බටර් කේක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අදටත් මගේ ආසම කේක් වර්ගය බටර් කේක්. කොච්චර නානාප්රකාර කේක් ජාති ආවත් බටර් කේක්වලට ගහන්න පුලුවන් කේක් එකක් නෑම කියලා තමයි මට හිතෙන්නේ. ෆෘට් කේක් කියයි, චොක්ලට් කියයි, ගැටො කියයි, රිබන් ,ලේයර් කියයි ඒත් නිකම්ම නිකම් බටර් කේක් එකක් තරම් මට නම් වෙන මුකුත් වටින්නේ නෑ. ඔනෑම වෙලාවක බටර් කේක් කන්න පුලුවන්. උදේ නැගිට්ට ගමන් හිස් බඩට, කෑමට කලින් , කෑමට පසු, රෑට. පාන්දර මැද්දේ ඇහැරුණාම.. ඒ විතරක් ද අවන් එකේන් බාපූ ගමන් උණු උණූවේම, ෆ්රිජ් එකේ දාලා සීතලේ ගල් වෙච්ච ඒවා. ඔනාම ආකාරයට තියෙන ඒවා. බටර් කේක් එකට අයිසින් දාන එක තමා මිනිහෙකුට බටර් කේක් එකකට කරන්න පුලුවන් ලොකුම අපරාදේ .. එහෙම විනාස කරපු බටර් කේක් වලත් අයිසින් කොටස අයින් කරලා කන්න තරම් මම නම් බටර් කේක් වලට ආසායි.
දැං මෙහෙම උනාට අපි පුංචි කාලේ කේක් ගෙවල්වල හැදුවේ නෑ. කේක් පුච්චන අවන් එකක් කියන්නේ ටිකක් දුර්ලභ දෙයක්. හැම ගෙදරකම නෑ. කේක් හදන්න දන්න කට්ටිය කරෙත් මිශ්රණය හදල අවන් එකක් තියන ගෙදරකට දීලා පුච්ච ගන්න එක. සමහරු පෝරණුවෙ දාලා පුච්චගන්නවා කියලා අහලා තිබ්බා..
ඒත් ඒකාලේ අපේ අම්මාත් කේක් හදන්න දන්නේ නෑ.. ඉතින් කේක් කන්න ඔනා උනාම අපි කරන්නේ කඩෙන් අරන් කන එක. කඩෙන් ගන්න හැම බටර් කේක් එකම රස , හොද ඒවා නෙමී.. සමහර ඒවා පළවෙනි කට කනකොටම තේරෙනවා.. ඒත් ඉතිං මොනවා කරන්නද හිත හදන් කනවා.. බටර් කේක් නේ. අහක දාන්නේ මොන හිතකින්ද? අනික ඒකාලේ කේක් කන්න හම්බ වෙන්නෙ අලුත් අවුරුද්දේ , ජනවාරි පලවෙනිදා වගේ විශේෂ අවස්ථාවලදී. දැන් වගේ හිතිච්ච ගමන් හදාගෙන කන්න තරන් වාසනාව නෑ.
පනාගොඩ හමුදාවේ පන්සල ගාව මොරගහහේන පාර පැත්තේ තියනවා වීරසිරී කියලා බේකරියක්. පිටිපන අවට විතරක් නෙම් මේ බේකරිය ඊට ටිකක් ඈත පවා ප්රසිද්ධයි උණු රස පාන් වලට. තව කිඹුලා බනිස්, සීනි බනිස්, මාලු පාන් උණුවේම පුදුම රසක්. ඒ ව්තරක් යෑ බටර්කේක්. විශේෂයෙන් අවුරුදු කාලෙට දෙසැම්බර් මාසේ බටර් කේක් දාන්නෙ කිලෝවෙ එකාමාරේ කුට්ටි. හරි ලස්සන පාට. ඒ වගේම විරසිරියේ බටර් කේක් එක පුදුම රහක්. පාන් පෝරණුවේ පුච්චන නිසාද මන්දා. බේකරියේ අයිති පවුලේ හිටියා මගේ වයසේම වගේ පිරිමි ලමයෙක්. මට හිතුනේ ඌනම් මාරම වාසනාවන්ත කොල්ලෙක්. ඇයි දෙයියනේ එච්චර කෑම ගොඩක් වට කරන් ඉන්න. විශේෂයෙන් බටර් කේක්. අපේ තාත්තට එහෙම මේ වගේ බේකරියක් තිබ්බානම් මම තුන් වේලට කන්නේ බටර් කේක්.. අතුරුපසට මාලු පාන් කිඹුලා බනිස් වගේ දේවල් කන්න තිබ්බා. ඔහොම හීන බල බල තමයි බේකරියේ ඉදන් පාන් අරන් කිලොමීටර් එකාමාරක් විතර පයින් ගෙදර එන්නේ.
මට මතක විදියට අනූවේ අගහරියේ වගේ. දෙසැම්බර් 31 එක , චාරිත්රානුකූලව අම්මා වීරසිරි එකෙන් බටර් කේක් කිලෝ එකහමාරක තනි කුට්ටියක් ගෙනත් තිබ්බා තිස් එක රෑටයි, ජනවාරි පළමුවෙනිදාටයි ගන්න. ඉස්සර අපේ ගෙදර තිස් එක රෑ කිරි උතුරුවන්වා. ගොඩක් අය කරනව තාමත් මන් හිතන්නේ. ගෙනාපු ගමන් අම්මා සුපුරුදු විදියට පොඩි කෑලි දෙකක් කපලා නංගිටයි මටයි දුන්නා. අයියෝ ඒක කෑවා කියලා දැන්නේවත් නෑ.. ඒකෙන් වෙන්නේ රසාංකුර උද්දීපනය වෙලා බඩේ ඉන්න මල පෙරේතයා ඇවිස්සෙන එක. මොකද ඉතුරු ටික රෑට සහ පහුවෙනිදා උදේ ජනවාරි පළවෙනිදා කෑම මේසෙට එනකං ඉතිං සෝමාලියානුවො වගේ බලන් ඉන්න ඔනා.
අපි දෙන්නට පෙරේත භාගය දුන්නට පස්සේ, අම්මා කරේ කේක් එකට කුඹි නොඑන්න ට්රේ එකක වතුර පුරවලා ඒක මැද්දේ බෙලෙක් කෝප්පයක් හිටවලා එක උඩ තව පොඩි ට්රේ එකක කේක් ගෙඩිය තියලා තිබ්බ එක. ඔව් …. එක් ටැම් ගේ වගේ තමා. එකට ආරක්ශාව දෙන්නේ උන්මාද චිත්රාට වගේ. කුස්සියේ මේසේ උඩ විරාජමාන වෙලා ඉන්නවා. නංගීයි මමයි චිත්රරාජ, කාලවෙල යක්ශ දෙපල වගේ එක දිහා බලාගෙන. අපි විතරක් නෙමී ගෙදර හිටි බල්ලත් දන්නවා කේක් ගෙඩියේ සම්ප්රාප්තිය. ඌ ත් කුස්සියේ දොර ගාව ලැගලා.
කලින් අවුරුද්ද වගේ නෙමී මේ අවුරුද්දේ නම් මට ඉවසන්නම බෑ. තව කේක් කෑල්ලක් කන්නමයි ඔනා. බඩේ ඉන්න මල පෙරේතයත් ඒ අදහසේම තමයි ඉන්නේ.
හවස ගෙදර අස් පස් කරන වැඩ ඉවර කරලා තාත්තා තුනට විතර කාමරේ නිදි. 31 තාත්තා ට නිවාඩු දවසක්. අම්මා නාන්න ගිහින්. නංගී එයාගේ කාමරේ නිදි, මම මගේ කාමරේ.
මමත් ඉතිං හොර බ්ළාල ආරෙන්, ඇගිලි තුඩුවලින් කුස්සිය පැත්තට ආවා, කිසිම හැල හොල්මනක් නෑ. කුස්සියට ආවම මෙන්න උන්මාද චිත්රා ඉන්නවා එක් ටැම් ගේ උඩ බැබළි බැබළි. හෙමීහිට කේක් ගෙඩිය එක් ටැම් ගෙදරින් බාගත්තා, ගත්තා පිහිය, කැපුවා කෑල්ලක්, ලොකු කෑලී කපන්න බෑ හොර වැඩේ අහුවෙන නිසා. කපපු කෑල්ල කෙලින්ම කටේ. එතනින් බඩට. මටත් සතුටුයි , බඩේ ඉන්න පෙරේතයටත් සතුටුයි. අපරාධය අහු නොවෙන්න තිබ්බ පරිදිම ස්තානය සකසලා උන්මාද චිත්රා කේක් ගෙඩිය එක්ටැම් ගෙට දැක්කුවා. හෙමීන් සැරේ ආ විදියටම කාමරේට ගියා.
ඒත් එහෙම ගිහින් ටික වෙලාවයි. බඩේ ඉන්න එකා ආයේ අඩනවා. කලින් කාපු කෑල්ල පොඩී වගේ. ආයෙත් පුරුදු පාරේ ගියා . කෑවා,කෑවා, ආවා . දැන් නම් වැඩේ සිම්පල්.
ටික වෙලාවකින් ආයෙත් ආසාව අවා. දැන් නම් ගමේ යනවා වගේ.. අවා කපාගත්තා , වැහුවා, කෑල්ලක් අරගෙනම ගියා, කාමරේට ගිහින් කන්න. අපරාදෙනේ මම කලින් මේවා කරේ නැත්තේ. කොච්චර වටින හැකියාවක් ද මට තියෙන්නේ, කාමරේට යනගමන් මම හිතනවා.
හතරවෙනි වතාවේ එනකොට පොඩ් අමුත්තක්. මම කෑවාට වඩා වැඩිපුර කෑල්ලක් අඩුයි වගේ. තව කවුද ඉතින් මේක හොරෙන් කන්නේ නංගි මිසක් මේ ගෙදර. මේකි මට හොරෙන් කනවා වගේ.
අමුත්තක් නොපෙන්නා මගේ කාමරේට ගිහින් බලන් හිටියා මොකද්ද වෙන්නෙ කියලා.
හිතුවා වගේම, මම ගියා කියලා හිතපු නංගී මගේ විදියටම හොරෙන් කුස්සියට ගියා. හිටහං කො බෙල්ලෙන්ම අල්ලගන්න කියලා මමත් ශේලොක් හොම්ස් වගෙ පිඹගෙන ආවා.
අපෝ මේකි කන හැටි. කේක් ගෙඩිය එක් ටැම් ගෙයින් බාන්නෙ වත් නැතුව එතනම් තියාගෙන කපනවා.
” ඕයි.. තමුසෙට පිස්සුද .. ඔක රෑට කන්න තියෙනවා..”
මම සිංහ සෙයියාවෙන් කෑ ගැහුවා.
“අනේ මේ.. යනවා යන්න.. තමුසේ තීරුවකම කාලා මෙතන මට බණ කියන්න එනවා”. මේකී කෑල්ලක් කටේ දාගත්තා.
මටත් කට උත්තර නැතුව ගියා ඒකට. ඊටත් කේන්ති.
” දැං ඉතින් ඇති, ඔක තියල යනවා..”
” ඉන්නව… මම තාම කැල්ලයි කෑවේ”
දෙවනි කෑල්ලත් කපනවා. දැං මේකි කේක් කන එක ඉවසෑකි. එකට එක කියන එක තමයි වසල ඉන්න බැරි. මම එකක් කියනවා. නංගි එකට තව එකක් කියනවා.
තත්වය ටිකක් උණුසුම් වෙලා වචන හරඹය ගුටි බැට හරඹයක් දක්වා වර්ධනය උනා. අතපය ටිකක් විසි වෙනකොට දෙන්නගෙන් එක්කෙනෙක් ගහපු පාරක් එක්ටැම් ගේ උඩ හිටි උන්මාද චිත්රාට වැදුනා. උන්මාද චිත්රා නම් විසිවෙලා මේසෙට වැටුනා.
ඒත් එක්ටැම් ගේ…. ඒ බෙලෙක් කෝපපේ මහා සද්දයක් දාගෙන බිමට වැටුනා.. ඊලගට ට්රේ එක වතුර ටිකත් එක්කම බිම. දෙයියනේ කියලා කේක් ගෙඩිය බේරිලා හැබැයි.
නංගි බිම වැටිල වතුර ගොඩේ, මම හිතේ හැටියට පහර දෙනවා. ඒකී ඒකීගේ යක්ස නියපොතු වලින් මාව බරු ගහනවා. ඒ අස්සේ එයා කකා හිටපු කේක් කෑල්ල උගුරේ හිරවෙලා කැහැ කැහැ මර ළතොනි දෙනවා.
එක පාර පශ්චාත් භාගයට වැදිච්ච පාපහරකින් මම විසි වෙලා බිමට වැටුනා.
“තොපි දෙන්නට රණ්ඩු වෙන්නෙ නැතුව ඉන්නම බැරිද? නැහිලා නැහිලා පොඩ්ඩ්ක් ඇහැපියාගත්තා විතරයි මෙතන තොයිල නටන්න පටන් ගත්තද??”
බෙලෙක්කේ වැටිච්ක සද්දේ ටයි, අපේ දයාබර කළහයේ සුමිහිරි ශබ්දෙටයි පිබිදිලා කුස්සියට ඇවිත් හිටියේ වෙසමුණි ආරූඪ වෙච්ච තාත්තා.
” මේ නංගී කේක් එක හොරෙන් කනවා”
” බොරු තාත්තේ.. අයියා තමයි මුලින්ම කෑවේ”
අපි දෙන්නගේ කළහයට හේතුව කේක් ගෙඩිය බව තාත්තාට අවබෝධ උනා.
“කන්න නැතුව ළමයි ඉන්නව.. තොපි මේ කේක් කෑල්ලකට මරාගන්නවා”
“තොපි දෙන්නට කේක් නෙමි දෙන්න ඔනා”
කියපු තාත්තා කේක් ගෙඩිය අරන් එක පාරම කුස්සියේ දොරෙන් එලියට වීසී කළා. නිදහසේ ගුවනේ පාවෙලා ගියපු කේක් ගෙඩිය කුස්සියේ දොරෙන් නොපෙනී ගියා.
අපොයි..!!!! මොන අපරාධයක්ද !!!
අපි දෙන්නටම කියවුනේ නෑ . හිතුණා.
කේක් එක අහුලගන්න කියලා ඒ පැත්තට යන්න හදපු මට තව පාරවල් දෙක තුනක් වැදුනා. ඒවත් කාගෙන මම කාමරේට රිංග ගත්තා. කැහැ කැහැ තව පාරවල් දෙක තුනක් තාත්තා ගෙන් වදිනකොටම අම්ම කොහෙදෝ ඉදන් ඇවිත් නංගිව ගලවා ගත්තා. නැතිනම් නංගි හිරවෙච්ච කේක් කෑල්ල බඩට යකම්ම ගුටි කනවා. අම්ම තාත්තා ව ශේප් කරන් එතනින් අරන් ගියපු හැටියේ මම ගුටි කාපුවල අමාරුකන් දරාගෙනම කේක් ගෙඩිය බේරගන්න කුස්සිය ට දුවගෙන ගියා. මම යනකොට නංගිත් එනවා. දෙන්නම කුස්සියේ දොරෙන් එලියට පැන්නා. කේක් ගෙඩිය ඔතලා තිබ්බ නිසා කොටසක් වත් බේරගන්න පුලුවන් වෙයි කියලා හිතන් තමයි අපි ආවේ.
ඒත් දැක්ක දෙයිං දෙන්නගෙම ඇගේ මයිල් ඉස්මයිල් වෙලා ගියා. එතන කේක් ගෙඩියක් නෑ.
දොරගාව හිටපු බලු නගුට කේක් ගෙඩියේ කොලේ ලෙව කකා ඉන්නවා. වෙනදට කේක් ඔතපු තෙල් කරදහිය කකා හිටපු බලු නැට්ටට එහෙම් පිටින්ම කේක් ගෙඩියක් උගේ ඔලුව උඩින් ගිහින් ඇස් ඉස්සරහ පත් බෑවෙනකොට ඌට හිල්ටන් හෝටලේ ඉහේ කඩන් වැටුනා වගේ දැනෙන්න ඇති. අලුත් පිට තිබ්බ කෙක් එක සම්පූර්ණයෙන්ම විනාඩියට දෙක ඌ ගිලින්න ඇත්තේ අපිට බැන බැන.
කේන්තියි ,ගුටිකාපු අමාරු අස්සේ කේක් ගෙඩියත් කාපු බල්ලව දැක්ක අපි දෙන්නට ඌරු ජුවල් වෙලා කොස්සත් අරන් බල්ල දිහවට පැන්නේ සියළු ඇගේ පතේ, හිතේ අමාරු බල්ලගෙන් ගන්න හිතාගෙන.
තව හෝටලයක් තමන්ගේ ඉහේ කඩන් වැටෙන්න එන බව ඉවෙන් වගේ දැනුනු බලු තඩියා ක්ශනිකව වැටෙන් පැනලා අතුරුදහන් උනේ කිංඩියට වගේ වල්ගෙත් වනාගෙන.
එදා රෑ ත් තොරක් නැතුව බැනුම් අහ අහ හිටියත් පහුවෙනිදා උදේ චාරිත්රානුකූලව කැමමේසෙ කට්ටියම කෑම කෑවා මුකුත් නොවිච්ච ගානට. බටර් කේක් නැතිව හැබැයි. කේක් ගෙඩියක් ගිලපු බල්ලත් උදේ ඇවිත් හිටිය පුරුදු විදියට. අම්ම උටත් පරණ පුරුදු විදියටම කන්න දීලා තිබ්බා.
බටර් කේක් කන පෙරේතකම මගේ නැති උනේ නම් නෑ.
මූලාශ්‍රය: Koushalya Megasooriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!