පොඩි කාලෙ හෙන නෝටියා- (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දැන් මෙහෙම සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ මුල්ලක් අල්ලන් පාඩුවෙ හිටියට මොකෝ හිච්චි කාලෙ මං හෙන ඇම්ඩා පැටික්කිලු. මටනම් ඔය හාංකවිසියක්වත් මතක නෑ. අපෙ අම්මයි තාත්තයි වෙලාවකට මාව වටකරගෙන මං කරපු දස්කම් විස්කම් කියද්දි තමා රෙදි ගැලවෙන්නෙ.
ඔය භීසනේ ලොකුවටම තිබිලා තියෙන්නෙ මට අවුරුදු 1-4 වගේ කාලෙ තමා. පැටියා උනාට තැනකට එක්කන් යන්නෙ පරාන බයෙන්ලු. ඇයි ඉතින් මොන ගිනි ගෙඩියක් පත්තු කරයිද කියලා හිතාගන්න බෑලුනෙ.
පොඩි පොඩි වීරක්රියා වලට ගොන්කම පදම් කරලා ප්රදර්ශනය කරන්න පටන් අරන් තියෙන්නෙ දණ ගාන කාලෙ ඉඳන් කියලා තමා තාත්තානම් කියන්නෙ.
දවසක් ඉතින් ඔන්න තාත්තා හරි බරි ගැහිලා ඉඳගෙන පත්තරේ කියවනවලු ලාම්පුව පැත්තට අල්ලගෙන. ඒ කාලෙ ගේ හදපු මුලම නිසා අපේ ගෙදරට කරන්ට් එක නෑ. මං පැටියා දනගානවලු පස්ස පැත්ත කැඩිච්චි පනුවෙක් වගේ. එක තප්පරයක් නිකන් ඉන්නෑලු. වයින් කරල තියපු කුලු හරක් පැටියෙක් වගේ දණිස් හම යනකන් එහෙට මෙහෙට යනවලු වල් පල් දොඩව දොඩව. ඒ කාලෙ ඔය කියන ඒවා ගෙදර අයට තේරෙනවා කියලයැ. තනියම තමා ඉතින් හිතේ තිබ්බ අම්බානක ප්රශ්න ඔක්කොම කියවන්නෙ.
ඔහොම ඉඳලා බැරි වෙලාවත් සද්දෙ එහෙම නැවතුනොත් අන්න එතන මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරන ගමන් තමා මං පැටියා ඉන්නෙ. ඒ වගේ වෙලාවට ඉතින් කක්කුස්සියේ හිටියත් බාගෙට හෝදගෙන අම්මා දුවන් එන්නෙ සද්දෙ නැත්තෙ මොන ගිනි විජ්ජුම්භ්හරයක් කරලද බලන්න..
ඔය මදෑ කියෙව්ව.. ඔන්න ඉතින් තාත්තා පත්තරේ කියවනවට වඩා වේගෙන් මං අංඩර දෙමල පත්තරයක් හයියෙන් කියව කියව හතර අතේ දණ ගානවලු. අම්මා කුස්සියේ උයනවා.
තාත්තා ඉතින් පත්තරේ දිහා බලන්නෙ එක ඇහැකින්. අනිත් ඇහෙන් මං පැටියා දිහා බලන් ඉන්නම ඕන. පොඩ්ඩ මිස් උනොත් බඩු බනිස්.
කොහොම හරි එකපාරට සද්දෙ නැවතුනාලු. ගෑනි බිත්තිය ලඟ නැවතිලා ඉඳගෙන බිම යන කඩියෙක් දිහා බලන් ඉන්නවලු.
ඒ කාලෙ මගෙ ජනප්රිය ආහාර වර්ග තමා ඔය. කඩි, හැකරැල්ලො, කුරුමිණියො පෙන්නන්න බෑ. හරි ආදරෙන් අරන් කටේ දාගන්නවලු..
ඒ වෙලාවෙත් ඉතින් මං පැටියට කඩියා අල්ලගන්න තමා උවමනාව. කඩියා පරාන බයෙන් එහෙට දුවනවලු මෙහෙට දුවනවලු. තාත්තත් ඉතින් බලන් ඉඳලා.
අල්ලන්න බැරි තැන දුන්නලු එකක් අතින් චොරොප්පං වෙලා යන්න. ම්හ්… හරිගියෙ නෑ. කඩියා දැන් බිත්තියේ…
පැටියා කාලෙ ඉඳන් එක දෙයයි දෙයියනේ කියලා හොඳකට තිබ්බෙ. පණ අත ඇරියත් උත්සහය අත අරින්නෙ නෑ. දෙන්නම් උඹට කියලා ටිකක් ඉස්සිලා කඩියට ගැහුවලු. ම්ම්හ්… නෑ ඒත් හරිගියෙ නෑ ඌ තව ටිකක් උඩට ගිහින්.
දැන් ඉතින් මට අම්බානක තද වෙන්න ඇති මතක නැතුවට. කඩියා යනවලු පස්ස නලව නලව.. යන්තම් බිත්තිය අල්ලන් ඔන්න හිටගත්තලු.දුන්නලු උපරිම වීරිය දාලා තව එකක් කඩියට.
මොන අල්ලනවද දැන්… ඌ ගිහින් උඩටම.
දැන් ඉතින් මොනා කරන්නද? දැම්මලු කොර වෙලා යන්න පට්ට හිනාවක් “ටටා….” කඩියාට අත වැනුවලු හිටගෙනම.
තාත්තාට හිතුනෙ මෙච්චර වෙලා තාත්තා මරන්න හදපු කඩියව මං බේරගෙන ඌට යන්න දුන්නා වගේ හැඟීමක්ලු.
******************************************
ඔහොම ඉතින් තව කාලයක් ගෙවිලා යද්දි මං පැටියා දැන් වචන එක දෙක අහුලන් කතා කරන්න පුරුදු වෙනවලු. කිරි අප්පේ ඉතින් අම්මලාගෙ ඉහේ මල් පිපිලාලු හිටියෙ ඒ කාලෙ. පස්සෙ කාලෙක හිතුවලු මේකි කතා නොකරම හිටියනම් එකක් කියලා. ඒක ඉතින් වෙනම කතාවක්.
ඔහොම ඉද්දි එහා ගෙදර හිටපු අංකල් කාරයා හැමදාම හවසට දිව්ය අමෘතේ පානය කරලා ඇවිත් ජාතිය අමතනවලු. පලාතෙ ඉන්න නෑලු හතර දිබ්භාගෙම හෙලවෙනවලු ඒ කටේ සද්දෙට. අම්මනම් කිව්වෙ ඒ මිනිහා කුණු වෙන්න බොනවා කියලා. පස්සෙ කාලෙක මටම තේරුනා ඒ මනුස්සයා කියන සුමිහිරි වචන මාලාවට අහන් ඉන්න මිනිස්සුන්ගෙ කන් කුණු වෙන්න ඇති කියලා.
කොහොම හරි ඉතින් මේ කෙලි පොඩ්ඩ වචන අහුලන කාලෙනෙ ඔය. අම්මයි තාත්තයි බිරාන්ත වෙලා හිටියෙ මගෙ ශබ්ද කෝෂෙට ඔය වචන ටික එකතු වෙයි කියලලු. ඒ නිසා ඒ මිනිහා කකුල් පටල පටල ඈතින් එනව දැක්කම කර කර ඉන්න වැඩේ මොකක් උනත් ඒක අත ඇරලා අම්මයි තාත්තයි මැරතන් තරඟෙ වගේ ගෙට දුවන් එන්නෙ හයියෙන් පිරිත් දාන්න.
පිරිත් තමයි! කොච්චර මගේ කන් දෙක වහන්න හැදුවත් කොහෙන් හරි ලීක් වෙච්ච එක වචනයක් මගේ කනේ වංගු පහු කරන් මොලේ හාරන් ගිහින් පැලපදියන් උනේ මුල් එහෙමත් ඇදලා. දැක්කනෙ කෙල්ල දස්සයා… වස්ත්රය තමයි!
ඉපදුන දවසෙ ඉඳන් අප්පටසිරි වෙන්න තද වෙනවලු මට පොඩ්ඩ ඇත්තන්. අම්මා කියන්නෙ තද උන වෙලාවට හුස්ම ගන්නැතුව මූණ නිල් පාට වෙනකන් ඉඳලා අම්මලාව බය කරනව කියලා. ඒවා ඇහෙද්දි මට හිතෙනවා දැනට වඩා ඒ කාලෙනම් මට රෙස්පට් එක කියන දේ උතුරන්නම තිබිලා කියලා. දැන් මෙහෙම පච උනාට.
අනේ ඉතින් මගේ අසරණ මව් පියෝ මාව තරහ අවුස්සන්නෙ නැතුව තියාගන්න නොවිඳිනා දුක් විඳලා තියෙනවා ඒ කාලෙ. ඉල්ලන ඉල්ලන දේ දීලා එයාලා මටත් වඩා පොඩි උන් වගේ මගෙ ඉස්සරහ රඟපෑවලු අර වචනෙ මට අමතක කරන්න ඕන කමට. තරහ ගියොත් ඉවරයි…..
ඔහොම ඉතින් කාලයක් ගිහින් මට යන්තන් අවුරුදු 3ක් වගේ වෙනකොට අනේ ඉතින් හරි හුරුබුහුටි කෙලි පොඩ්ඩලු. දැක්ක ගමන් ඕන කෙනෙක් වඩාගෙන හුරතල් කරන්නෙ හරි ආදරෙන්. මං ඉතින් හෙන ලොකුකමෙන් හිටපු ඩයල් එකනෙ. ඔය ඉඹින්න, පොඩි කරන්න ආවොත් ඔන්න මට යකා තද වෙනවලු. කවුරු හරි මාව වඩා ගත්තම අපේ අම්මා ඉතින් ඇහැ, කන, නහය ඔක්කොම බලියගෙන බලන් ඉන්නෙ මට තද වෙන්න කලින් ආපහු ඇදලා ගන්න. දන්නවනෙ… තද උනොත් ඉවරයි..
කාලයක් යද්දි දේව බැල්ම ගමට වැටිලා අර මනුස්සයා මොකක්දෝ රස්සාවකට ගමෙන් පිට ගියාලු. නිවන් පුරේ පරාදයිලු ඉතින් ඊටපස්සෙ. හෙන සැනසීමලු කන් වලට. මාත් ඉතින් ටික ටික හොඳ එකී උනාලු. අම්මගෙයි තාත්තගෙයි බොක්කවල් වල එච්චර කල් තැම්බුන බිත්තර එහෙම එතනින් එහාට ආයෙ තැම්බුනේ නෑලු. දැන් ඉතින් මං පැටියා හොඳ වෙලානෙ.
ඔහොම ඉද්දි තාත්තා වැඩ කරන තැන යාලුවොන්ට දවල් කෑමක් දෙන්න හරි බරි ගැහුනලු දෙන්නත් එක්ක.
මටත් ඉතින් ඒ වගේ දවසක් කියන්නෙ ආතල් ලෝකයක්. මං තමයි එදාට චරිතෙ. හම්මේ ඉතින් මූනෙ කෙල එකයි ඉඹලම එදාට. පිරිමි සෙට් එක ඉතින් ඔන්න මිදුලෙ සෙට් වෙලා පොඩි වට මේස සාකච්ඡාවකට. ගෑනු සෙට් එකත් ඒ හරියෙම කැරකි කැරකි හිනා වෙනවා, රඟපානවා මල සමයං බේසමෙං එකයි.
මට ඉතින් ඕවා අදාල නෑ. මං මගේ පාඩුවෙ මනෝ පාරක් එහෙම ගහන් ඒ ලඟම මිදුලේ ඉඳගෙන වැලි ගොව්වෙක් වගේ වැලි නානවලු. වෙනදා කොහෙද ඔහොම නිදහසක්. පොඩ්ඩ ඇත්තන් ඇවිත් දර කොටයක් වගේ කුදලන් යනව ගේ අස්සට.
මං පැටියා ඉතින් බිං කුංඩෙක් වගේ වැලි ගොඩක් ගොඩ ගහගෙන ඉරටු කෑල්ලක් ඒකෙ ගහලා හිට්ටවන්න හදනවලු.
හිටවන්න හිටවන්න ඒ මඟුල වැලි ගොඩේ හිටින්නෙ නෑලු පෙරලෙනවලු.
ඔන්න ඔය වෙලාවෙ තමයි රතු කට්ට මොලෙත් එක්කම හාරගෙන එලියට පනින්න පටන් ගත්තෙ. කන අස්සෙන් ගිය වචන කටින් එලියට එන්න වැඩි වෙලාවක් ගිහින් නෑ. ඒ තරමට ආවේස වෙලා ගෑනිට..
” මේ හු$& හැම වෙලේම වැටෙනවා “
හිතට ගත්ත පත වීරියෙන් මහ හයියෙන් එහෙම කියද්දිම,
අම්මගේ අත් දෙකම ඔලුවට ගියා
තාත්තව බිම ඉන්දවුනා
රැස්ව සිටි පින් වතුන් හොල්මන් උනා.
කටවල් ඇරුනා.. ඇස් ලොකු උනා..
ගස් කැරකුනා..
කාක්කෙක් විතරක් කෑ ගැහුවා..
අම්මා මාව උස්සගෙන ගේ ඇතුලට දිව්වා දිව්වමයි පැයක් විතර යනකන් එලියටනම් ආවෙ නෑ කියලා තාත්තා මට පස්සෙ කාලෙක කිව්වා.
මං මොනා කරන්නද? ඉරටු කෑල්ලක් උනත් දැනගන්න එපැයි හත්තිලව්වේ මාව තරහ අවුස්සන්නැතුව ඉන්න..
  උපුටා ගැනීම: ✍🏼  Madushika Sugandini

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!