පුන්යදාස ඉපදුනේ සොරිලන්තේ. ඒක අර්ධ ශතකේ පැනපු කාලයක් තිස්සේ විවිධාකාර රජවරුන් සහ බිසෝවරු අතින් සංවර්ධනය වෙලා වෙලා, සංවර්ධන නිර්නායක වෙනස් වීම හේතුවෙන් සංවර්ධිත කඩඉම පහුකරන්න බැරි උනත් සුපිරි ජන බලකායක් ඉන්න අසිරිමත් රටක්.
පුංචි පුන්යදාසගේ උපත් බර සාමාන්ය නිරෝගී දරුවෙකුට වඩා ග්රෑම් ගාණක් අඩුයි. එහෙම අයට ඒ රටේ දෙනවා තුන්පෝෂ කියලා අතිරේඛ ආහාරයක්. පැකට් දෙකක් පුන්යදාස වගේ එක්කෙනෙකුට නිර්දේශ උනාට ඔය පැකට් හරි සීමිත හන්දා හම්බුනේ එකයි. තුන්පෝෂ නෝනා සමිති සාලාවට ඇවිත් පුන්යදාසගේ බර කිරලා අම්මගේ අතට එක පැකට්ටුවක් දීලා නිකුත් කිරීමේ තුන්ඩුවේ දෙකේ ඉලක්කම ලියනවා. අකුරු නොදන්න පුන්යදාසගේ අම්මා “නෝනා එකද හම්බෙන්නේ” කියලා අහපුවාම තුන්පෝෂ නෝනා “ඔව් බං, බාන්ඩාගාරෙන් ටිකයි නිකුත් කොරලා තියෙන්නේ, මූ පොඩ්ඩනේ බර අඩු,ටිකක් කාපුවම ඇති” කියලා කියනවා. එහෙම හැමෝටම එක ගානේ බෙදලා ඉතුරු පැකට් හය හතක් තුන්පෝෂ නෝනා ඉටි කවරෙක දාගෙන ගෙදර අරන් යනවා. පුන්යදාසට ටික කලක් යද්දී මන්දපෝෂනේ හැදුනම අම්මා රට වටේ දුව දුව දහදුක් වින්දා කොල්ලව සනීප කරගන්න.
පුන්යදාස ඉස්කෝල් යන්න පටන්ගත්තට පස්සේ ඉස්කෝලෙන් එකතු කරනවා “සැප ගාස්තුව” කියලා එකක්. කුලී වැඩකරන පුන්යදාසගේ තාත්තගේ දවස් හය හතක කුලියට සමාන වෙච්ච ඔය ගාන හොයාගන්න සැපට දුකට නිතරම ළඟ ඉන්න අල්ලපු වත්තේ සයිමන්ගේ වත්තේ කෙලවරේ තියෙන රතඹලා කැනටත් මහ රෑක වගකියන්න පුන්යදාසගේ තාත්තට සිද්ද උනා. “කොල්ලගේ ඉස්කෝලේ ගමනටනේ,චුට්ටි හොරකමක් කරාට කමක් නෑ” පුන්යදාසගේ අම්මට තාත්තා එහෙම කිව්වා. ගෝන අඟකින් හදපු පුන්යදාසගේ තාත්ත කොයි වෙලෙත් ඉනේ ගහං යන පිහිය කෙසෙල් පඳුර ළඟ වැටිලා තිබිලා සයිමන්ට පහුවදා හම්බ වෙලා තිබුනා. “මෙන්න මේකත් උඹලැයි මහ එකාට දීපන්” කියලා සයිමන් ඒක පුන්යදාසගේ අම්මට ගෙදරටම ඇවිත් දීල ගිහිං තිබුනා.
සැප ගාස්තු ගත්තට ඉස්කෝලේ වැසිකිළි වලවල් උතුරලා නිසා දෙමව්පියෝ ලොකු ඉස්කෝලේ මහත්තයට පැමිණිලි කලාම එතුමා කිව්වේ “හරි බං, ඔව්වට ලියුං ගහල පෝරම යවල තියෙන්නේ. අනුමත වෙලා සල්ලි පාස් වෙන්ඩත් එපැයි, උඹලගේ සැප ගාස්තුවෙන් ඔක්කොම කොරන්ඩ බෑ, ඕක ඔන්න ඔහේ චුට්ටක් උතුරව්වට කමක් නෑ, පාඩුවේ රී#ල්ලා” කියලා. ළමයි එකා දෙන්නා ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ නවත්තන්න ගන්නකොට යාන්තං ගලි බව්සරයක් ඇවිත් වැසිකිළි වලවල් ටික හිස් කලා.
පුන්යදාස තරුණ වයසට ආවට පස්සේ මලීට ආදරය කරන්න පටන් ගත්තා. මලීගේ ගෙදර කවුරුත් නැති මහ දවාලේ කාටත් හොරෙන් ගෙට රිංගන පුන්යදාස මලීත් එක්ක අනග රැඟුම් රඟන්න පටන් ගත්තා. ඔහොම ගියපු එක දවසක රාගයේ උපරිමයේ සීමාව තීරණය කරගන්න බැරිවුනු පුන්යදාසයි මලීයි නොදැනුවත්වම තම තමන්ගේ ලෝකයේ අනන්තයටම ගමන් කරලා තිබුනා. “අද නම් වැඩේ වැරදුනා වගේ නේද රත්තරනේ, මොකක් හරි කරන්න වෙයි” කියලා මලී කිව්වම “චුට්ටක් එහෙ මෙහෙ උනාට ලොකු අවුලක් නෑ. බය නැතුව ඉඳිං” කියලා පුන්යදාස කිව්වා. අන්තිමට මගුලක්වත් නැතුව පුන්යදාසට මලීව කසාද බැඳගන්න සිද්ධ උනේ බඩේ දරුවෙක් දරාගෙන මගුලක් කන්න බැරි තත්වෙට මලී පත් වෙලා හිටපු නිසයි.
පුන්යදාස වැඩ කරලා හැමදාම හවසට ගෙදරට ගෙනත් දාන බඩු මල්ලෙන් තමන්ගේ මනුස්සයට රහට කෑම ටික හදලා දෙන්න මලී ට පුළුවන් උනා. දවල්ට කාල රූපවාහිනිය බලමින් ඉන්න ගමන් පුන්යදාසයි මලියි දකිනවා “ප්රමිති නෝන” ගේ වැඩසටහනක් විකාශය වෙනවා.
“ඇත්තටම මේ කෑම වල වස විස අඩංගු නැද්ද” නිවේදකයා අහනවා.
“අඩංගු වෙලා තියෙන එව්වත් තියෙනවා” ප්රමිති නෝනා කියනවා.
“ඇයි එහෙනම් එව්වා එලි නොකරන්නේ”
“එහෙම උනොත් එයාලා කඩා වැටෙනවනේ”
“එතකොට මිනිස්සු වස කෑවට කමක් නැද්ද”
“ගොඩක් නෙවෙයිනේ, චුට්ටක් කෑවට කමක් නෑ. ටික කාලෙකටනේ”
******
මාසෙකට විතර පස්සේ නතර වෙන්නේ නැතුව වමනේ යන නිසා පුන්යදාස ඉස්පිරිතාලෙ නතර කරනවා. වැඩිදුර කරපු පරීක්ෂණ වලින් ටික ටික කාල එකතු උන විස වලින් පුන්යදාසගේ ඇඟේ ඔඩු දුවපු පිලිකාවක් තියෙනවා කියලා හොයාගන්නවා. පුන්යදාස එක පාරම හොක් ගාල මැරිලා යන්නේ නෑ. චුට්ට චුට්ට විඳවලා, විඳවලා ඇඳටම දියවෙලා ගිය සරීර කූඩුවත් එක්ක අවසන් හුස්ම හෙලනවා.
පොඩ්ඩයි පොඩ්ඩයි කියලා හිතපු, චුට්ටක් නිසා අවුලක් නෑ කියලා හිතපු සහ අපිට එහෙම හිතන්න පුරුදු කරපු උදවිය නිසා අපිටත් දවසක ජීවිතේ නානාප්රකාර ප්රශ්ණ වලට මූණ දෙන්න සිද්ධ වෙයි. සමහර විට පුන්යදාස වගේ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ එකපාරම නැතුව චුට්ට චුට්ට විඳවලා පරම ආයුෂ අහලකටවත් එන්නේ නැතුව මැරිලා යන්න සිද්ධ වෙයි. ඒ අවසාන මෙහොත ලං වෙනකොට අනේ තව චුට්ටක් හරි ජීවත් වෙන්න තියෙනවනම් කියලා අපිටත් හිතෙයි. මිනිස්සු ලක්ෂ ගාණකගේ ජීවිත අනතුරේ දාලා තමනුත්, තමන්ගේ පවුලත් විතරක් ගොඩ දාගන්න හදන ප්රමිති නෝනලා වගේ අය වගකිව යුතු තැන් වල ඉන්නකන් සොරිලන්තෙට සොරිම තමයි.
උපුටා ගැනීම: Sherlock Holms