සෑම ගැහැණියක්ම රැජිනක් යැයි කීවාට මට නම් ඇමතිකමක් පවා සැබෑ නොවන සිහිනයකි. කෙටියෙන්ම කියනවානම් මට මගේම නොවන සින්නක්කර රාජ්යක් ඇත. සර්වජන ඡන බලයද මෙකී රාජ්ය තුල ඉතා සාධාරණව භාවිතා කිරිමට සියළු පුරවැසියන් කටයුතු කරති.
නමුත් ප්රශ්ණය වන්නේ මා හට ඡන්ද පදනමක් නොමැති වීමයි. මෙහි සිටින පුරවැසියන් ගෙන් 2/3 ක් ම මගේ ප්රතිවිරුද්ධ පාක්ෂිකයන් බැවින්ද ඔවුන් මලත් තම පක්ෂය වෙනස් නොකරන බැවින්ද මගේ ඡන්ද පදනම වර්ධනය කර ගැනීම සඳහා සුදුසු කාලයේදී මා ගත් සියළු උප්පරවැට්ටි අසාර්ථක වූ බැවින්ද මට දැන් ඇත්තේ මගේම ඡන්දය පමණි.
මෙහි රජ හා යුවරජ තනතුරු මෙන්ම සීයළු වන්දිභට්ටකම් කඩේයාම් ආදි බලවත් තනතුරු සියල්ල වැඩි 2/3 බලය හිමි පාක්ෂිකයන් වන මාගේ හබි උන්දෑ හා පුත්ර රත්නය අතර අවස්ථානුකූලව බෙදා හදා ගනු ලැබේ. අඛණ්ඩව වැඩිම කලක් විපක්ෂනායක ධූරය දැරීම වෙනුවෙන් ගිනස් පොතට හෝ නම දාගෙන මේ අසාධාරණ ආණ්ඩුවට කොකා පෙන්නීම මගේ එකම අභිප්රාය වේ.
ඉතින් හිතවතුනි මගේ අසරණ කම ඔබ දැන් හොඳින්ම දනී. කොතරම් හොඳ කලත් විරුද්ධ පාක්ෂිකයෙකු බැවින් අඩු පාඩු මිස හොඳක් අසන්නට නැත. සති අන්ත නිවාඩු දවස් වල යූ නාලයේ සැරිසරා දේශීය විදේශීය රිසිපි බලා හදා දෙන රස කෑම තලු මර මරා ඉස්මුරුත්තාවට එනතුරු පිඟන් දෙක තුන ගිල දමාන මෙම අසාධාරණ පාක්ෂිකයන් අවසානයේ කියන්නේ ” අපරාදෙ කඩෙන් කන්න තිබුණ ” කියාය.
ඔන්න ඉතිං දවසක් මේක වෙනස් වෙන්න පටන් ගත්ත. ආණ්ඩුව එක පාරට විපක්ෂය අගය කරන්න පටන් ගත්ත. කතාව අහන්නකො. මේ අසරණීට එදා මාර හැපි වෙන්නැතිද කියල ඔයාලටත් හිතෙනවද කියල. ඔන්න මෙහෙමයි උනේ.
වාසියට හවුලෙ වැඩ කරන්න ගියාම අපිට ඉතිං පක්ෂ බේදයක් නෑනේ. අපේ ආණ්ඩු පක්ෂ විපක්ෂ පුරවැසි ට්රිබලම ඔන්න නිවාඩුවක් ගත කරන්න ඈත පලාතකට යමින් ඉන්නව. රජ හා යුවරජ ඉදිරි අසුන් වල සහ විපක්ෂ නායිකාව වන මම පසුපස අසුන්ගෙන.
මා පරිසර සිරි නැරඹීමට ඉතා ආසා නිසා අර දෙපල සෑම සුන්දර තැනකම වාහනය නවත්වා මාව වාහනෙන් බස්සවා අසිරිය පෙන්වති. ලස්සන බැක්ග්රවුන්ඩ් වලදී මගේ ඡායාරූප ද ගනිති. මා විසින්ම පාන්දර ජාමේ සකසා ගෙනා කෑම බීම බඩගිනිද අස අසා මට කවති පොවති. වැවක්, ජලාශයක් දුටු විට වශීවන මා ආපසු යමු යැයි කියන තුරු දෙපල බලා හිඳී. මාරම සැලකිලිය.
ඔන්න අප වන රක්ෂිතයක් පසු කරමින් යන විට රජතුමා කෑ ගසා වාහනය නවතයි. යුවරජද උනන්දුවේ.
” අන්න මොණරෙක්..අම්මට පෙන්නමු..අන්න අන්න “”
පාර අයිනේ මොණරෙක් මට පෙන්වයි. උගේ අපි දකින්න ආස කරන ලස්සන මොණර පිහාටු නැත.
” මේ මොන මොණරෙක්ද..මොණර පිහාටු නෑනේ උගේ.””
“මේ මොණරගෙ ගෑනු සතා. සෙබඩ. ලස්සන පිහාටු තියෙන්නෙ පිරිමි සතාගෙනෙ “
“එහෙනම් බලන්න දෙයක් නෑනෙ. අපි යමු “
මා පරාජිතව නිහඬ වුනෙමි. ඒත් එසේ වූයේ නැත. දෙදෙනා ඒ ගැන සාකච්ඡා කරයි.
” තාත්තෙ හැම සතාගෙම පිරිමි සතා තමයි ලස්සන නේද ?”
“ඔව් ඔව්..ගෑනු සත්තු ඉන්නවද කියලවත් බලන්නෑ කවුරැත්. “
“මිනිස්සුන්ගෙ එහෙම නෑනෙ තාත්තෙ “
” නෑ..නෑ..මිනිස්සුන්ගෙ ඒක ඔපොසිට්. ගෑනු තමයි ලස්සන. ගෑනු අය දිහානෙ කවුරුත් බලන්නේ “
මට ඇති වුන ප්රීතිය නිම් හිම් නැති විය.
” ආහ්..ඒකනෙ ඒකනෙ..තාත්තයි පුතයි කාලෙකට පස්සෙ ඇත්තක් කියනව..”
මාත් කතාවට අටුව ටීකා තබා තව තවත් දෙදෙනාව ෆෝම් කරන ලදී. දැන් කාන්තා සුන්දරත්වය ගැන ලොකු ලොකු කතාය.
‘”තාත්තෙ සත්තුන්ගෙ ගෑනු සත්තු කැත වෙන්නයි මිනිස්සුන්ගෙ විතරක් ලස්සන වෙන්නයි හේතුව මොකක්ද “
” ඇයි අප්ප ඔයා දන්නැද්ද “
“සත්තු මේක් අප් දාන්නෙ නැති නිසා උන්ට තියෙන්නෙ ඇත්තම පෙනුම. මිනිස්සුන්ගෙ ගෑනු සතා විතරයි මේක්අප් දාන්නෙ ඒ නිසයි ලස්සන. මේක්අප් නැත්තන් අර දැකපු සෙබඩ වගේ තමයි ඔක්කොම ගෑනු අය. “
උපුටා ගැනීම: Kumari Dayananda