ගම්පහ හිටපු එස්.එම්.ඩී.සී.සේනාරත්න මහත්තයව දැන් හැමෝම දන්නවනෙ. බයිට් කරන්න හිතුනෙ කාවද එසැනින් කරනවා. කවුරුද කියන එක අදාලම නැහැ. හේතුවක් විතරයි ඕනි. හැබැයි තමන්ව බයිට් වෙන්නෙ නැත්නම් මේ වැඩේ හරිම රසවත්.
මේ සිදුවීම උනේ 2003 අවුරුද්දෙ ජූනි මාසෙ. මම ඒ සතියෙ මේන් කවුන්ටරේ වැඩ. ඒ සතියෙ උන විශේෂ සිදුවීම තමයි පොසොන් පොහොය. ගම්පහ ඉදන් සෑහෙන සෙනඟක් පොසොන් එකට අනුරාධපුර දුම්රියෙන් යනවා.
ඉතින් මේ අවුරුද්දෙ පොසොන් දවසට කලින් දවසෙ මේන් කවුන්ටරේ වැඩ කලේ මම. අනුරාධපුර ටිකට් තිබුණෙ දකුණු පැත්තෙ රාක්කෙක. ටිකට් දහස් ගණනක් අනුරාධපුරේටම දීලා පහුවෙනිදා මට බෙල්ලෙ අමාරුවකුත් හැදුණා. අපරාදෙ කියන්න බැහැ..ඔෆ් වෙලා ඉදලත් ඒකනායක මට උදව් කලා කවුන්ටරේ කරන්න.
පෙසොන් පෝයට පස්සෙ දවසෙ ගම්පහ දුම්රිය ස්ථානය අසලදිම මනුස්සයෙක් දුම්රියට අහුවෙලා මැරුණා. එහෙම උනාම මිනිය අරගෙන ඇවිත් පොලිසිය එනකම් ස්ටේෂමේ තියා ගන්නවා. එයා සතුව තිබුණු දේවල් දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් භාරයට ගෙන තොරතුරු සටහන් කර ගන්නවා.
ඉතින් පොසොන් පෝය පහුවෙලා දවස් දෙකකට පස්සෙ මම ටිකට් දිදී ඉන්න අතර බදුල්ල කච්චේරියේ මාත් එක්ක වැඩ කරපු සහෝදරයෙක් ආව ටිකට් ගන්න. ඉතින් අපි කතා බහ කරලා. බදුල්ලෙන් ආවට පස්සෙ වසර 3කින් දුටු හිතවතාව මම දුම්රිය ස්ථානය ඇතුළට කැඳවලා බීම එකක් එහෙම දීලා සංග්රහයකුත් කලා.
ඉතින් එයා දුම්රියේ යන්න කලින් ආපහු නගරයට ගිහින් කේක් ගෙඩියකුත් ගෙනත් මට තෑගි කරලයි ගියේ.
ඒක දැකපු වෙලේ ඉදන් අපේ අය ඒ ගැන උනන්දු උන නිසා. උදේ 10ට විතර තේ බොන වෙලාවට කලින් මම කාර්යාලයේ හිටපු රුද්රිගූට කිව්වා “කේක් එක කපලා කමු” කියලා.
රුද්රිගු තේ හදලා මගේ අවසරයෙන් කේක් එක කැපුවා. සුපුරුදු පරිදි පළවෙනි කේක් කෑල්ල ප්රධාන දුම්රිය ස්ථානාධිපති අරම්පත් මහත්තයට ගිහින් දුන්නෙ රුද්රිගුමයි.
මෙහෙයුම් හිටයෙ සේනාරත්න මහතා. මෙහෙයුම් කාර්යාලය තියෙන්නෙ අරම්පත් මහතාගෙ කාර්යාලයයි අපි හිටපු ප්රවේශපත් කාර්යාලයයි අතර.
අපි හැමෝම ඉතින් කේක් කකා ඉන්න අතර අරම්පත් මහත්තයා ආවා මෙහෙයුම් කාරයාලෙ පැත්තට කේක් එක කන ගමන් අතේ කොටසක් තියාගෙනම.
“කේක් එක නම් රසයි. අද කාගෙද උපන් දිනේ?” කියලා අරම්පත් මහත්තයා ඇහුවා.
මම උත්තරයක් දෙන්න කලින්ම සේනාරත්න මහත්තයා.” ඕක ලොකු මහත්තයා අපේ සල්ලි වලින් ගෙනාපු එකක් නෙවෙයි” කියුවා.
“එහෙනම්” අරම්පත් මහත්තයා කේක් කන එක නතර කරල බලා ඉන්නවා.
“අර ඊයේ කෝච්චියෙ හැප්පුණු මිනිහගෙ පර්ස් එවෙලෙ තිබුණෙ නැහැනෙ. පස්සෙ රෑ වෙලා හම්බ වෙලා මනුස්සයෙක් මෙහෙට ගෙනත් දුන්නා. සල්ලිත් තිබුණා සෑහෙන්න” අපි කට ඇරන් බලා ඉදිද්දි සේනාරත්න මහතා රස කර කර කියුවා.
ඒ වෙලාවෙ අරම්පත් මහත්තයාගෙ මූණ කේන්තිය,අප්රසාදය, පිලිකුල ආදී හැගීම් වලින් පිරෙන හැටි අපි සේරම බලාගෙන.
“ෂි කලින් කියුවනම් මම කන්නෙ නැහැ. මට වමනෙ එන්න වගේ. මොනවද මේ කරන සවුත්තු වැඩ” අරම්පත් මහත්තයා කේක් කෑල්ල විසි කරන්න ලෑස්ති වුණා.
ඒ වෙලාවෙ මම ගිහින් වෙච්චි දේ කියුවට පස්සෙ තත්ත්වය සමනය උනා. හැබැයි කේක් කෑල්ල ආපහු කෑවෙ නැහැ.
ඉතින් අරම්පත් මහත්තයා අපේ අයියට අජාසත්ත කියලා කියන එක සාධාරණ නැද්ද.
උපුටා ගැනීම: Nirantha Vissundara