වරක් චුට්ටේ ස්ක්රිප්ට් එකෙන් පිට පැන්නේය.
ඒ චුට්ටේ දේව දරුවා වී සිටි කාලයයි.
කොලඹ නාවල පැත්තේ සිටි පවුලක් අපේ ගමේ
නෑදැගමනක් ඇවිත් තිබුනේය.
චුට්ටේගෙන් සාස්තරයක් අසා තිබුනේ නිකමට මෙනි.
එම පවුලේ සුන්දර දියණියක් සිටි නිසා ඇයට මාරක අපලයක් ඇතැයි. ගෙදර තොවිලයක් කලහැකිනම් වඩාත් සුදුසු යැයි චුට්ටේ පවසා ඇත.
තවදුරටත් චුට්ටේ පවසා ඇත්තේ තමාට එවැන්නක් කිරීම සුලු කාර්යක් බවත් දුර නිසා පැමිණිය නොහැකි බවත් ය.
කොලඹ ගිය එම පවුල ටික දවසකින් දන්වා සිටියේ තොවිලයක් කිරීමට සියල්ල සුදානම් කර ඇති බවත් චුට්ටේත් අනෙක් පිරිසත් අවශ්ය අඩුම කුඩුමත් රැගෙන යාමට ගමටම රථයක් එවන බවය.
ඉතා ධනවත් එම පවුල දුව වෙනුවෙන් ඕනෑම දෙයක් ,ඕනෑම මුදලක් කැපකරන බව තවදුරටත් දන්වා සිටියේ ය.
චුට්ටේ විස්තර ය මට කී සැනින් මම එළොව පොල් පෙනුනි.
” ගොං මී වස්සෝ තොට මම කිව්වා නේද මේක පටන් ගද්දීම තොවිල් මගුල් නටන්න ලෑස්ති කරගන්න එපා කියල”
“මම දන්නවානේ තොට කවියක් වත් කටපාඩම් කරගන්න බැරි එකා කොහොමද යකෝ දැන් පත්තිනි හෑල්ල කියන්නේ” මම කේන්තියෙන් චුට්ටේට බැණ වැදුනෙමි.
“හරි හරි බං ඔය මොනා හරි කියන්න බැරිය” චුට්ටේ ශේප් විය.
” තොට පිස්සුද? යකෝ ගම් වල උන්ට වඩා කොලඹ උන් ඕවා ගැන හොයනවා”
තොවිලයක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.
පුරාලෙට යන්න ඕනා.
පෙරේත තටු දෙන්න ඕනා කවි කියන්න, ඕනා නටන්න ඕනා ,
අඩුම තරමේ පෙරේත තටුවට ගොක් අත්ත තියන්න අපි දන්නවාද?
මගේ ඔලුව විකාර විය.
” තොට පොත්ත සුදු මොකියෙක් හරි දැක්ක ගමන් ස්ක්රිප්ට් එක අමතක වුනා නේ” දැං මොකෝ කරන්නේ.
මම දහ අතේ කල්පනා කලෙමි. වැඩේ දැන් නොකර ඉන්නත් බැරිය. නෝන්ඩි වෙන්නත් බැරිය. ඕන මගුලක් වෙච්චාවේ කියා වැඩේ ට ඕකේ වෙන්න යැයි මම කීවෙමි.
සති දෙකකින් එන මාස පෝයට තොවිලය සූදානම් කරන ලෙසට චුට්ටේට පවසන ලෙස උපදෙස් දී ගෙදර ගියෙමි.
මම දුවගෙන ගියේ අපේ සීයා ලගටය. සීයා කලා කාරයාය.
( 2020 දෙසැම්බර් 07 අවසන් සුසුම් හෙලන තෙක් මා දුටු සුන්දරම ප්රීතිමත්ම මිනිසුන් අතරින් සීයා අංක 02 කය. )
චුට්ටේගේ දේව කථාව සීයා ලග වමාරන්නට මට සිදුවිය. කිසි විටෙකත් කේන්ති නොගන්නා සීයා කිව්වේ සියල්ල තමා බලාගන්නා බවය.
චුට්ටේ ට කවි කිහිපයක් ඉගැන්විය යුතු බවත් පෙරේත තටුව සෑදීම ,පහන් පැල් බැදීම සියල්ල තමා විසින් කරදෙන බවත් සීයා පොරොන්දු විය.
මගේ හිතට යම් සහනයක් දැනුනි.
චුට්ටේට කවි පාඩම් කරවීම නම් මම අපා දුකක් වින්දෙමි.
“ගෙයි මැද සාලේ හිස පීරූවද
වහලේ මුදුනට උල්ලෙක් හැඩුවද”…..
……
“බල්ලෝ”… “උලලෙක් නෙවෙයි උලමෙක්… “ඕක කියාපිය බය හිතෙන තාලෙට”.
මම චුට්ටේට කවි පාඩම් කරෙව්වෙමි.
නතුවල චූටි අයියාට කතාකර නැටුම් කරුවෙක් හා බෙර කරුවන් දෙදෙනෙක් හා නැටුම් කරුවෙක් ඉල්ලා ගත්තේ රුපියල් අට දාහකට හා අරක්කු බෝතල් දෙකක් දෙන පොරොන්දුවටය.
චූටි අයියා වෙස් නැට්ටුවෙකි, විකටයෙකි. වැඩේ ගොඩදා දෙනවා ශුවර් ය.
පත්තිනි නැටුම චුට්ටේට පුරුදු කල යුතුය.
“මටනම් බෑ ගෑනු ඇදුම් අදින්න”…. චුට්ටේ මුරන්ඩු විය.
“යකෝ තෝ තමා මේක කරන්නේ. නැතිව මම අදින්නද. ?
මම උඹේ ගෝලයා වගේ ලගටම වෙලා ඉන්නම්.
උඹ නටපං”…
සරණයි සරණයී… බුඳං .. ගේ සරණයි ……
චුට්ටේ තාලයට කවි කියමින් නැටුම් නැටුවේය.
මගේ හිතට සහනයක් දැනුනි.
අනතුරුව අපි රාජපුර කපු මහත්තයා පිදේනියක් දෙනතුරු නොයිවසිල්ලෙන් බලාසිටියෙමු.
ප්රේත තටුව අදීක්ෂ්ණය කල අපි දෙදෙනා එහි තිබූ සියලු දෑ ලියාගතිමු.
ගොඩ මස්, දිය මස් ,අරක්කු, කංසා ,මෝදකය, කොට්ට පැදුරුපවා එහි විය.
ලිස්ට් එක කොළඹට යැවීය.
මම හොද්දාත් වැඩයට හවුල් කර ගතිමු.
පුරාලෙට ගිය පසු කාලි මෑණී වරම ගත යුතුය. ඒ උදෑසන 3 ට පමණය.
“මෙහෙමයි වැඩේ “උඹ උදේ 4 ට වරම ගනිං
මමයි හොද්දෙයි පන්දම් ගන්නම්
“කොහොමත් උදේ හතර කියන්නේ මිනිස්සු තක්කු මුක්කු වෙලා ඉන්න වෙලාව….
“මූ කලුවරේ කඩුවක් අරන් එහෙටෙ මෙහෙට දුවනවා උඹ පන්දම අරං දුවාපං
මම දුම් කබලයි දෙහියි අරං පස්සෙන් එන්නම්'”. මම කිව්වෙමි
“හැබැයි පුතෝ කඩුවට කපාගන්න එපා….”
“…..නෑ නෑ ලබු කපන්න ඕනා නෑ බඩ උඩ තියල ලබු කපන්න බෑ එක පාර”…..
“හැබැයි තෝ දුවන කොට පන්දම යටට හරවං දුවාපං නැත්නම් උබේ හොක්ක තලනවා….”
“….ඒ. මොකෝ..”
“යකෝ…. පන්දම යටට හරවන් තමා හැම එකාම දුවන්නේ නැත්නම් පාර පේන්නේ කොහොමද?.
පැටලිලා වැටෙනවානේ….”
“…..කීර ගහනකොට උබ ඉස්සරහට ගහපං එතකොට මිනිස්සු බය වෙනවා..
“…… මමයි හොද්දා යි දෙපැත්තට එකම වෙලාවට කීර ගහන්නම් ….”
“…..දුම්මල අහුරක් ගත්තා ට එක පාර ඉවර කරගන්න එපා. …..”
“…..කීර වදිනකොටම උඹ එතනින් වෙන තැනකට මාරු
වෙයන් බලං උන්න එවුන්ට පේන්නේ උඹ අතුරුදන් වෙනවා වගේ. “
“….. නෑ නෑ බූමිතෙල් කටේ තියන්න ඕනා නෑ ඔය ටික හොදටම ඇති..”.
සති දෙකක පුහුණුවෙන් පසු චුට්ටේත් ,මමත් ,හොද්දා ත් ,සීයාත් නැටුම් කරුවාත් බෙර කාරයෝ දෙන්නාත් කුකුලෙකුත් නවීන පන්නයේ රථයකින් ගාලු පාරෙන් කොලඹ ගියෙමු.
වැඩේ තිතට කලෙමු. සීයාට පිංසිදු වන්නට ය…
චුට්ටේ ලස්සනට කවි කියා නැටුවේය.
( පසු කලෙක රුසියාවේ යුනිවර්සිටි එකකද චුට්ටේ ඒ කවි කියමින් නැටීය.)
අවසානයේ සීයා සෙත්කවි හතරක් කියා ගෙදරට ආරක්ශාවක් දැමීය.
ලැබුනු මුදල රුපියල් හැත්තෑ දහසකි.
ගෙදර මිනිසුන් සතියකට පසු පැමිණ දේව දරුවාට බොහෝ තෑගි
හා ගරුබුහුමන් දක්වා තවත් මුදල් ප්රදානයක් ද කලෝය.
උපුටා ගැනීම: Ariyarathna Rohan