ජීවිතේ ලස්සනම හා සුන්දරම කාලේ මොකද්ද කියලා ඇහුවොත් ඕන කෙනෙක් කියයි පාසල් කාලේ කියලා..බහුතරයක් කෙල්ලන්ට ජීවිතේ විඳින්න ලැබෙන්නේ, ඇඟේ දුවන හෝමෝනවලට මදනයකා ගහන ඔය කියන නව යෞවන පාසල් සමයේ තමයි.. අනේ ඉතිං අපරාදේ කියන්න බැහැ මටත් හිටියා අපූරු යාලුවෝ සෙට් එකක්. ඉස්කෝලේදි ශාන්ත දාන්ත තීන්ත කුප්පි වගේ තමයි හිටියේ. අපේ ඉස්කෝලේ බාලිකා පාසලක් නිසා නීති රීති වැඩියි. ඉස්කෝලෙන් පිටදී අනේ ඉතින් එහෙම පිටින්ම මඤ්ඤං..
කට්ටිය එකට එකතු වුණාම හක හක ගාලා හිනාවෙන්න පුලුවන් දෙයක් තමයි කරන්න හිතුනෙම..අපේ උන්දැලට තිබ්බා මහ නරකම නරක පුරුද්දක්. කාගේ හරි කොල්ලෙක්ගේ ෆෝන් නම්බර් එකක් කොහෙන්හරි හොයාගත්තොත් අනේ ඌට කෙල්ලෝ එපාවෙනකල් call කර කර වද දෙන එක.. (දැන් පවු කියලා හිතුණට ඒ කාලේ ඔක්කෝම විහිලු)
ඔන්න ඔහොම දවසක් කොල්ලෙක්ගේ ෆෝන් නම්බර් එකක් හම්බවුණා..ඉතිං අපේ උන්දැලා ටෙලිෆෝන් බූත් එකක් ලඟට වෙලා plan කරනවා කොහොමද ඌව බයිට් කරන්නේ කියලා..
කොහොම හරි තටම තටම කීප දවසක් call කරලා මිනිහව ගාණට මිම්මට ෂේප් කරගත්තා. දැන් ඉතිං ඒකාටත් මේ හැමදාම call කරන කෙල්ලව දැක බලාගන්න සිතක් පහලවෙලා….. අපි නං ඉතිං දන්නවා ගොනා එන්න හදන්නේ පොල් පැලේ කන්න තමයි කියලා..කමක්නෑ. හා ඉතිං එන්නකෝ කියලා මුණ ගැහෙන දවසයි, වෙලාවයි, ඇඳන් එන ඇඳුමේ විස්තරයි, හමුවෙන තැනයි ඔක්කෝම කතා කරගෙන අර අහිංසකයට දහසක් බලාපොරොත්තු දෙනවා.
ඊට පස්සේ අපේ උන්දැල ටික කතාවෙනවා අර අහිංසකයාට (අහිංසකයා කිව්වට ඒකා කියන තරම් අහිංසකයෙකුත් නෙමෙයි) කිව්ව විදිහට ඒ පාට ලඟින්වත් යන ඇඳුමක් නොඇඳ ඉන්න..
ඉතිං ඔන්න අර කියපු දවසේ උදේ ඉඳලම අපේ උන්දැලාට අමතර පංති..ඉවර වෙන්නේ උදේ 10.30ට. අර අහිංසකයාට කියපු තැනට ස්ථානගත වෙන්න කියලා කිව්වේ 9.30ට.
අපේ උන්දැල ටික පන්තිය ඇරපු ගමන්ම අදාල ස්ථානයට පිටත් වුණා. ඈත තියාම අනේ අර කියපු අහිංසකයයි උන්දැගේ යාලුවෙක් වගේ තව එකෙකුයි අව්වේ වේලි වේලි බෙල්ල දික් කරගෙන වට පිට බල බල ඉන්නවා. අපේ උන්දැල ටිකත් ඒ දෙන්නා පේන තරම් දුරක ඉඳන් ඒ දෙන්නා දිහා බලාගෙන කැකිරි පලනවා. හිනාවෙලා හක්කත් රිදෙනවා. ඇයි අර යෝධයෝ දෙන්නා අපේ උන්දැල ඇඳගෙන එනවා කියපු ඇඳුමේ පාට ඇඳුම් ඇඳගෙන එතනින් යන වයසක උන්දැල දිහාත් බලනවා.
කොහොමින් කොහොම හරි තව පැය භාගයක් විතර බලන් ඉඳලා අර අහිංසකයෝ දෙන්නා එතැනින් යන්න ගියා..අපේ උන්දැලා දැන් නලියනවා ඊළඟට මොකද කරන්නේ කියලා.
“අපි කෝල් එකක් අරන් බලමුද මෑන් මොකද්ද කියන්නේ කියලා”
යෝජනාව ඒකමතිකව සම්මත උනා. ඉතිං call එකක් අරගෙන කතා කරගත්ත විදිහට එන්න බැරි උනාට හේතු සාධක කියන්න පටන් ගන්නකොටම ටකරමට ගල් ගහනවා වගේ අර උන්දෑගෙන් බැනුම් කෝටියයි.. අපේ උන්දැලට ඒකටත් හිනා..ඒත් ඉතිං අන්තිමට පවු දෙයියනේ කියලා හිත සනසගන්නවා..
කොහොමින් කොහොම හරි කතාව එතැනින් ඉවර වුනේ නෑ.. අන්තිමට අර අහිංසකයාට call කර කර වද දීපු අපේ උන්දෑ කෙනෙකුටම අර හාදයාව කරකාර බැඳගෙන අව්වේ වේලී වේලී කට්ට කෑවේ එකේ වන්දිය ගෙවන්නත් වුණා..
උපුටා ගැනීම: හරීන්දා දර්ශනී….