චීනේ ගියාම කන්නේ මොනවද කියාලා අහන්න හොඳ නෑ. එක්කෝ කන්න ඕන, නැත්නම් නොකා ඉන්නෝන.
පලවෙනි වතාවේ හොං කොං ගිය වතාවේ මටත් සිද්ධ උනා “ශිම් ශා සුයි ” වලදී දවල්ට කන්න. කෝකටත් කියලා මම හෙමීට ෆුඩ් කෝර්ට් එකකට ගියේ අඩුම ගණනේ ඇඟිල්ලෙන් පෙන්නලා කන දේ ඉල්ලන් පුළුවන් නිසා.
කලින් සැලසුම් කරපු විදිහටම මම බෝංචි සමග සුදු බත් කෝප්පෙකුත් , මාළු පෙත්තකුත් සහ බැදපු දැල්ලෝ ගත්තේ බඩ පැලෙන්න ඇවිල්ලා තිබුණු නිසා. කෑම වේලත් එක්ක සී-වීඩ් ( මුහුදු පාසි) සුප් එකකුත් නොමිලේම දුන්නා.
දුම් දමන සුප් එක බොන්න ගත්තම තමයි මට තේරුනේ කට වටෙයි , උගුරෙයි විතරක් නෙවෙයි මහා බඩවැලට යනකල් ඒ පාසි නූල් වගේ පැටලෙනවා කියලා. මොන මගුලක්ද , නිකන් දුන්නා කියලා මෙහෙම දුකක් විඳින්න පුලුවන්ද? අයින් කරා සුප් එක.
බෝංචි වල ලුණු නෑ. ඒ නිසා මාළු පෙත්ත කන්නම් කියලා කන්න හදනකොටම තේරුනා මේ මාළු නෙවෙයි කියලා. ඒ මස් වර්ගය මොකක්ද කියලා අහගන්න නම් මම මිනිහට “උම්බෑ” කියන්නෝන , නැත්නම් “බෑ” කියන්නෝන , ඒත් නැත්නම් කට උල් කරලා “ඌරු කට” පෙන්නන්නොන. ඒක කරන්න බය හිතුනේ , මිනිහා වැරදිලාවත් “බුහ්” කීවොත් එහෙම එතනම වමනේ යාවි කියලා.
බඩගින්නයි , අප්පිරියාවයි එක විදිහට දමනය කරමින් මම සුදු බතුයි , ලුණු නැති තම්බපු බොන්චියි කන්න ගත්තා. හොඳ වෙලාවට බැදපු දැල්ලෝ ටිකක් වගේ රහයි. දැල්ලාගේ කට්ට හෙමින් සූප්පු කරමින් බත් කන අතරේ තමයි මට ලාවට වගේ මතක් උනේ දැල්ලට කොයින්ද කටු කියලා.
කෑම මොහොතකට නවත්තලා බැදුම වටා ඇති දැවටුම හෙමින් ඉවත් කරේ “මොකාද යකෝ මේ කට්ටක් තියෙන දැල්ලා ” කියලා ගවේෂණය කරන්න. එතකොටයි දැක්කේ ඉතාම හැඩට සර්පයෙකුගේ කොරපොතු ඉවත් කරපු පෙත්ත .
උපුටා ගැනීම: Namal Jayamanne