චූන් පාන් මෙහෙයුම… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සාමාන්යයෙන් මා නම් කිසිදිනක නිවස අසලින් යන ජංගම රථ වලින් බඩු මිලදී නොගනිමි. ඒ ඉතිං වෙන කිසිම හේතුවක් නිසා නොවන අතර ගෙදර ඉදන් පාරට යන තප්පරේට ඔවුන් පලා යන බැව්නි.
එය එසේ උවද මේ ජීවිතේ මා ලද එකම ජයග්රහණයක් තිබේ. එනම් මගේ කොලු පැට්ටාට කියා වෙන කිසිම දෙයක් කර ගන්න බැරි වුවත් පාරෙ යන අයිස්ක්රීම් වාහනයෙන් අයිස්ක්රීම් මිලට නොගැනීමට ඔහුව පුරුදු කර ගැනීම මා ලද සුවිශේෂී ජයග්රහණයකි. වෙන කිසිම බොරුවකට අහුනොවෙන කොල්ලා ඒ අයිස්ක්රීම් රස නෑ කියන බොරුවටනම් අහු වී ඇත. එබැවින් අයිස්ක්රීම් වාහනවල ඉමිහිරි ගායන ඇසුනද වගේ වගක් නැතුව සිටීමට දැන් මට හැකිය.
පාන් කෑම ඇගට හොදනැති උවත් සංචරණ සීමා ආරංචි ලැබෙන විටම මගේ සිත විස්සෝප වන්නෙ දැන් ඉතිං පාන් කෑල්ලක් වත් කන්න වෙන්නෙ නෑනේ කියාය. එබැවින් මට ඒ පාන් කෑමේ සිතුවිල්ලෙන් මිදෙන්නටනම් ලේසියෙන් බැරිය.
කෙසේ වුවත් මේ දිනවලදී පාන් මිලට ගැනීමට වෙනත් ක්රමයක් නොමැති බැවින් චුන් පාන් වාහනයේ පිහිට පැතීමට සිදු වුනි.
පළමු දිනයේදී මිහිරි නාදය ඇසෙන විට පාන් ගැනීමට කිසිම ලකලැහැත්තියක් නොතිබිණි. එබැවින් මා ගේට්ටුව ලගට දුවන විටම වාහනය විදුලි වේගයෙන් මා පසු කර ගියේය. කොහොම හරි අල්ල ගන්න ඕන කියල ගේට්ටුව ඇරගෙන පාරට පැන ලොරියට අත වැනුවේය. වස ලැජ්ජාවයි. දැක්කෙ නෑ.
සංචරණ සීමා නිසා පාරෙ කවුරුත් නොසිටි බැවින් මාගේ එම දර්ශනය කිසිවෙක් දැක්කේ නැත.
මා ආපසු ගෙදර දුවන විට දුටුවේ මා දුටුවේ බත් පිගාන පැත්තකින් තබා මාස්ක් එක දාගෙන පර්ස් එක අතටගෙන බයික් එක ස්ටාට් කරගෙන චූන් පාන් වාහනය හබාගෙන යාමට සැරසෙන මාගෙ ගෙදර උන්දෑයි.
හබාගෙන ගොස් පාන් රැගෙන ගෙට ගොඩ වන විට ඔහුගේ මුහුනේ තිබුනේ උදේ සිට පෝලිමෙ රැකගෙන ඉදල කොරෝනා එන්නත ලබා ගත්තා වැනි සන්තෝශයකි.
ඉතිං එදා අපි රෑට පාන් කෑ අතර ජොලියට වගේ මම වැඩ දාල සැන්ඩ්විච් දෙකක් හැදුවෙමි. ශා ඒක සෑහෙන රසයි.
ඉතිං අදත් බත් කෑමෙන් පසු රෑ කෑම වේල මතක් වූ විට හිතුනේ රෑට අර සැන්ඩ්විච් ටිකක් කෑවනම් හොද බවයි. එසැනින් අනෙක් පාර්ශවයෙන්ද විමසූ විට හා ඒක හොදයි කී අතර මා එසැනින් චූන් පාන් මෙහෙයුමට ලේස්ති උනි. ලේස්ති වෙන අතරේම ඇහුනේ ඒ මිහිරි නාදයයි. දැන් මගේ ලේ ගමනා ගමනය වැඩි වී කෑ ගැස්සුනේ අන්න එනෝ යනුවෙනි.
එවිට මා සිටියේ ඇග හෝදව සිටි කොල්ලාට කලිසම අන්දවමින්. එක කකුලක් පමණි අන්දවා තිබුනේ.
“අම්මේ මට සීනි බනිසක්”
පර්ස් මාස්ක් සෙවීමට සැමියා දුවන අතරේ මට සිතුනේ පරක්කු වුවහොත් වාහනය යන බවකි .එබැවින් කලිසම ඇන්දවීම පැත්තක තබා මා.පාරට දුවන්නට සැරසුනු අතර ඒවන විට සැමියා ගේට්ටුව ලගට දුවගෙන ගොස්ය.
මා ආපසු හැරෙන විට තනි කකුලට කලිසම ඇදගෙන අනිත් පැත්ත අතින් එල්ලගෙන මගෙ පුත්ර රත්නය ” අම්මේ සීනි බනිස්” යැයි නැවතත් කීවේය. ඒ කිව්වෙ කී වෙනි වතාවටදැයි මා දන්නේ නැත. මා සිටියේ චූන් පාන් සිහියෙනි .
හදිසියේවත් සීනි බනිස් නැති වුවහොත් ඒව සෙවීමට කොයි දීපංකරේ ඇවිදින්න වේදැයි දන්නා.නිසා “ඒව නැත්නම් කිඹුලෙක් හොදේ’ කියලත් පොඩි ශේප්මන්ට් එකක් දැම්මේය.
ඉතිං ඔබ සිතන්නේ මේතරම් ලකලැහැත්තියක් වී අද අපි පාන් මිලට ගත්තේදැයි කියාද මිත්රවරුනි. නැත නැත. චූන් පාන් වාහනය ගොස් තිබෙන්නේ වෙනත් පාරකය.
එබැවින් මාත් අපේ ගෙදර එක්කෙනාත් මාස්ක්, පර්ස් කුඩ , ලේස්ති කරගෙන චූන් පාන් මෙහෙයුම දියත් කරන්නට සැරසී මේ වනතුරුත් බලා සිටී. මේ දැනුත් මගේ සවනේ රැව් දෙන්නේ ඒ මිහිරි නාදයයි.
(චායාරූපය ජාලයෙනි)
උපුටා ගැනීම: Kashmira Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!