩි ඉල්ලීමක් කලා ක්ලාස් එකේ ළමයි හදන් තියෙන ත්‍රෙඩ් එකේ බට් බෝල් එකේ පින්තූරයක් දාන්න අනික් අය මොකෝ කියන්නෙ බලන්න කියල. ඉතින් ඕකත් ත්‍රෙඩ් එකේ දාලා හිනාවෙලා පස්සෙන් පහු හැමදේම වගේ මේ සිද්දියත් අමතක වෙලා ගියා.
ඉතින් එක දවසක් උදා උනා මගේ මවයි පියයි එකතු වෙලා මාව බලන්න ආව. හරි සතුටුයි ඉතින් අපට! යං ට්‍රිප් එකක් කියලා යෝජනාවක් සම්මත උනා. ඉතින් පැක් කරගත්තු ඔක්කෝම බඩු අතරේ ඩිස්පෝසල් වතුර බෝතල් පැක් එකකුත් තිබුනා. වතුර බොන්නයි දන්නවනේ ඉතින්, අනික් වැඩේටයි. ඉතින් මගින් නවත්තනවා වතුර බෝතලයක් හිමීට හංගගෙන ටොයිලට් යනවා. කඩේ ඉන්න සුද්දො බුද්දො ඔක්කොම මූං මේ මොකෝ වතුර බෝතල් අරන් ලැට් යන්නේ වගේ බැල්මක් දානව. හැබැයි ඉතින් කවුරුත් මුකුත් අහන්න එන්නෙත් නෑ. අපිත් ඉතින් සාන්තගෙ බල්ල වගේ හිනාවෙවී බෝතලේ හංගන් නොහන්ගන් යනවා.
අන්තිමේ එක තැනක සෙට් උනා එතනනම් පොඩි කඩයක්. හැබැයි අපිට ඉන්න බෑ ටොයිලට් යන්න ඕනි. කමන්නෑ ඔහෙ යමු කියලා වතුර බෝතලෙත් අරන් මම ලැට් එකට යනව. කඩේ මෑන් කෑශ් රෙජිස්ටරෙන් ඔලුවත් මෙහෙක් කරලා උවමාවෙන් බැලුවා. සුද්දෙක් නෙවේ. හම දුඹුරු පාට නිසා මම හිතුව මෙක්සිකන් පොරක් වෙන්න ඇති කියල. මමත් මෝඩ හිනාවක් දාලා මගේ ගමන ගියා. මොකෝ මට වතුර බෝතල් අරන් ටොයිලට් යන එක ඌ තහනම් කරන්නයැ.
ඉතින් මම ටොයිලට් එක ලගට ගියා. හිමීට දොර ඇරියා. දොර වැහුවා. ලොක් දැම්මා. ආ…..හ්??? දුටු දසුනෙන් මගේ පිට දිගේ හිරි වැටුනා. හරියට කාලෙකින් දැකපු නැති නෑයෙක් යාලුවෙක් දැක්කා වගේ සතුටක් දැනුනා. පැත්තකින් වතුර පුරෝපු ලස්සන ලොකු බූලියක්. තවත් පැත්තක පිරිසිදු කෝප්ප පොඩ්ඩක්. වෙන එකක් තියා සතුට වැඩිකමට අතටත් අරන් බැලුවා. වැඩේ කරන් හිමීට කෑශ් රෙජිස්ටරේ ගාවට ගියා. කෝකටත් නොදන්න හින්දා කඩ්ඩෙන්ම ඇහුවා
“ආ යූ ෆ්‍රොම් ශ්‍රී ලංකා?”
අහිංසක දත් තිස්දෙකම පෙන්නලා හිනාඋන කඩේ මනුස්සයා මෙහෙම කීවා.
” නෝ අයිම් ෆ්‍රොම් ඉන්ඩියා”
වැද ගැම්මකට නැති මගේ කතාව අසාසිටි ඔබට ස්දූදියි!
උපුටා ගැනීම: නෙළුම් ගරුසිංහ