2017 වර්ෂයේ මා ගුරුවරියක ලෙස භාරව සිටියේ 9 – A පතියයි. 07 වසරේ පටන් මා හා එක්ව ඉගෙන ගත් බැවින් ඔවුන් සියලු දෙනා ම බය මෙන් ම සුහදශීලී පැවැත්මෙන් මා හා කටයුතු කළෝය . පොඩි පොඩි ආදර කතා ඇරඹෙන අවදිය බැවින් ඒ පිළිබඳවත් විමසිල්ලෙන් සිටියෙමි. ඊට හේතුව ඒ ප්‍රදේශයේ බොහෝ අය අඩු වයසෙන් පැනලා ගොස් අඩු වයසෙන් දෙමව්පියන් වීම සුලබ වූ බැවිනි . එනිසා ම වචනයෙන් තහංචි දමා ආදර කතාවලට සීමා පැන වූව ද එහෙන් මෙහෙන් ආදර කතා පිළිබඳව කන වැටෙන්නටත් විය . කෙසේ වුව දිනක් සාරි පොටේ එල්ලී සුහද කතා බහක නියැලෙමින් මා සමඟ ගමනේ යෙදුණු ගයානිගෙන් මා නිකමට මෙන්
“මේ .. ළඟ දී කොළයක්, පෑනක් ලැබුණා නේද ? .”
එය කිසිදු සැකයකින් තොරව ම ඉබේ ම පිට වූ පැනයකි.ඇය ඉතා පැහැපත්,ලස්සන , අහිංසක දැරියකි. මා ඇසූ පැනයෙන් ගයානිගේ මුහුණ රතු වී වෙනස් වූ අතර කලබලකාරී ගතියක් ද පෙනුණි. ටිකක් වෙලා ගොස් ඇය බියෙන් , පංතියට මොන ගුරුවරයෙක් ආවද බියක් නැති අපි ද කුඩා කල පංති භාර ගුරුවරයා අසල ඉබේටම සුවච කීකරු දරුවන් වන්නා සේ ම මැය ද මා ඉදිරියේ වැරදි කරන්නට බිය වන්නට ඇත . ඉතින් ඇය..
“පෑනක් හම්බුනා ටීචර් “
“කවුද දුන්නේ “
“සංදීප් අයියා “
“එතකොට කොළයක් ..?”
“කොළයකුත් දුන්නා ..”
“හරි හෙට එනකොට ඒ ඔක්කොම ගේන්න ඕන හරිද..”
“හා ටීචර් ..”
ගයානිගේ මව මා හා නිතර ළමයාගේ විස්තර හුවමාරු කෙරෙමින් සුහදශීලී පැවැත්මෙන් සිටින බැවින් දෝ දැරිය ,
අම්මාට කියන්න එපා ටීචර් යැයි ඉල්ලා සිටියේය .මා එය ඉටු කරන බව පවසා අනෙක් පංතියකට ගියෙමි.
අහඹු ලෙස කටට ආවක් ඇසූවෙන් මා හට අසන්නට සිදු වූ දෙය මට ද සිතා ගැනීමට නොහැකි විය. එහෙත් ඒ මොහොතේ කිසිදු වෙනසක් සිදු නොකර සියල්ල දන්නවා මෙන් මා ද කථා කළ බැවින් ඇයගේ සියලු තොරතුරු මට පවසන්නට ඇයට සිදු වීය. පුහුල් හොරා කරෙන් දැනේ මෙන් මාගේ අහඹු පැනයකට ඇයට හීන් දාඩිය දාන ගැටලුවක් ඇති වීම සැබැවින් ම සිතා ගත නොහැකි සිදුවීමකි.
දෙවෙනි දවසේ ඇය පාසල් පැමිණි අතර මාගේ හිස් කාලච්ජේදයක මා හමුවන ලෙස දැන්වූයෙන් ඇය අදාළ කාලච්ජේදයේ මා හමුවට පැමිණියාය .
“කෝ දීපු කොළය..”
ඇය හතරට පහට නැමූ කහ පාට A4කොළ භාගයක් මා අතට දුන්නීය.කුතුහලයෙන් එය දිග හැරී මා හට දක්නට ලැබුණේ හිස් කඩදාසියකි.කෝකටත් ,
“කෝ පෑන ..”
ඇය ටිකක් අමුතු විදිහේ පෑනක් මා අතට දුනි. ටීචින් ප්‍රැක්ටිස් සිටින කාලයේ මා සේවය කළ අගනුවර ආසන්න පාසලේ පොඩි පංතිවල කොල්ලන් සතුව එබඳු පෑන් වූ බැවින් ඔවුන් ඒවායෙන් වැඩ කිඩ දමන ආකාරය දන්නා බැවින් ද මේ ගැටලුවේ දී මා ගොඩගියෙමි.
පෑන අතට ගත් මා එහි ස්වීචය තද කර පෑනේ උඩ ඇති බල්බය දල්වා කොළයට අල්ලා බැලීමි. චීන පෑනේ පිහිටෙන් එහි වූයේ ,
‘මම ඔයාට ගොඩා….ක් ආදරෙයි ‘
‘I love you patiyo.’ යන්නත්
හදවතක් ඇඳ ඒක තුළ ‘ummma..’

යන්නත් පමණි .
පසුව විමසා දැනගත් පරිදි 11 වසරේ සිටින ඇයගේ සොයුරාගේ පංතියේ ඔහුගේ ම යහලුවෙක් සමඟ මැය මිතුරු වී ඇත. පුදුමය නම් නංගීටත් මිතුරාටත් යාලුවීමට උදව් කර ඇත්තේ කෙල්ලගේ අයියා ම වීම ය. එවිට නිවසේදී ම හමු වීම ආදියට පවා ඉඩ හසර සැලසී ද ඇත. පසුව අයියා ගෙන් මා විස්තර අසා නැගණිය පරිස්සම් කරනු වෙනුවට එක එකාට ජෝඩු කිරීම වෙනුවෙන් නංගි සිටින තැන දීම හොඳ කෝටු පහර කිහිපයක් දුනිමි. අයියා ගුටි කන විට නංගී හොඳටම හැඬූ අතර ඇයට ගුටි නොදුන්නෙමි. යොවුන් ආදරය දඬුවමට ලක් කරන්නට මා හට නොසිතුණි .ඔවුන් කුඩා දරුවන් ලෙස නොතේරුම් කමට බොහෝ දෝ කරති.
ඇය විභාගයෙන් පංතියේ විසි පස් වෙනියාගෙනුත් පහල ස්ථානයක් ගන්නා බැවින් මෙවර විභාගයෙන් 20 වෙනියාවත් විය යුතු බවත් නැති නම් ඇයගේ අම්මාට,ලොකු අයියාට ,තාත්තා ට මේ විස්තර පවසන බවත් කියා ඉගෙන ගැනීමේ දඬුවමකට යටත් කර පංතියට යැව්වෙමි.
11 වසර පිරිමි ළමයා ද මාගෙන් ඉගෙන ගන්නා ගෝලයෙක් බැවින් ඔහුව ගෙන් වා ගෙදරට විස්තර කියන්නද අසා ඔහු ඊට බිය බැවින් ඔහුට පංතියෙන් 10වෙනි යාගෙන් ඉහළ ස්ථානයක් දක්වා ලකුණු මට්ටමකට එන ලෙසත් නැති නම් නිවැසියන්ට කියන බවත් පවසා එම දඩුවමට යටත් කළෙමි . අවසන් ලෙස ප්‍රේම සම්බන්ධතාව අවශ්‍යය නම් හොඳින් ඉගෙන ගන්න ලෙසත් ඉන්පසු පසුකාලීනව ඒවාට කාලය යොමු කළ හැකි බව ආදි පොදු උපදෙස් ලබා දුනිමි…..
මේ සිඳුවීම් වල දී මා දැරියගේ සහෝදරයාට දඬුවම් කර නැගණිය ආදරයෙන් බලාගන්නටත්,දෙමව්පියන් ඉදිරියේ කියා ගත නොහැකි දේවල් නොකර සිටිනා ලෙස ද දියනියටත් කියා දුනිමි. මේ සිදුවීම් වල දී මම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු කිසිවෙකු හෝ සමඟ කාර්ය මණ්ඩලයේ අනෙක් අය සමඟ ද බෙදා ගත්තේ ද නැත …
අද ඔවුන් කුමක් කරන්නේදැයි මම නොදනිමි ..දැන් මා වෙන පාසලකය..වයස අනුව නම් සා :පෙළ සමත් වුණි නම් ඒ පොඩි කෙල්ල 2022 උසස් පෙළ විභාගය ලියනු ඇත .
පෞද්ගලික අත්දැකීමක් ඔබ සමඟ සතුටින් බෙදා ගත්තෙමි..




උපුටා ගැනීම: Nadee Dil