සදමින් සිටි පැටිස් රවුම් සියල්ල නවා ගෑරුප්පුවෙන් වටේ තදකර දීසියක තැබූ නාමලී පැන්ට්‍රියේ ඉදගෙන සිටි දියණිය වෙත හැරුණාය. විවාහයෙන් පසු සැමියා හා ඇනෙක්සියක වාසය කරන විෂ්මි අද කෙටි නිවාඩුවක් දමා පැමිණ ඇත්තේ පියාගේ සැට වන උපන් දිනය සමරන ආකාරය ගැන නාමලී හා කතා කිරීමටය.
“මම බදින්නද අම්මි?”
“නෑ පුතා බේක් කරලා ගමු. අප්පච්චිගේ කොලෙස්ටරෝල් ටිකක් වැඩි වෙලා මේ පාර. මේ දවස් ටිකේ අපි තෙල් අඩුවෙන්මයි කෑවෙ”
“එහෙනම් ඔක්කොම කට්ටිය සීයක් විතර වෙයි නේද අම්මි.”
“ඔව් නේද පුතේ. තාත්තිගේ ඔෆිස් එකේ අයත් දැම්මනේ”
“ඔව් දහයක් දැම්මා එහෙන්. ඔන්න දැම්ම කිව්වා අම්මි නම් උයන්න ලෑස්ති වෙන්න එපා හොදේ. අර සීයාගෙ දානෙට කේටර් කරපු තැනින් ගේමු. මම ගෙවන්නම්. නැත්නම් පාර්ටි එක වෙලාවට අම්මි පණ ගිහින් ඉන්නේ.”
“හා හා එතනට දෙමු. ඔයා ගෙවන්න ඕනි නෑ. මා ළග සල්ලි තියනවා”
“බර්ත් ඩේ කේක් එක හදන්න ඒන්ජල් කේක්ස් එකට ඕඩර් එකක් දානවා හොදේ. අපේ ඔෆිස් එකේ ලේඩි කෙනෙක් හදාගෙන තිබුණා හරිම ලස්සනයි.”
“හරි පුතා, චොක්ලට් කේක් නැතුව වෙන ජාතියක එකක් දාන්න.”
“අයියෝ එයාලගේ ස්පෙෂලිටි එක චොක්ලට් ගැටෝ නෙ අම්මි”
“එහෙනම් වෙන තැනකට ඕඩර් එක දෙන්න. අප්පච්චි කන්නේ නෑනෙ”
“ඇයි අම්මි අප්පච්චි චොකලට් කේක් කන්නේ නැත්තේ?. අප්පච්චි චොක්ලට් කනවනේ.”
“අනේ දන්නෑ සුදූ.” නාමලී හැරී තේ බදුන් සෝදන්නට පටන් ගත්තාය.
ඉන්පසුව විෂ්මි කොළ මිටියක් ගෙන ආරාධනා කරන අය, ගෙදර සාදන කෑම, මිලට ගත යුතු ද්‍රව්‍ය ආදිය ලැයිස්තු ලියාගන්නා අතර ඇය රෑ කෑම සූදානම් කරන්නට ගියාය.
—————————————————-
විපුල්ගේ චොකලට් කේක් අරුචියට හේතුව දුවට නොකීවාට ඒ මන්දැයි නාමලී දනී.
ඇය එය දැනගත්තේ ඔහු හා විවාහ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
ලංකාදීප මංගල කිංකිණි තීරයේ නාමලීගේ මව දැමූ දැන්වීමට පිළිතුරු ලෙස ලැබුණු ලිපි අතරින් උගත්කම්, වත්කම්, කුලමල, ආගම, රැකියාව, කේන්ද්‍රය ආදි සියල්ල ගැලපුණේ විපුල්ගේ මව එවූ ලිපියෙහි වූ විස්තර සමගය.
දෙපාර්ශවය ගමන් බිමන් ගොස් යෝජනාව තීන්දු වූ පසු ඔවුන් දෙදෙනා නිදහසේ ඇසුරු කළ අතර වසරක පමණ කාලයකදී විවාහය පවත්වන්නටද තීරණය කර තිබිණි.
විපුල් ඉතා හොද කෙනෙකි. සරසවියේ පෙම්වතියක සිටි බවත් කේන්දර නොගැළපෙන බැවින් ඔහුගේ මව්පියන් එයට විරුද්ධ වූ බවත් ඔහු කීවේ මුලදීමය. නාමලීට එය කිසිදු ගැටළුවක් වූයේ නැත. ඇය සිතුවේ විපුල් වැනි කඩවසම් පෙනුමකින් යුතු තරුණයකු සරසවියට ගොස් තනිව සිටියා නම් එය ගැටළුවක් විය යුතු බවය.
මේ චොක්ලට් කේක් කතාව ඇය දැනගත්තේ අහම්බයෙනි.
———————————————————————————–
දිනක් සෙනසුරාදාවක නගරයට ගිය විටක ඇයට වසර ගණනාවකට පසු ඇය සමග පාසලේ සංගීත කණ්ඩායමේ එකට ගී ගැයූ ගීතිකා හමුවිය.
“අනේ අක්කී” කියා පැනගෙන විත් ඇයව වැළදගත් ගීතිකා මදක් වත් වෙනස් වී නැති බව ඇයට තේරුණේ පළවෙනි විනාඩි පහේදීමය. බාල වියේ මෙන්ම තොරතෝංචියක් නැතිව කතා කළ ගීතිකාවද ඇදගෙන ළග තිබූ වැදගත් පෙනුමැති අවන්හලකට ඇය ගොඩවූයේ ගීතිකාටද ඉක්මනින් ගෙදර යාමට අවශ්‍ය නොමැති බව දැනගත් පසුය.
දෙදෙනා තොරතුරු හුවමාරු කරගත් අතර ගීතිකා සරසවියෙන් පිටවී රැකියාවක නිරතවන බවත් ළගදී සරසවි පෙම්වතා සමගම විවාහ වන බවත් හෙළි කළාය.
තමන්ද යෝජනාවකින් විවාහයට සැරසෙන බව කී නාමලීට සිහි වූයේ විපුල්ද ඒ සරසවියේම ගීතිකාගේ පීඨයේම බවය.
“ඔයා සමහරවිට දන්නවත් ඇති ගීති, විපුල් සමරනායක කියලා. උස සුදු එක්කෙනෙක්. ඔයාට වඩා නම් අවුරුදු තුනක් විතර සීනියර් ඇති හැබැයි”
“විපුල් කියන්නේ අතර පිළියන්දල පැත්තේ අයියද”
“ඔව් ඔව්. ඔයා දන්නවද?”
“අපෝ ඔව් අක්කි ඒ අයියා එක අවුරුද්දක ස්ටුඩන්ට් යූනියන් එකේ වයිස් ප්‍රසිඩන්ට් වෙලා හිටියනේ. අක්කිට ප්‍රපෝසල් එකක්ද ආවේ” ගීතිකාගේ සිනහවේද ස්වරයේද මද වෙනසක් දැනුණු බැවින් නාමලී සිනාවී ඇගේ අත අල්ලා ගත්තාය.
“මේ කෙල්ලේ මම දන්නවා එයාට එහෙ කෙල්ලෙක් හිටියා කියලා. මට කිව්වා ඒක කලින්ම.”
“අයියෝ අක්කි මට හොදටම අප්සෙට් උනේ ඒකයි. අක්කිට අවුලක් නෑනෙ. ඒ දෙන්නා අවුට් වෙන්නත් කළින් අෆෙයාර් එක නැවතුණේ මම හිතන විදියට.”
“ඔව් කේන්දර ගැලපෙන්නේ නෑ කියලා විපුල්ලගෙ ගෙදරින් කැමති වෙලා නෑ. ලස්සනද එයා”
“ම්ම් ලස්සනයි අක්කි. ඉස්සර අපේ ඩ්‍රීම් කපල් එකක් තමයි. විපුල් අයියා හරි හොදයි අක්කි. අක්කි හරිම ලකී. අපි ඉස්සර හරියට කතා වෙනවා. කැම්පස් එක ළග කැෆේ එකක් තිබුණා හරිද? ගොඩක් කපල්ස් එකට ගිහින් චොක්ලට් කේක් කාලා ෆලූඩා බීලා එනවා. විපුල් අයියයි ඒ අක්කයි ගියාම අක්කා ඔහේ කියව කියව කනවා. මූණ පුරා අයිසින් ගාගෙන. අයියා වැඩිය කතාවක් නැතුව අක්කාගේ මූණ බලන් ඉන්නවා. අන්තිමට අයියගේ ලේන්සුව අරන් අක්කගේ අතුයි මූණයි ඔක්කොම පිහිනවා. අපිට ඉතිං මැජික් වගේ. මගේ බැචියෙක් හිටියා ඉස්සර, එයා කිය කිය හිටියේ විපුල් අයියා ඒ අක්කව බැන්දෙ නැත්නම් එයා කොහොම හරි අල්ලගන්නවා කියලා. මැරයා වගේ හිටියට හෙන ලවිං නේ.”
‘ඔව් නංගි එයා හරි හොදයි. මට ලොකුවට විස්තර කිව්වේ නෑ. ඒත් කියපු විදිහෙන් මට තේරුණා ගොඩක් ක්ලෝස් අෆෙයාර් එක තියෙන්න ඇති කියලා. අර ගර්ල් මැරි කරලා කැනඩා හරි කොහෙ හරි ඉන්නෙ මම හිතන්න”
“ඔව් සකුණි අක්කා බැන්දා අවුට් උන ගමන්.”
ඉන්පසු ඔවුන් එදිනෙදා වල්පල් කතා වූ අතර පැයකට පමණ නාමලී ගෙදර යන්නට පිටත් වූවාය.
ගැහැණු හිත නිසාදෝ ගෙදර යන්නට පෙර අසල ඇති රසකැවිලි කඩයට ගොස් ඇය චොකලට් කේක් රාත්තලක්, මස්කට් කැබැල්ලක්, බිස්කට් පැකට්ටුවක් හා චීස්ද මිලට ගත්තාය. ඒ ඉරිදා දිනයේ පැමිණෙන විපුල් වෙනුවෙනි. ඔහු පෙම්වතිය සමග රස විදි දේ ලබාදී ඔහුගේ ප්‍රතිචාර බලන්නට ඇයට සිතිණී.
—————
ඉරිදා ඔහු පැමිණෙන විට නිවසේ සිටියේ නාමලීත් ඇගේ ආච්චි අම්මාත් පමණි. ආච්චි අම්මා මුලුතැන්ගෙට වී විපුල්ට දිවා ආහාරය සූදානම් කරන අතර නිවසේ ඉදිරිපස ඔවුන් දෙදෙනාට වෙන් විය.
මදක් සතුටු සාමීචියේ සිට ඇය ගෙතුළට ගොස් ඉස්තෝප්පුවේ වාඩිවී සිටි විපුල් වෙත රසකැවිලි බන්දේසිය රැගෙන ආවාය.
විපුල් ගත්තේ චීස් කැබැල්ලක් හා බිස්කට්ටුවකි.
“ඇයි අනේ කේක් කෑල්ලක් කන්නකෝ”
“එපා නාමලී. මම එච්චර ආස නෑ චොක්ලට් කේක් කන්න”
නාමලීගේ සිතේ කිසිදු තරහක් ඉපදුණේ නැත. ඇය මදක් ඔහු වෙත පාත්වී “ඇයි විපුල්, කැම්පස් එක ළග කැෆේ එක මතක් වෙන නිසාද?” යි ඇසුවාය.
තිගැස්සුණු විපුල් හිස ඔසවා තමා දෙස බැලූ අයුරු ඇයට අදටත් අමතක නැත. ඔහුගේ දෑස්වල පිහි පහරක් මෙන් වේදනාව ඇදෙනු ඇයට පෙනුණි. ඔහු මදක් වේලා ඇගේ මුහුණ දෙසම බලා උන්නේය.
තමන්ට විශ්වාස කළ හැකි, කිසිදිනක තමා අද කියනා දේ ආයුධය කොටගෙන පහර නොදෙන ගැහැණියක දෙස තමන් බලා ඉන්නා බව විපුල්ට ඒ කාලය තුළ වැටහුණාදැයි නාමලී දන්නේ නැත. කෙසේ හෝ අවසානයේ ඔහු ඇය දෙස බලාගෙනම එක වාක්‍යයක් කීවේය.
තමන් කිසිදාක නොවූ පරිදි ඔහු වෙත බැදුණේ එයින් පසු බව නාමලී සිතයි.
“ඔව් නාමලී. මම ඊට පස්සේ කවදාවත් චොක්ලට් කේක් කෑවේ නෑ”
තවත් ගැහැණියකට එතරම් පෙම් කළ විපුල් තමන්ටද එළෙසින්ම ආදරය කරනු ඇති බව මොකක් හෝ හේතුවකට නාමලීට සිතිණි. ඇය ඔහුට ළංවී ඔහුගේ උර මත අත තිබ්බාය.
“සොරි විපුල්, මම ආයෙ ඔයාගෙන් ඕක අහන්නෙත් නෑ. චොක්ලට් කේක් කන්න කියන්නෙත් නෑ.”
විපුල් සෙමින් තම අත ඔසවා බොහෝ වෙලා යනතුරු තම උර මත තිබූ ඇගේ අත පිරිමැද්දේය. ඈත බලා සිටි ඔහු කිහිප වරක් තදින් ඇසිපිය ගසනු ඇයට පෙණිනි.
ඇය වචනයකුදු නොකියා උන්නාය. ඔවුන් යෝජනා වූවාට පසු නොබිදිය හැකි ලෙස ළංවූ මොහොත ලෙස ඒ අඩ පැය නාමලීගේ සිතේ ඇදී තිබේ.
————-==-
එයින් පසු අදට වසර තිහක් ගතවී තිබේ. කිසිදනක ඇය විපුල්ට වූ පොරොන්දුව කඩ කළේ නැත.
කිසිදිනක ඇයට විපුල් හා බැදුණේ අපරාදේ යැයි සිතන්නට දෙයක් ඔහු කර නැත. තමන්ද දරු තිදෙනාද ආදරයෙන් නහවන මේ මිනිසාට යොවුන් වියේදී ලස්සන ආදරයක් පිදූ ඒ ගැහැණියට තමන් කෘතඥ විය යුතු බව නාමලී සිතයි. තමන්ට ලැබෙන්නේ එහි ඵල බව ඇය දනී.
විපුල්ට චොක්ලට් කේක් කන්නට ඇය නොදෙන්නේ ඒ නොදන්නා ගැහැණියට හා ඇයගේ ආදරයට කරන සැළකිල්ලක් ලෙසටය.
පසුගිය වසර ගණනාවේ බොහෝ විට ඔවුන්ට චොක්ලට් කේක් වලින් සංග්‍රහ ලැබී ඇත. ඇතැම් විට විපුල් කැබැල්ලකට අත දිගු කළත් “විපුල් චොක්ලට් කේක් කන්නේ නෑ අනේ “ කියා ඔහු වළකන්නට නාමලී පෙළඹී තිබේ. එවිට විපුල් ඇය වෙත පුදන මදහස ඔහුගේ හදවතේ ඇය කෙරෙහි ඇති ආදරය කැටි කොට පෙන්වන්නක් බව දන්නා නාමලී ඔහු වෙත බලන්නේද එවැනිම සෙනෙහසින් පිරි රහස් බැල්මකිනි.
එවැනි දිනක රෑ නින්දට පෙර ඔහුගේ උර මත හිස හොවාගෙන ගත කරන මොහොතේදී වෙනදාට වඩා මදක් තදින් ඇය තමන් වෙත තුරුලු කරගන්නා ඔහු සෙමෙන් ඇගේ හිස මත මුව තබා ඇසෙන නෑසෙන සැනසිලිදායක හඩකින් “තැන්ක් යූ නාමලී” කියන බව ඇය දනී.
ඒ ඔහුගේ සිත නොරිදවන, ඔහුගේ හදවත ගැඹුරේ ඇති සුන්දර යමක් එළෙසින්ම රැකගන්නට ඉඩ දෙන තමාට ඔහු ස්තුති කරන අයුරු බව ඇය දනී.
උපුටා ගැනීම: පවිත්‍රා අභයවර්ධන