මම අවුරුදු පහලොවක් දහසයක් වෙන්න ඇති මේ සිද්දිය වෙන කොට. නැහැ කෙල්ලෙක් ගැන නෙවෙයි අද කතාව. මම යාලුවෙකුත් එක්ක කොලඹ මාතර බස් එකේ මාතර යනවා. එක පාරටම කොස්ගොඩ හරියෙදි බස් එක නවතිනවා. බලනකොට එක දිගට වාහන නැවතිලා.
‘ෂුවර් එකටම ඇක්සිඩන්ට් එකක් වෙන්නැති’
ඩ්‍රයිවර් කිව්වා විතරයි මමයි යාලුවයි බැස්සා බස් එකෙන්. අපි දැන් නවත්තල තිබුනා කාර්, බස්, කරත්ත (ත්‍රී වීලර් නැහැ ඒ කාලෙ) පහු කරගෙන ගියා ඉස්සරහට මොකක් ද සීන් එක කියල බලන්න.
ඩ්‍රයිවර් කිව්ව වගේම ඇක්සිඩන්ට් එකක්. ඒ කාලෙ බලපිටියෙ කොස්ගොඩ හරියෙ ඉතින් වාහනයක ඒ පැත්තෙ කෙනෙක් හැප්පුනොත් ඒ වාහනය පැදවපු කෙනාගෙ තත්වය කොරෝනා හැදුනට වඩා බයානකයි. ඒ පැත්තෙ අවුරුදු දහයක විතර කොල්ලෙක්ගෙ ඇඟෙ වාහනෙ වැදිලා ඒක තමයි සීන් එක.
කොල්ලට ලොකු අමාරුවක් පේන්න නැහැ. කකුලෙ වැලමිටේ සිරීම් තුවාල නම් තිබුනා. ඉතින් ඒ පැත්තෙ අයියලා ඩ්‍රයිවර්ට ගහන්න සෙට් වෙලා, මිනිහා වෙව්ල වෙව්ල ඉන්නවා. මට ඉතින් සෑහෙන්න දුකක් ආවා ඒ මිනිහ ගැන ඒ වගේම තරහක් අර ගනංකාරයන් ගැන.
එක ගනංකාරයෙක් කියනවා
‘දෙනව ඕයි, රුපියල් 500, නැත්නම් තමුසෙටත් ගහලා කාර් එකත් ගිනි තියනවා’ කියලා.
කාර් එකේ ඩ්‍රයිවර් කියනවා ‘අනේ මගෙ ලඟ එච්චර සල්ලි කොහේ ද’ කියලා. ඇත්ත තමයි ඉංජිනේරුවෙකුගෙ මාසික පඩියත් රුපියල් පන් හයසීයයි ඒ කාලේ. දැන් කාලෙ ලක්ෂ දෙක තුනක් වගේ වෙන්නැති. මම බලාගෙන හිටියා දැන් මේ මිනිහා සල්ලි නොදුන්නොත් අයියලා ගහන කම්.
බලමුකො අහිංසකට ගහලා කියල හිතමින් ඉන්නකොටම
අලුත්ම අලුත් පර්ජො 404 එකක් අර නවත්වල තිබුනු කාර් පහුකරගෙන පාරෙ වැරදි පැත්තෙන් වේගයෙන් ඇවිල්ලා හයියෙන් බ්රේක් ගහලා නැවැත්තුවා. අපි බැලුව කවුද මේ කියලා. කාර් එකෙන් සන්ග්ලාස් දාපු මිනිහෙක් බැහැල ටකස් ටකස් ගාලා ඇවිදගෙන ආවා.
‘අම්මට උඩු. ගාමිනි ෆොන්සේකා නේ’ කියල ඔන්න කවුද කිව්ව. හරි මිනිහ තමයි.
ගාමිනි ගාම්බීර කට හඬින්
‘මොකක්ද මෙතන ප්රශ්නය?’
ඇහුව ගමන් ඩ්‍රයිවර්ට අමුතු පනක් ආවා කොරෝනා හැදිල කියල හිතපු කෙනෙකුට ඒකට කරන ටෙස්ට් එකෙන් කොරොනා නෑ කියලා දැන ගත්තා වගේ.
‘සර් මගේ අතින් මේ ලමයෙකුගෙ ඇඟේ කාර් එක ගෑවුනා. මෙයාලා රුපියල් පන්සීයක් ඉල්ලනවා. මගෙ ලඟ නැති නිසා කාර් එක ගිනිතියනවලු’ ගොත ගසමින් කිව්වා.
ගාමිනි වට පිට බලලා
‘රුපියල් පන්සීයක් නෙ’ කියා උඩ සාක්කුවෙන් සීයෙ කොල කිහිපයක් අරගෙන එයින් පහක් ගනං කර, ඉතිරි ටික ආපහු සාක්කුවට දමා, අර පන්සීය බොනට්ටුව උඩ තබා
‘ගන්න පන්සීය. අර පන්සීය ඉල්ලපු එක්කෙනා ඇවිල්ල ගන්න’ කියා කිවූ ගාමිනි, අත් බැඳගෙන කාර් එකට හෙත්තු උනේ නිකං නලුවෙක් වගේ.
දැන් එක අයියා කෙනෙක් වත් සල්ලි ගන්න එන පාටක් නැහැ. ඒ කාලයේ චංඩි පුතා චිත්‍රපටිය ජනප්‍රිය වූ කාලය යි. ‘අම්මලා දුක් ගන්නෙ පුතුන් හදන්නා’ ගීතය තිබුනු චිත්‍රපටියයි. එහි අවසාන ජවනිකාවෙ ගාමිනි අම්මව බේර ගන්න යන්නේ බ්‍රීෆ් කේසයක් පුරවා සල්ලි අරගෙනයි. ඔය විදියටම සල්ලි බොන්ට්ටුව උඩ තබා
‘ගන්න දැන් සල්ලි’ කියා ඒ අම්මා පැහැරගත් කල්ලියේ නායකයා බ්‍රීෆ්කේස් එකට අත තියන කොටම ගාමිනි පැන ඔහුටත් ඔහුගෙ සහචරයින්ට නැගිටින්නට බැරිවෙන ලෙස නෙලයි. ඉන් පසු අම්මාව බේර ගෙන සතුටෙන් ගීයක් කියමින් යන සීන් එකෙන් චිත්‍රපටය නිම වෙයි. ඉතින් මේක මතක් වෙලාද කොහේ ද එකෙක්වත් පන්සීය ගන්න ඉදිරිපත් වෙන්නෙ නැත.
ඉතින් විනාඩි පහක් විතර කකුල සොලවමින් බලා උන් ගාමිනි යලිත් පන්සීය සාක්කුවෙ දමාගෙන තුවාල වූ පොඩි කොලුවාට තුවාල වලට බෙහෙත් දා ගන්න කියා රුපියල් සීයක් දී, හැප්පුනු කාර් එක පිටත් කොට ඔහුත් ගියේ කාගෙත් ජය ඝෝෂා මැදයි.
ගාමිනි ඒ වෙලාවෙ නොආවා නම් මේ චන්ඩි පුතා ගැනයි අද ලියවෙන්නේ.
උපුටා ගැනීම: Devapriya Siriwardena