කැන්ටිම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මාගේ පාසැල් සමය සිහිපත් කරන මට නිරායාසයෙන්ම සිහියට නැගෙන්නේ පාසල් ගොඩනැගිල්ලි, පන්ති කාමර හෝ වෙනත් කිසිවක් නොව කැන්ටිමයි. එයට හේතුව මා සිතන්නේ පාසලේදී මා වැඩි වේලාවක් ගත කලේ කැන්ටිමේ නිසා විය යුතුය.
කැන්ටිමට ඉදිරියෙන් ඇති පිට්ටනියකට සමාන (පිට්ටනිය නොවේ) කොටස විවිධ අවශ්යතාවන් සඳහා සිසුන් නිතර ගමන් කරන “සංචාරක මර්මස්ථානයක්” බඳු ප්රදේශයක් බැවින් විදුහල්පතිතුමා හෝ විනය භාර ගුරුවරයෙකු පැමිණෙන විට එතැනින් “මාරු වීම” ද පහසුවෙන් කල හැකි විය.
පාසැලේ කැන්ටිම කලේ “ආනන්ද අයියා” ය. “පුෂ්පා ටීචර්” බුද්ධ ධර්මය පාඩමේදී කර්මය ගැන පැහැදිළි කල පසු මා සිතුවේ ආනන්ද අයියා අප පාසලට පැමිණියේ “කර්මයක්” ගෙවීමට යැයි කියාය. මා ඇතුළු මාගේ මිතුරන්ගෙන් ඔහු ගිය ආත්මේ විශාල ණය මුදලක් ලබාගෙන ඇත. එය ගෙවීම සඳහා ඔහු මේ ආත්මයේ අපේ කැන්ටිම භාර ගෙන පාසලට පැමිණ ඇත.
මගේ මව දිනපතා පාසැල් එන විට බත් එකක් බැඳ දුන්නද එය පන්තියේදී දිගහැරීම යනු “සෝමාලියාවට තිරිඟු මිටක් දැම්මා වාගේය.” කෑම කා අවසන් වූ පසු බත්පත ඔතාගෙන ආ “ලන්ච් ශිට්” එක නම් මා කිසි දින ඉතුරු වී තිබෙනු දැක නැති අතර, පත්තර පිටුව පත්තු කල රත්ඤ්ඤා කරලක් මෙන් දිස් වේ.
සාමා ගුරුතුමිය දිනක් “අරපිරිමැස්ම” පිළිඹඳ පාඩමක් කියා දුන් පසු අප බත් කෑමට පෙර හා පසු දෙවරක් අත සේදීම අපරාධයක් බව තේරුම් ගත්හ. එය බත් කෑමෙන් පසු පමණක් සිදු කීරීමට අප කථිකා කරගත්තේ ඒ අනුවය.
නිවසින් රැගෙන එන බත්පතින් බඩට යන ප්රමාණය පණුවකුටවත් තරම් නොවන බැවින් අපේ කුසගිණි නිව්වේ ආනන්ද අයියාය. පිනට දීමට වඩා ණයට දීම වඩාත් සුදුසු යැයි සිතූ ආනන්ද අයියා කැන්ටිමේ මට ණය පොතක් ආරම්භ කලේය.
පරිත්යාගශීලී බාලාංශ සිසුන් අපගේ කෑම වේලක් සඳහා අනුග්රාහකත්වය ලබා නොදුන් දිනවල මෙම ණය පොත මට පිහිට විය. බාලාංශ සිසුන් කැමැත්තෙන් අපගේ කෑම වේලක් සඳහා අනුග්රාහකත්වය ලබා දුන්නේ යැයි කිවහොත් එය මුසාවක් වන අතර, අප ඔවුන්ව ඒ සඳහා “කැමති කරවා ගත්තා” ලෙස නිවැරදි විය යුතුය. සිංහල භාෂාවේ දී මෙය “ දත ගැලවීම” ලෙස හඳුන්වන අතර මේ ලියමන කරන අවස්තාවේ ඒ සම්බන්ධයෙන් සියුම් ලැජ්ජාවක් ඇති වුවද, එදවස නම් ලැජ්ජාවක් පිළිබඳ වගේ වගක් තිබුනේම නැත.
ආනන්ද අයියාගෙන් අප වැඩිපුරම කන්නේ ඉඳි ආප්ප ය. පරිප්පු හොද්දට දමන කිරි වල ඉතිරි පොල් කුඩු වලින් සාදන ලද පොල් සම්බෝලය සමඟ ඉඳි ආප්ප රස කරමින් අනුභව කරන අතර නුවන් පවසන්නේ “මේ යකා සාමා ටීචර්ගේ අරපිරිමැස්ම පාඩම හොරෙන් අසාගෙන ඉන්ට ඇති” බවයි. පොල් කුඩු ටිකත් ඔහු අපතේ හරින්නේ නැත.
පාසැල ඇති ඉඩම මගේ පියාගේ බැවින් එහි කෙසෙල් හා පොල් ගස් වල ඵලදාවට වගකියන්නේ මා ඇතුළු සහචරයන්ය. කැන්ටිම ඉදිරිපිට ගසේ වැටෙන පොල් ගෙඩියට වුවද ආනන්ද අයියාට හිමිකම් නැත. අප නැති අවස්තාවක එහි ගෙඩියක් ඇහින්දත් ගාස්තුව අපට ගෙවිය යුතුය. කෙසෙල් කැනක් නම් පෙර දින කපා සඟවා තබා පසුදින උදෑසනම ගනුදෙනුව සිදු කරන අතර පොල් නම් වැටෙනකන්ම සිටිය යුතු විය. මිල නියම කරන්නේ අප විසින්ම වන අතර මිලදී ගැනීම ප්රතික්ෂේප කිරීමට ඔහුට කිසිඳු අයිතියක් නොමැත.
අප සිතා සිටියේ ඔහුගේ “මේට්” වර්ගයේ මෝටර් සයිකලය කැන්ටිම ඉදිරිපිට නවතා තබන්නේ අපට විනෝද වීම සඳහා කියාය. දිනක් මා එයට ගොඩ වූ විට තවකෙක් එය තල්ලු කලේය. මෙය දුටු ආනන්ද අයියා “තොපි මාව මරපියව්, ඔය සයිකලේට මොකුත් කරන්ට එපා” යැයි පවසමින් අප පසුපසින් ලුහු බැන්දේය. යතුරු පැදියක එන්ජිම ක්රියාත්මක නොකොට ධාවනය වූ උපරිම වේගයේ ආශ්වාදය මා අත්වින්දේ එදාය.
කැන්ටිමෙන් කන විට පන්තියේ අනෙක් අමන රැලත් එතන රැඳෙයි නම් එවැනි අවස්තාවක කෑම යනු විහිළුවක්මය. කෑමට අවශ්යම නම් කෑම ලබා දෙන කවුළුව තුලින් ශරීරයම කැන්ටිම තුලට දමා ගත යුතුය. පැටිස්, රෝල්ස් වැනි දෑ නම් එක හුස්මට කටට දා ගැනීම අපහසු නොවන අතර මාළු බනිස් නම් එහි දිගැටි උල් ප්රදේශය මුලින් මුඛයට ඇතුලු වන පරිදි ස්ථානගත කල විට එයද පහසුවෙන් එක කටට කෑ හැකිය. ත්රිකෝණාකාරව කපන ලද වන්ඩුව සම්බන්ධයෙන්ද එම තියරියම අනුගමනය කිරීමට පසුව අපට හැකි විය. කල් යත්ම එක කටට කෑමට නොහැකි කිසිවක් කැන්ටිමේ ඉතිරි නොවූ අතර “කිඹුලා බනිස්” එක පමණක් කටවල් දෙකකට කෑමට සිදු වීය.
කැන්ටිම ඇතුලට ගොස් ආහාර ගැනීම ගුරුවරුන්ට පමණක් සීමා කොට තිබුනද, ඇතුලත ගුරුවරුන් නොමැති යම්කිසි අවස්තාවක අගුලු යොදා ඇති දොර ඇරගනිමින් කැන්ටිම ඇතුලට ගොස් ආහාර ලබා ගැනීමට අවශ්ය නම් ඒ සඳහා ඔහු විසින් අපට “මුර පදයක්” ලබා දී ඇත. සැබවින්ම එය මුර පදයක් නොව “මුර වාඛ්යයක්” ය. දෙවරක් මහ හඬින් දොරට තට්ටු කොට “දොර අරිනවද.., නැත්තං අලුත් දොරක් දාගන්නවද..” යන්න එම මුර පදයයි. සැනින් දොරටුව විවෘත වේ.
මා පාසලෙන් අස්වන දින වන විට ගෙවා ගත නොහැකි වූ රුපියල් තුන්සියයක ණය මුදලක් කැන්ටිමට හිඟ තිබුනි. මුවින් නොබැන එය විඳ දරාගත් ආනන්ද අයියා මට යලි මුණ ගැසුනේ රැකියාවට ගොස් වසර දෙකකට පමණ පසුය. ණය ගෙවීමට ගත වූ කාලය සහ එදා ඔහු, මා හට දැක්වූ මනුෂ්යත්වය මුසු ප්රතිචාරය සලකා මම ඔහුට තුන්සියයට රුපියල් දහසක් දුනිමි. “හෝම්ස්.. උඹලා හැමදාම කලේ මම කවදාවත් හිතපු නැති විදියේ වැඩ. මේකත් එහෙම එකක්” යැයි කියමින් මට පින් දෙමින් යන්නට ගියාය.
උපුටා ගැනීම: Sherlock Holms

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!