කානිවල් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“හවසට ලෑස්තිවෙන්ඩ”
දවසම බලන් ඉඳල ඉඳල අහන්ඩ ආසම වචන ටික ඒ.
පොසොන් නිවාඩුවට හොස්ටල් ඉඳන් ගෙදර එන්නෙ නිවාඩුවට තොරන්ටත් වඩා කානිවල් එක බලන්න යන්නමයි.
අප්පච්චි එහෙම කිව් වෙලේ ඉඳන් අපේ වැඩේ ලෑස්තිවෙන එක. අක්කයි මමයි මල්ලියි. එතකොට මන් හතේ අටේ ඇති. දෙදාහෙ විතර. අඳින්නෙ මොන ඇඳුමද කියන ප්රශ්නෙ ඒ කාලෙ නෑ. ගොඩක් වෙලාවට හැම දේටම එකම ඇඳුම.
ඔහොම ලෑස්තිවෙන අපි රෑට දඩිබිඩියේ කාලා බලන් ඉන්නෙ අප්පච්චි නයින්ටිය ස්ටාර්ට් කරගන්නකම්. පස් දෙනාම ඩබල් දාල ගමන පටන්ගන්නෙ කිලෝමීටර් විස්සක් වෙන දෙහිඅත්තකන්ඩියට එන්ඩ. හුළං වැදි වැදී සිංදුවක් බෙරිහන් දිදී යන ඒ ගමන අපිට ලොකුම ලොකු ට්රිප් එකක්.
තොරන් පොලට ආවම සම්ප්රදායට වගේ ඉස්සෙල්ලම තොරණ දිහා බලන් හිටියට අපේ නම් ඔලු කැරකෙන්නෙම මොනාද කානිවල් එකේ තියන ඉවෙන්ට් කියල බලන්න. හිතෙන් හදා ගන්නව මෙන්න මේකට මේකට මේකට යනව කියල. අම්මයි අප්පච්චියි ඇතිවෙනකන් තොරණ බලනකන් බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්න අපි අවසානෙ ඒ දෙන්නත් ඇදගෙන වේගෙන් වේගෙන් අනෙක් තැන්වලට යන්නෙ හරියට ඒව ඉවරවෙයි කියල වගේ.
කොහොම උනත් හැම එකක්ම බලන්න යන්න විදියක් නෑ. මොකද පස් දෙනාම නැතත් අපි තුන් දෙනා විතරක් යවන්න උනත් පනහෙ සීයේ ටිකට් කෑලි ගන්න ඕන. හැම එකටම බර පැන දරන්න බෑ කියන එක මල්ලිට කෙසේ වෙතත් අක්කයි මායි දන්න නිසා වඩාත් කැමති අයිටම් තෝරගන්න අපි පරිස්සම් උනා. එහෙම නැත්තන් හැම එකම බලන්න ආසාවක් නැතිව නෙමේ. ඒ නිසා ගිය අවුරුද්දෙ බලපුවා නැතුව වෙනම ඒව බලන්න මේ අවුරුද්දට දාගන්න වාර්ශිකව අපි පුරුදුවෙලා හිටියා.
මොනව උනත් ඉස්සෙල්ලම හැමෝගෙම මනාපෙට යන්නෙ මාරක ළිඳට.
“දරුවා පරදවා මරුවා ජයගනීද, මරුවා පරදවා දරුවා ජයගනීද, එකම ළිඳ ඇතුලේ බයිසිකලයි කාර් එකයි දෙකම අපෙන් විතරයි. එන්න දැන්ම.”
ඔන්න ඒකටනම් අපි පස් දෙනාම යනව. අමාරුවෙන් රිංගලා ඉස්සරහටම ගිහින් ලිදේ ගැට්ටෙන් එබීගෙන හිටියත් බයික් එක ඒ ළඟින් යනකොට ඇස් පියවෙන්නෙ ඉබේම. හැමදාම මාරක ළිඳ තමා අපේ පලවෙනි ඉවෙන්ට් එක.
මෙරිගෝ රවුන්ඩ් එකේ යන්නෙ නම් මල්ලි විතරයි. හැබැයි එයා අල්ලගන්න ඕන නිසා මටත් අශ්වයා ළඟ හිටගෙන යන්න කණා චාන්ස් එකක් වදිනව.
ඊළඟට තියනව අමුතුම එකක්. ඒක දැන්නම් දකින්නවත් නෑ.
“කිඹුලෙක් බවට පත්වෙන තරුණිය”
එන්න නරඹන්න. හිස කඳෙන් වෙන් කරන තරුණිය අවසානේ කිඹුලෙක් බවට පත්වෙන ඒ විශ්මය බලන්න එන්න.
ඒකෙ ටිකට් එක ලොකු ගානක් නොවන නිසා ඔන්න ඒකත් බලනව. හැබෑවටම කඳ බිම තියෙද්දි ඒ කෙල්ලගෙ ඔලුව මේසෙ උඩ. ඉතින් අපි උඩ බිම බලනව. අනේ අපොයි කියලත් එහෙන් මෙහෙන් ඇහෙනව.
ඔය අස්සෙ එලියෙ ඇවිදිනකොට ඔය ඉවෙන්ට් කරන කොල්ලෙක් කෙල්ලෙක් දැක්කගමන් අපි හොරෙන් පෙන්නනව.
“අන්න අන්න අහවලා..”
අපි හරි ආසයි එයාලත් සාමාන්ය මිනිසුද බලන්න. එයාලා ඒ කිට් ඇඳගෙන ඇවිදින්නෙ අපි එහෙම බලන බව දැනගෙන ටිකක් ආඩම්බරෙන් කියල දැන් හිතෙනව.
” ත්රාසය, බීතිය, කුතු….හලය කැටිකරගත්…..
මාරාන්තික සැන්ඩෝ සංදර්ශනය…..”
ඒක බලන්න බෑ, දිග වැඩී. ඒ නිසා ඒකටයි සර්කස් අයිටම් එකටයි අප්පච්චිගෙන් කෙසේ වෙතත් අම්මගෙන් අවසර නෑ. අනෙක් අතට කෝ එච්චර සල්ලි.?
ඒ කොහොම උනත් ඔන්න ලංකාවේ සුපිරිම මැජික් වීරයාගෙ විනාඩි පහලවේ මැජික් සංදර්ශනේට නම් යනව පොලොවෙ හැපිල අඬල වැලපිලා හරි. දැන් කාලෙ අහසෙ පාවෙන, බිල්ඩින් අතුරුදන් කරන මැජික් එකක් උනත් මැජික් නොවෙද්දි ඒ කාලෙ පත්තරයක් ඉරල ආය හරි ගස්සන එක, කටෙන් එක දිගට පේපර් රිබන් අදින එක, ගොට්ටෙන් කිරි මතුකරන එක උනත් අපිට සුපිරි මැජික් වුනා.
පුංචි කෝච්චිය, කතුරු ඔංචිල්ලාව, පස්සෙ පස්සෙ එකතුවුන ගැලක්සි යානය අතෑරියාට හොල්මන් ගුහාවට ගිහින් ටිකක් බයවෙන්නත් අපිට පුලුවන් උනා.
ඔය අස්සෙ රටකජු පැකට්, අයිස් කෝර්න්, බොම්බයි මොටයි, බූන්දි පැකට් ඉවරවුනා. ඒවටනන් වියදම් වෙන්නෙ අපි අවුරුද්දටයි, අවුරුද්දක් තිස්සෙයි එකතු කරපු සල්ලි.
ඔය බලන සේරම ඉවරකරල තමයි සෙල්ලම් බඩු තියන හරියට එන්නෙ. ඊට පස්සෙ පැයබාගයක් විතර එක කඩයක් ගාව බලන් ඉන්නෙ ලොකු වියදමක් නැති, වැඩකුත් ඇති සෙල්ලම් බඩුවක් හොයාගන්න. හිත ගියපු සෙල්ලම් බඩු ඕනතරම් දැක්කට ඒව ඉල්ලන්න තරම් අපි සාහසික උනේ නෑ. එහෙම නැත්තන් රිමෝර්ට් කාර් එකකට. බැටරි වලින් වැඩ කරන රොබෝ කෙනෙක්ට ආසාවක් ඒ කාලෙ නොතිබුනාම නෙමෙයි.
අන්න ඒ කාලේ බැරිවෙච්ච ආසාව නිසා දැන් ජොබ් එකක් කරන මලය පස්සෙ කාලෙක රිමෝර්ට් කාර් එකක් අරන් තිබ්බ ඉස්සර ඉඳන් තිබ්බ ආසාවක් කියල.
කොහොම හරි චකබ්ලාස්ට් සෙට් එකක්, බෝල විදින තුවක්කුවක්, පොඩි කතා පොතක්, වගේ රුපියල් සීයෙ දෙසීයේ කෑලි දෙකතුනක් අරගන්න යන්තන් පුලුවන් උනා.
ඔය වෙනකොට කොහොමත් පාන්දර එක දෙක වෙලා. නිදිමතක් ගෑවිලාවත් නෑ. අන්තිමට එතනින් එද්දි ආපහු හැරි හැරී බලන්නෙ කොතනද මිස් උනේ කියල. පුලුවන් උනොත් පස්සෙ දවසෙ හවස බස් එකේ ඇවිත් අරන් යන්නත් දෙයක් හිතේ තියන් ගියාට ඒකනන් කවදාවත් උන වැඩක් නෙමේ.
ඔය අතරෙ කොච්චර කාල හිටිය උනත් දංසල් වලින් බඩ පුරවගන්නත් අමතක කරන්නෙ නෑ.
මේ සේරම ඉවරවෙලා බයික් එකේ පැටවිලා හීතලේ ගැහි ගැහී ගෙදර එනකොට හීතල ගැන හාංකවිසියක් හිතෙන්නෙ නැත්තෙ ඒ වෙනකොට බලපු දේවලිනුයි, ඊ ගාවට ගෙනියන ජාති වලින් කරන දේවලිනුයි හිත පිරිල නිසා වෙන්න ඇති.
කොහොම උනත් තුන් දෙනාම හිතෙන්නෙ අනෙක් දෙන්නට වඩා වටින දෙයක් තමන් අරන් ආව කියල.
ඒ කාලෙ නොතේරුනත් පස්සෙ තමයි තේරෙන්න ගත්තෙ ඒ වගේ දවසක අපි මහා ගොඩක් සතුටුවුනාට අම්මයි අප්පච්චියි අපේ හිනාව දැකල අපිටත් වැඩියෙන් සතුටුවුනා කියල.
ඉතින් ආසයි එහෙම දවසකට ආයෙත් යන්න.
උපුටා ගැනීම: Ishara Wanasuriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!