මේ සැරේ පඩි දවසෙ තාත්තා ගෙදර ආවෙ වෙනදට වඩා සතුටෙන්!
හීන් අඩියකුත් ගහලා වග කතාවෙන් තේරුණා. කුස්සියට ගියේ සිංදුවකුත් කියාගෙන.
“මම යන්නෙම් දක් නා සේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී!ඒ ලාලනී!”
ඉඳල හිටලා කීයක් හරි වැඩියෙන් අතට හම් බ වුනොත් ඇරෙන්න තාත්තා කවදාවත් බීවෙ නෑ.එදාට උස්සාගෙන එන එලවලු මාලු බෑග් එකට ගිය වියදම ඇරෙන්න මුලු පඩියම අම්මාගේ අතේ තියනවා.
මොකක් හරි වාසියක් වගේ!මට හිතුණා.මාත් හීන්සීරුවේ කුස්සිය පැත්තට එබිකම් කලා.
” අද මහත්තයා පඩිය ඇරෙන්න මට රුපියල් දාහක් වැඩිපුර දුන්නා” තාත්තා කියනවා මට ඇහුණා.
“හැබෑට?” අම්මාගේ මූණ එක පාරට හඳ වගේ එළිය වුනා.
“එහෙනං මේ සැරේ කොල්ලට සපත්තු දෙකක් ගන්න පුලුවන් වෙයි! අර හම්පඩ දෙකක් දාගෙන යනවා මට දුකේ බෑ.”අම්මා කීවා.
“ඔව් ඔව් මාත් ඒ ගැන හිතුවා!” තාත්තා අම්මාගේ කීම අනුමත කලා.
ඒ කියන්නෙ මට අලුත් සපත්තු දෙකක් ලැබෙන්නයි යන්නේ!
අලුත් සපත්තු දෙකක් අරන් දෙන්න නොකීවට මට අලුත් සපත්තු දෙකක උවමනාව තදින්ම තිබ්බා. ඉස්කෝලෙ වතුර ටැප් එක ලඟ හැමදාම මඩවෙලා. කොච්චර පරිස්සමට අඩිය තිබ්බත් මගේ සපත්තු දෙකේ අඩියේ හිල් වලින් ඇතුලට වතුර කාන්දු වෙනවා. ඒත් අම්මයි තාත්තයි ජීවිතේ ගැට ගහගන්න දඟලන දැඟලිල්ල දැක්කම අලුත් සපත්තු දෙකක් ඉල්ලන්නේ කොහොමද?
අනික එන අවුරුද්දෙ නංගිත් ඉස්කෝලෙ පටන් ගන්නවා. නංගිටත් සුදු ගවුම්, සපත්තු, පොත්, පැන්සල් ඔක්කෝම අලුතෙන් අරන් දෙන්න එපායැ! තාත්තා වත්තෙ මහත්තයාගෙ පොල් වත්ත උදලු ගාලා හම් බ කරන සොච්චමෙන් අම්මා පිරිමහගෙන වැඩ ටික කරගන්න අපූරුව! කවදාවත් අපි වේලක් බඩගින්නේ ඉඳලා නං නෑ.එහෙව් එකේ තව අරව මේවා ඉල්ලලා කරදර කරන්නත් පුලුවන් ද?
“පොඩිවුන් දෙන්නව බයස්කෝප් එකක් බලන්නත් එක්ක යං!” තාත්තා රහසින් වගේ කීවා.
තාත්තා චිත්රපටි වලට කියන්නේ බයස්කෝප්! ඒ කාලෙ චිත්රපටි වලට කීවේ බයස්කෝප්ලු. එහා ගෙදර සාමක්කා නම් කියන්නේ පිචැර් කියලා.එක අතකට මොකක් කීවාම මොකද?
ඒ කියන්නේ අපි හෙට චිත්රපටියක් බලන්නත් යනවා!මගේ හිතේ සතුට පිටාර ගලනවා.
චිත්රපටියක් බලපු කාලයක් මතක නෑ.අඩුම ගානෙ දෙවනි පන්තියේ ටිකට් දෙකයි බාගෙ ටිකට් එකයි අරගෙන චිත්රපටි බලන්න තරම්වත් වත්කමක් අපිට තිබ්බෙ නෑ.
සාමක්කා නම් එයාව බදින්න එන ඩැනී අයියත් එක්ක අලුතින් එන හැම චිත්රපටියම බලන්න යනවලු! පන්තියේ සමහර යාලුවොත් මාසෙකට සැරයක්වත් චිත්රපටියක් බලන්න යනවා. අපිට කොහෙද එහෙම වාසනාවක්!පන්තියේ අනිත් අය චිත්රපටි ගැන කතා කරනකොට මම අහගෙන ඉන්නවා. ඒකෙන් මේකෙන් චිත්රපටි නොබැලුවට මං චිත්රපටි හැම එකකම කතාව දන්නවා.ඒත් ඉතින් වීරයා උඩ පැනලා,කැරකිලා දුෂ්ටයාට ගහන හැටි බලන්න නම් චිත්රපටිය බලන්නම යන්න ඕනේ. ඩිෂූ ඩිෂූ ඩිෂූඌඌඌ!
“බයස්කෝප් පිස්සුව හැදුණොත් ඉතින් හැදුණම තමයි.” තාත්තා වෙලාවකට කියනවා.
තාත්තලා පහළ පන්තිවල ඉගෙන ගන්න කාලේ ළමයින්ට හොඳ චිත්රපටියක් ඇරුනකොට ‘බයස්කෝප්’ බලන්න එක්ක යන්නේ නැතිලු. ඒත් තරුණ කාලේ ඉස්කෝලෙන් කට්ටි පැනලා තාත්තලා බයස්කෝප් බලන්න ගියාලු.
“ඉස්කෝලෙන් කට්ටි පැන්නයින් තමා අද අපිට මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නේ! උඹලා කොහෝම හරි ඉගන ගනිල්ලා!” වෙලාවකට තාත්තා කියනවා.
අම්මයි තාත්තයි දෙන්නා බලාපු චිත්රපටි ගැන බර කතාවක්!
මම කාමරේට වෙලා ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ ටික ඉවර කලා.හෙට චිත්රපටි වැඩේටයි සපත්තු වැඩේටයි දවසම යාවි!
අපේ ගමට චිත්රපටි ‘හෝල්’ එකක් නෑ. ටවුමටත් නෑ. චිත්රපටි බලන්න එහා ටවුමට යන්න ඕනේ.බස් දෙකක්!
“දහයයි තිහේ ‘ෂෝ’ එක බැලුවොත් දවස ඉතිරියි.”තාත්තා කීවා.
“එන ගමන් කොල්ලට සපත්තු ගමු. ඉතිරියක් තිබුනොත් කෙල්ලටත් ගවුම් පොඩිත්තක් අරන් දෙන්න බැරියැ!”
අපි පාන් දරින් පිටත් වුනා.බස් දෙකේම කට කපල සෙනඟ! ඒත් පාරෙ තදබදේ අඩු හින්දද කොහෙද නමය වෙනකොට අපි ටවුමේ!
“චිත්රපටියට තව වෙලා තියනවා නොවැ. අපි මොනවා හරි කාලා ඉමු!” තාත්තා කීවා.
අපි එතනම තිබුණු හෝටලේකට ගියා.
සරිසිරි හෝටලය!
“මුදලාලි සොටීස්!” තාත්තා සද්දෙට කීවා. ටික වෙලාවකින් රෝල්ස්, කටලස්, බිත්තර පාන්, මාලු පාන් පිරුණු පිඟානක් අපේ මේසෙ උඩ!
“කාපල්ලා කාපල්ලා ඕනෙ හැටියට කාපල්ලා!” කියන ගමන් තාත්තා අම්මා දිහා බලලා උජාරුවෙන් හිනාවුනා.
මම රෝල්ස් දෙකකුයි බිත්තර පාන් දෙකකුයි කෑවා. නංගිත් පොඩි කමට බිත්තර පාන් දෙකක්ම කෑවා.
කඩේ වැඩට ඉන්න ළමයා කෑම බිල අරගෙන ඇවිත් තාත්තාට දික් කලා.
“එහෙනං යං!”
සල්ලි ගෙවන්න මුදලාලි ගාවට ගිය තාත්තාගේ මූණ එක පාරටම වැහි අහස වගේ අඳුරු වුනා. අපි තුන් දෙනාම තාත්තා දිහා බැලුවා.තාත්තා ගොත ගැහුවා.
“ම..මගෙ ප…පර්ස් එක නැතිවෙලා!”
උපුටා ගැනීම: Sripali Kotuwella