අද චණ්ඩි දෙන්න ම පෙතිගහනව !
( එදා එහෙම කැතිපාරක් දුන්න නන් අද මේක ලියන්න කෙනෙක් නෑ )
මද්දු අයියයි මායි අතර වයස පරතරය අවුරුදු තුනක් . කෝට්ට වගේ හිටියට මිනිහ කුකුල් කේන්ති කාරයෙක් නිසා තාත්ත කියන්නෙ. ‘ඕන වෙලාවක පු# විකාගන්න හදනව ‘ කියල .
අපි දෙන්නම ගියේ ගමේ ඉස්කෝලේට. අපේ ගෙදර ඉඳල කිලෝමීටර් එකහමාරක් විතර පයින් තමයි ගමන. හෝඩියේ පන්තියෙදි නම් අම්ම බස් එකේ එක්කන් ගිහින් ඉස්කෝලේට හැරෙන පාර ලඟින් බස්සල දවල්ට ආපහු එක්කගෙන ආව. දෙකේ පන්තියෙ ඉන්නකොට ඒව ඉවරයි. අයියත් එක්ක බස් එකේ යන්න සල්ලි දෙනව. අයියයි මායි ඒවයින් කඩචෝරු කාල පයින් යනව. ඒකෙ වාසිය කියන්නෙ අදටත් කිලෝමීටර් හත අටක් උනත් කිසිම හති දැමිල්ලක් නැතුව පයින් ගියෑකි.
තාත්ත කියන විදියට මද්දු අයිය ගිනිපුප්කාරයෙක් හින්ද නිතරම වලියක් ඇදගන්නව !
‘නිකං අහිංසක ළමයින්ට ගහන්නෙ නෑ, කවුරුහරි ගැහුවොත් ගුටිකාල නිකම් ගෙදර එන්නත් එපා! ‘
ඒ තාත්තගෙ නීතිය!
අපේ ලොකු අයිය ශූරතා තරඟාවලිවලටත් ගිහින් කප්ගහපු හොඳ කරාටේ ශූරයෙක් නිසා අපිටත් ඔය ශිල්පය ටිකක් ඉගැන්නුව.
‘ හැබැයි කවුරුත් එක්කවත් රණ්ඩුවලට යන්න නෙවෙයි මේක ඉගෙන ගන්නෙ! ආත්මාරක්ෂාවට විතරයි! ‘
මේ ඉස්කෝලේ දහය පන්තියෙ හිටිය තඩි සුනිල් කියල ටිකක් හැඩ්දැඩි පෙනුමක් තියෙන මරුමුස් හාදයෙක්. මේකා එක්ක කවුරුත් වලියට යන්නෙ නෑ. ඇයි අම්බානක කන්න වෙනවනෙ. මූත් ඉතින් කොල්ලන්ට පාට් එක දාගෙන තමයි ඉන්නෙ.
ඒ කාලෙ මන් දෙකේ පන්තියෙ , මද්දු අයිය පහේ. දවසක් මොකක්ද එකකට අපේ මද්දු තඩි සුනිල්ට එකට එක කියන් ගිහින් . ඌ කියල ‘ හරි මන් උඹ ගෙදර යනකොට අල්ලගන්නන් ‘ .
අපි ඉස්කෝලේ ඇරිල යන්නෙ ගුරුපාරකින්. ගුරුවරු ඔක්කොම බස් එකේ යන්න අනිත් පැත්තෙන් යනකොට හුගාක් ළමයි අපි යන පාරෙත් යන්නෙ.
ඒ පාර ප්රධාන පාරට වැටෙනව ටිකක් දුර ගියාම. ඒකත් ගුරුපාරක්! එතනින් එකපැත්තකට අපි යන්නෙ, තඩි සුනිල් යන්නෙ අනිත් පැත්තට .
මේ තුංමංහන්දියෙදි අපි එනකම් මග රැකගෙන හිටිය තඩි සුනිල්, මද්දුට චැලේන්ජ් කලා.
‘ වරෙන්! තෝ එනකන් තමයි හිටියෙ , අද තොපි දෙන්නගෙම ඇටකටු කුඩුකරල යවන්නෙ!
මද්දුත් අතෑරියෙ නෑ, මට පොත්ටික දීල කමිසෙත් ගලවල දාල ගේමට බැස්ස. කටුබොඩිය දැක්කම අරූ බයවෙයි කියල නෙවෙයි කමිස ඉරාගෙන ගෙදර යන්න බෑනෙ! සටන ඇරඹුණා. අපේ මද්දු ඉස්සා වගේ පැන පැන ගහනව. හැබැයි ඒ ගහන ඒව අරූට දැනෙන්නෙත් නෑ වගේ. මට තේරුණා දැන් අපේ එකා හොඳට කාල අපි දෙන්නටම අතපය කඩන් තමයි ගෙදර යන්න වෙන්නෙ කියල .
ඒක අසමානයින් අතර සටනක්! අවුරුදු පහලොවක හැඩිදැඩි කොල්ලෙකුයි , අවුරුදු දහයක කේඩෑරි කොල්ලෙකුයි!
වැඩිවෙලා ගියේ නෑ, සුනිල් මද්දුව අල්ලගත්ත. දැන් ගේමක් නෑ, මන් මොකද කරන්නෙ? මද්දුට ගහල අරූ මටත් ගහවි! ගුටි කනවද? මද්දු දාල ගෙදර දුවනවද?. ඒක මොන කැත වැඩක්ද? ඒක හරියන්නෙ නෑ! බලන් ඉන්න උන්ගෙ හූව මැද්දෙ දුවන්න වෙන්නෙ! ආයෙ ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි ! අයියව දාල දුවන්න නම් බෑ.
අරූ එක්ක මට කොහොමටවත් ගහගන්න තියා හිතන්නවත් බෑනෙ! බලන් ඉඳල හරියන්නෙ නෑ. මාත් සටන්බිමට ආව පොත් බිමින් තියල.
ළමයි වටවෙලා හූ කියනව, හුරේ දානව. මම ගහපුව අරූට ගාණක්වත් නෑ. කොටින්ම ඌ මාව ගණන් ගත්තෙවත් නෑ. මිනිහ අයියගෙ හකුවලින් අල්ලල තදකලා කට ඇරෙන විදියට
‘ තොගෙ කට තමයි ඉස්සෙල්ලාම තලන්නෙ! ‘
වැඩේ හරියන්නෙ නෑ. මන් මිනිහගෙ පිටිපස්සෙන් උඩපැනල බෙල්ලෙ එල්ලුණා ! . එහෙම ඉන්න ගමන් කකුල් දෙකේ දණිස්ස මිනිහගෙ පිටට තදකරන් ගැම්ම අරගෙන දණිස්සෙන් නවල නිකන් දෙමෝලෙන් පිටි කොටනව වගේ පයින් ගහන්න ගත්ත.
දැන් තඩියට වැඩේ ටිකක් අමාරුයි . බෙල්ලත් හිරවෙලා ඒ මදිවට මගේ බරත් උස්සන් මන් පිටිපස්සෙන් එකම තැනකට පටපට ගාල දෙන සපත්තු පාරවල්!! මිනිහ මාව පැත්තකට ඇදල දාන්න අයියව අතෑරියා . ඊටපස්සෙ අපේ එකා ආපු චාන්ස් එක දැකල ලොකු අයිය කියාදුන්න ශිල්පයෙන් ප්රායෝගිකව වැඩක් ගත්ත .
අත්දෙකෙන් මාව අල්ලගන්න හදන ගමන් අයියට පයින් පාරක් ගහන්න ගිහින් සමබරතාව බිඳුණු ගොලායත් යෝධයා මුණින් වැටුණා. ආයෙ නැගිට්ටොත් කියල මන් ඌව බදාගෙන එහෙම ම හිටිය . අයිය මිනිහගෙ ඇඟ උඩට නැගගෙන හොඳට නෙලුව. ගහගන්න බැරිවෙලා ප්රතිප්රහාර එකක්වත් නැතුව ගියාම තමයි මිනිහ ව අතෑරියෙ . බලන් හිටිය එවුන්ගේ ජයඝෝෂා මැද්දෙ අපි දෙන්න ගෙදර ගියා .
ගෙදර ගියා විතරයි තාත්ත කිව්ව.
‘ දෙන්නම බත්කාල වෙන ඇඳුමක් දාගෙන එනව! ‘
කොහේ යන්නද? අම්ම දන්නෙත් නෑ කිව්ව. කෝකටත් කියල අපි කියපු විදියට තාත්ත ඉදිරියෙ පෙනී හිටිය . තාත්තත් වැදගත් ගමනක් යන්න වගේ ඇඳන් හිටියෙ . දෙන්න ම තාත්තගෙ පස්සෙන් යනව කොහේ යනවද දන්නෙ නෑ.
මද්දු මගෙන් ඔලුව හොල්ලල ඇස්වලින් සංඥා භාෂාවෙත් අහනව කොහේද යන්නෙ? මාත් ඒ ක්ර්රමයටම දන්නෙ නෑ කියනව.
දැන් යන විදියට ඉස්කෝලේ පැත්තට යන්නෙ! ආයෙ දෙකක් නෑ අපිට එන්න කියල !
අර තුංමංහන්දිය පහුකරන් ඉස්සරහට යනකොට තමයි තේරුණේ මේ යන්නෙ තඩි සුනිල්ගේ ගෙදර කියල! අම්මට සිරි , ජූලි හතයි ! අපිට ඌ ඉස්සරහ තියල පෝරියල් එකක් දෙන්න වගේ තාත්ත හදන්නෙ! ඒත් අපෙන් ඒ ගැන අහන්නෙවත් නැතුව !
තුන්දෙනාම සුනිල්ගේ ගේ කිට්ටුවට එනකොට අපිව දැක්ක සුනිල්ගේ තාත්ත ,
‘ ංආ ඔය එන්නෙ චණ්ඩි දෙන්න ! අද හොඳ පාඩමක් උගන්නල යවන්නෙ ! කෝ මේ කැත්ත? ‘
මෙහෙම කියල බිත්තියට හේත්තුකරල තිබ්බ කැත්තක් අරන් ඇවිත් ඒකෙ මුවාත අපිට පේන්න අතගාල බලල මිදුලේ තිබ්බ ගලක උලල මදින්න ගත්ත. තාත්ත ගාණක්වත් නැතුව මිදුලට ගියා .
මන් දැන් කල්පනා කරනව තාත්තට කලුමාමගෙ ( සුනිල්ගේ තාත්තට අපි එහෙම කියන්නෙ ) කැතිපාරෙන් බේරෙන්න පුලුවන් වෙයිද? අපිටත් කොටයිද? තාත්ත කවදාවත් කවුරුවත් එක්ක රණ්ඩු වෙනව අපි දැකල නෑ. අනිත් එක ආයුධයක් වත් නැතුව නිකම්ම අත්දෙක වන වන නේ ආවෙ!! කිතුල්මල් මදින හින්ද කලුමාමගෙ ඉනේ
මල්කපන පිහියත් වරදින්නෙ නෑ.
ඒ අතරෙ මද්දු මට ඇඟිල්ලෙන් ඇනල ලඟ තිබ්බ දර ගොඩක් ඇහෙන් පෙන්නුව. ංආ! මිනිහ ආයුධ ගබඩාවක් හොයාගෙන ! හදිසියක් උණොත් දරගොඩෙන් පොලු අරන් මරාගෙන මැරෙන සටනට බහින්න තියෙන්නෙ !
ඒ උනාට ප්රධාන පාර්ශ්ව දෙකම සටන් ආරම්භ කරණ බවක් පේන්නෙ නෑ. කලුමාම හිටුකියල කැත්ත මදිනව! සුනිල් පේන්නවත් නෑ.
‘ කලුමල්ලි ඔය තැඹිලි ගෙඩියක් කපල ගනින්කො අපිට බොන්න ! ‘
තාත්ත මෙහෙම කිව්ව විතරයි කලුමාම කැත්ත මැදිල්ල පැත්තක තියල ඒකත් අරන් ගේ පිටිපස්සට ගියා . ඒ අතරේ සුනිල්ගේ අම්ම කුස්සියේ ඉඳල ඇඳන් ඉන්න චීත්ත රෙද්දෙ අත්දෙක පිහිදදා ඉස්තෝප්පුවට ඇවිත් ,
‘ වාඩිවෙන්න වෙදමහත්තය! ‘
කියල අපේ තාත්තට කිව්වම අපි තුන්දෙනාම ගෙට ගොඩවුණාට පුටු දෙකයි ඉස්තෝප්පුවෙ තිබ්බෙ. තාත්ත වාඩිවෙලා අපිට වාඩිවෙන්න එපා කියල සංඥා බාසාවෙන් කියපු නිසා අපි හිටගෙන ගෙදර ඉස්සරහ තියෙන මාදං ගහ දිහා බලන් හිටිය . ගෙඩි පිරිල!
‘ පුතාල කඩාගන්න ටිකක් ! ‘ අපේ බැල්ම දැක්ක සුනිල්ගේ අම්මා කිව්ව පරක්කුවට මද්දු වඳුරෙක් වගේ ගහේ! මන් බිම ඉඳන් එයා කඩල දාන අතු ඇල්ලුව.
කලුමාම තැඹිලි කඩාගෙන කපාගෙනත් ඇවිත් අපිටත් කතාකලා.
‘ ංආ පුතේ! ‘ අපිට තැඹිලි දෙනකොට බැලුවම කලුමාම තරහින් ඉන්න බවක් නම් පෙනුනෙ නෑ.
ටිකක් වෙලා කලුමාම එක්ක කතා කරන් ඉඳල තාත්ත යන්න පිටත් උණා.
‘ අපි ගිහින් එන්නම් කලුමාමෙ! නැන්දම්මෙ අපි ගිහින් එන්නම්! ‘
‘ ංහා පුතේ බුදුසරණයි ! ‘
අපිදෙන්න එන ගමන් අතින් පයින් ඔලුවෙන් ඇස්වලින් කතාවෙනව මොනවද තාත්ත කලුමාමට කිව්වෙ කියල ! දෙන්නම දන්නෙ නෑනෙ! ඉතින් අපි මාදං කාල දම්පාට වෙච්චි අපේ දිවවල් එකඑකාට දික්කරකර ගෙදර ආව.
ඒ ඇවිල්ලත් තාත්ත මොකුත් කිව්වෙ නෑ. අපි දෙන්න ඇහුවෙත් නෑ.
‘මන් හිතන්නෙ කලුමාම අපි දෙන්නව බය කරන්න තමයි කැත්ත මැද්දෙ! , නැත්නම් කැත්තෙන් ගහන්න මුවත් තියතිය ඉන්න ඕනය! ‘ මද්දු ගෙදර ඇවිත් කිව්ව.
පස්සෙ අම්මගෙන් දැනගත්ත විදියට තඩිසුනිල් පුංචිකාලෙ බඩයන ලෙඩක් හැදිල හොඳට ම අමාරු වෙලා කලුමාමලට කරගන්න දෙයක් නැතුව ඉන්නකොට අපේ තාත්ත බෙහෙත් දීල තමයි හොඳ කරල තියෙන්නෙ !
ඒ උනාට උගේ ලෙඩේ නිට්ටාවටම සනීපවෙන්න බෙහෙත දුන්නෙ අපි දෙන්න !
දහයෙ පන්තියෙන් පස්සෙ ගෙදර නැවතුණු තඩිසුනිල් මම ගමේ ගිය වෙලාවට අදටත් ඉඳල හිටල හම්බවෙනව. ලොකු ආශ්රයක් නෑ. තරහකුත් නෑ.
උපුටා ගැනීම: Channa Witha