අපේ අම්මයි තාත්තයි මට කියලා තිබුණු විඳියට එයාලා කසාද බැදලා ගොඩාරියක් කල් ගියාට පස්සෙලු මාව හම්බුනේ. අවාසනාවකට මට තව සහොදර සහෝදරියන් කවුරුත්ම හිටියේ නෑ. ඒත් ඒ අඩුව මට යහමින් දැනුනත් ඒ අඩුව මකාලන්නට අම්මගෙයි තාත්තගෙයි ආදරේට පුලුවන් වුනා. අම්මටත් වඩා මම ලඟින්ම හිටියේ තාත්තා ගාව. මං හිතන්නේ දුවෙක් වැඩිපුරම ළං වෙන්නේ තාත්තා ලඟට කියලා. ඒකෙන් කියන්නේ අම්මට ආදරේ නෑ කියලා නෙවෙයි. මට හිතෙන්නේ දෙමවුපියො දෙන්නගෙන් එක්කෙනෙක්ට දරුවෙක් වැඩියෙන්ම ළං වෙනවා කියලා. ඒකට හේතුවක් මම නොදනිමි
අපේ ගෙවල් තිබුණේ මුහුදට ටිකක් ලඟින් නිසා සමහර හැන්දෑවට තාත්තා මාව මුහුද ලඟට එක්කගෙන යන්න පුරුද්දක් තිබුණා. ඒ යන වෙලාවට තමයි දවසම එළිය කරලා තිබුණු ඉර මුහුදට ගිල ගන්න වෙලාව. අපි දෙන්නා ඉරත් බහිනවා බලලා එකක් දෙකක් තරුත් පායනකම් බලන් ඉඳලා තමයි ආයෙත් ගෙදර එන්නේ.
අපි ඒ යන එන පාරේ එක සොහොන් වත්තක් තිබුණා. මං එතනින් එද්දි තාතට කියනවා මාව වඩාගෙන යන්න කියලා. එතකොට තාත්තා මාව වඩාගෙන ගෙදරට වෙනකන්ම අරගෙන එන්න පුරුද්දක් තිබුණා. ඒ සොහොන ලඟින් යනකොට මට ලොකු බයක් තිබුණා මගේ පස්සෙන් හොල්මන් එනවා කියලා. ඒ මං ගොඩක් පුංවි නිසා වෙන්නැති. මං ඒ දේවල් තාත්තට කියලා තිබුණේ. තාත්තට ඒ දේවල් කියද්දි තාත්තා කියන්නේ හොල්මන් වලට බය වෙන්න ඕනේ නෑ මං ඉන්නකම් කියලා.
ඔහම ඉන්න අතරතුර තාත්තගෙ රස්සවෙන් තාත්තට මාරුවක් ලැබුණා දුර පලාතකට එදිනෙදා ගෙදර යන්න එන්න බැරි නිසා තාත්තා ගෙදර යන්න එන්න ගත්තේ සෙනසුරාදා, ඉරිදා නිවාඩුවට විතරයි. ඒ දවස්වල ඉරිදා හැන්දෑවට මුහුදට ගිල ගන්න ඉර මට පායන්නේ සෙනසුරාදා උදේටය. තාත්තා සෙනසුරාදා උදේ ගෙදර ඇවිත් ඉරිදා හවස ආයෙත් යන නිසා. තාත්තා නිවාඩු ආපු හැම දවසකම මායි තාත්තයි පරණ විඳියටම මුහුදට යන්න හුරු වුනා.
ඔහම කාලය හිමි හිමින් ගතවෙලා ගියා. තාත්තට පුරුද්දක් තිබුණා සෙනසුරාදා උදේ ගෙදර එන්න කලින් වැඩ කරන තැනින් පිටත් වෙලා මඟදි ගෙදරට කෝල් එකක් දෙන්න. ඒ කෝල් එක හැමදාම වගේ ආන්සර් කරේ මම. එදත් සෙනසුරාදා උදේ කෝල් එක ආවා වෙන සෙනසුරාදා එන වෙලාවට වඩා පරක්කු වෙලා
හෙලෝ තාත්තේ
තාත්තා නෙවෙයි කතා කරන්නේ
එහෙනම් කවුද ?
තාත්තගේ යාලුවෙක්! අම්මට ෆෝන් එක දෙන්න
මං අම්මට ෆෝන් එක දීලා ටික වෙලාවකින් අම්මා මාව ඇදන් හිටිය ඇදුම පිටින්ම පාරට එක්කගෙන ආවේ ඇස් වල කඳුලු පුරවගෙන ඒ ඇවිත් ත්රීවිල් එහෙක ඉස්පිරිතාලෙකට අරගෙන ආවා. ඒ ඉස්පිරිතාලෙ ඇතුලට යද්දියි දැක්කේ තාත්තා ඇදක් උඩ ඉන්නවා. මං අඬ අඬම තාත්තා ලඟට ගියා. තාත්තට ගොඩක් තුවාල වෙලා කියලා පෙනුනා හැමතැනම බැන්ඩේච් වලින් ඔතලා තිබුණු නිසා. තාත්තා මාව ලඟට අරගෙන කතාකර කර හිටියේ මාත් එක්ක කතා කරන්න ඕනම නිසා මිසක් කතා කරන්න පුලුවන් තත්වෙක නෙවෙයි. එදා මායි අම්මයි හවස ගෙදර ආවා පහුවදා උදේ තාත්තා බලන්න යන අරමුණින්.
ඒත් අපි පවුවදා උදේ එද්දි තාත්තා හිටපු ඇදේ තාත්තා හිටියේ නෑ. ඩොක්ට කෙනෙක් ඇවිත් අම්මත් එක්ක කතා කරකර ඉද්දි අම්මගෙ ඇස් වලින් කදුලු වැටෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තාත්තගේ යාලුවො ඇවිත් මාවයි අම්මවයි එක්කගෙන ගෙදර ආවා. හැන්දෑවේ ඉර බැහැගෙන යන වෙලාවේ තාත්තව පෙට්ටියක නිදි කරගෙන ආවේ අපේ ගෙදරට නැවත ඉර නොපායන බව අඟවමින්. තාත්තව දාලා තිබුණු පෙට්ටිය අපි යන එන පාරේ තිබුණු සොහොන් වත්තෙම වලක දාලා වැහුවා.
එදැයින් පස්සෙ මම ඒ සොහොන් වත්ත ලඟින් යන්න කිසිම දිනක බය වුනේ නැ.. මට එතනින් යන හැම මොහොතකම දැනුනේ තාත්තත් සොහොන් වත්තේ ඉඳගෙන මං දිහා බලන් ඇති කියලා…
උපුටා ගැනීම: Pubudu udatiyawala (2019)