“ස්ටීවන් කෝපි කෝප්පයක් වත් බොමුද?” දින ගණනාවක් තිස්සේ පිළියෙළ කරන ආරක්ෂක වාර්තාවක් නිසා හෙම්බත් වූ ඇලන් තම සගයාගෙන් ඇසීය.
“ඕකේ…. ෆ්ලැට් වයිට් ෆෝ මී ප්ලීස්……..”
“අද හවස් වෙනකොට මේ රිපෝර්ට් එක කොහොම හරි ඕනේ කියලා මේජර් කිව්වා, තව ගොඩක් තියනවා කොහොම ඉවර කරන්නද මන්දා……”
මෙසේ කියමින් ඇලන් නැගී සිටියේ තමාටත් තම මිතුරාටත් කෝපි කෝප්ප දෙකක් රැගෙන ඒමටය.
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වන පෙන්ටගනයේ රැකියාවට අනුයුක්තව ඇලන් මේ ගත කරන්නේ සිය දෙවන සතියයි. “මේක මහ බෝරිං වැඩක්” පෙන්ටගනයේ සේවයට ආ දවසේ සිට ඔහුට සිතෙන්නේ එහෙමය.
වසරකට පමණ පෙර ඇෆ්ඝන් මෙහෙයුමක් අතරදී තම කලවයට වැදුණු උණ්ඩයක් නිසා ක්‍රියාන්විත රාජකාරි වලින් ඉවත් වීමට ඔහුට සිදුවිය. ප්‍රතිකාර වලින් සුවය ලැබූ ඔහු දැන් පෙන්ටගනයේ ආරක්ෂක කටයුතු බාර මේජර් වරයෙක් යටතේ සේවය කරයි.
කෝපි යන්ත්‍රයේ අදාල බොත්තම් කිහිපය තද කිරීමෙන් තම මිතුරාට අවශ්‍ය කෝපි වර්ගය මුලින් ලබාගත් ඇලන් දුටුවේ කුඩා LCD තිරය මත නිවෙමින් දැල්වෙමින් දිස්වන “Error-Please Refill” සංඤාවයි.
“ශීට්!” ඇලන් එසේ කීවේ තමන්ට මඳක් එහා සිටි තවත් නිලධාරියෙකුට ද ඇසෙන පරිදි තරමක් ශබ්දයෙනි.
“අහ්, මිල්ක් හරි කොෆී හරි ඉවරවෙලා වගේ….ඔය උඩ කබඩ් එකේ තියනවා කොෆී” නුපුරුදු මුහුණ දැකීමෙන් ඔහු නවකයෙක් බව දැනගත් එම නිලධාරියා උදව්වට පැමිණෙමින් කියා සිටියේය.
“පෙන්ටගන් වගේ තැනකට මේ වගේ පොඩි කෝපි මැෂින් හරියන්නේ නෑ……දැන් බලන්න. මේක දවසට දෙපාරක් වත් රීෆිල් කරන්න ඕනේ….. මේක කොච්චර ඇඩ්වාන්ස් එකක් උනත් දාන්න පුළුවන් කෝපි පැකට් හතරයි, කිරි ලීටර් හතරයි.පැකට් නොකඩා දාන්න පුළුවන් මේවගේ ඒවා තියෙන්නේ බොහොම සීමිත තැන් කීපෙක විතරයි, සෙකියුරිටි රීසන්ස් වෙන්න ඇති. පැකට් එක ඇතුලට ගියාම මැෂින් එකෙන්ම ඒක ඇරිලා තමයි කෝපි එලියට එන්නේ….. අනේ මන්දා පිස්සු වැඩ” ඔහු එසේ කීවේ කෝපි යන්ත්‍රය විවුර්ථ කරමිනි.
“අනික ඔයා දන්නවද? මේ මැෂින් එකේ තියනවා පොඩි ප්‍රශ්නයක්, අන්තිම කෝපි පැකට් එක විතරක් තියෙද්දී මේක වැඩ කරන්නේ නැහැ. අලුත් පැකට් එකක් දැම්ම ගමන් වැඩ කරනවා……
කොම්පැනි එකෙන් ඇහුවම කියන්නේ ප්‍රොඩක්ෂන් ඉෂූ එකක් ලු. නෙක්ස්ට් ඉයර් ඔක්කොම මැෂින් රීප්ලේස් කරනවලු….. මුළු පෙන්ටගනය පුරාම මේවා හාර පන්සීයක්වත් ඇති, දන්න තරමට ඔක්කොම ඔයවගේ….” ඔහු කියාගෙන ගියේ සිනාසෙමිනි.
ඔහු විසින් නැවත ඇතුල්කරන ලද කෝපි පැකට් කිහිපයෙන් පසු යන්ත්‍රය නැවත යථා තත්වයට පත්වී තිබිනි. ඔහුට ඉස්තුති කල ඇලන් තම කාමරය වෙත පිය නැගීය. ඔහු කාමරයට යනවිට ස්ටීවන් සිටියේ තරමක කලබලයෙනි.
“ඒයි, උඹ දැක්කද මේක. මේ දැන් ආවේ……. හයි රිස්ක් ඇලර්ට් එකක්. ටෙරරිස්ට් ඇටෑක් රිස්ක් එකක් තියනවලු පෙන්ටගන් එකට. හැබැයි කවදද කොහොමද කියලා තවම දන්නේ නැහැලු” ස්ටීවන් එසේ පැවසූවේ තම පරිඝනක තිරය ඇලන් දෙසට හරවමිනි.
2001 වසරේ සැප්තැම්බර් පළවෙනිදා පෙන්ටගනයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු එවැනි ප්‍රහාරයක් පිලිබඳ කතාවක් වත් ඇහෙන පළමු වතාව මෙයයි. ප්‍රහාරයෙන් පසුව බුද්ධි අංශ සීරුවෙන් තබන ලද අතර ආරක්ෂක පියවරද දහ දොලොස් ගුණයකින් වැඩි කෙරිණි. එවන් පසුබිමක මෙවැනි අනතුරු ඇඟවීමක් නොසලකා හැරිය නොහැක. බුද්ධි අංශ අනුව ප්රහාරයක තොරතුරු හෙළි උවත් එය කවදා කෙසේ සිදුවේද යන්න තවම හෙළිවී නැත. හවස් වන තුරු අනතුරු ඇඟවීමෙහි තත්වය පහල නොදැමුණු අතර පෙන්ටගනය ඇතුළුව සියලු ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන වල ආරක්ෂක විධි විධාන තියුණු කෙරිණි.
“මොන මඟුලක් උනත් මම අද මේක කීයට හරි ඉවරකරලා තමයි ගෙදර යන්නේ……” තම මිතුරා සිය වැඩ මුරය අහවර කොට නිවස බල යාමට සැරසෙනු දුටු ඇලන් කීවේය.
“ඕකේ දෙන්, සී යූ ටුමොරෝ…….”
“සී යූ ස්ටීවන්, සී යූ ටුමොරෝ……. “
පෙන්ටගනයෙහි බොහෝ අංශ දවසේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක වෙයි. ඇමරිකා එක්සත් ජනපධ භුමිය තුලින් පමණක් නොව ලොව නන් දෙසින් ගලා එන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමත් අවශ්‍ය කඩිනම් පියවර ගැනීමත් මෙහිදී සිදුවේ. ආපන ශාලාවෙන් ගත් සැන්විචයකින් සප්පායම් වූ ඇලන්ට රාත්‍රී දහය පසුවන විට තද තෙහෙට්ටුවකුත් නිදිමත ගතියකුත් දැනිණි. තව පැයක් තුල තම වාර්තාව නිමකළ හැකි බැව් ඔහුට පෙනිණි.
“කෝපි එකක් බීලම මේක ඉවරකරනවා” යයි සිතමින් යන්ත්‍රය දෙසට ගිය ඔහුට දක්නට ලැබුනේ එය නැවතත් අක්‍රිය වී ඇති බවකි. කවරෙක් හෝ තැබූ උසැති කඩදාසි කෝප්පය තවමත් එහි ඇති අයුරු ඔහුට පෙනිණි. යන්ත්‍රය විවෘත කල ඔහුට දක්නට ලැබුනේ කෝපි නොමැති වීමෙන් යන්ත්‍රය අක්‍රීය වී ඇති බවකි. ඉහලින් ඇති ලී කැබිනෙට්ටුව විවෘත කල ඔහු කෝපි කුඩු පැකට් තුනක් පිටතට ගත්තේ උදය වරුවේ ඔහුට ලැබුන උපදෙස් සිහිපත් කරමිනි.
“මේකේ පැකට් හතරක් දාන්න පුළුවන් උනාට අන්තිම එක විතරක් තියෙද්දී වැඩ කරන්නේ නැහැ” ඔහුට එම වදන් යලි සිහිපත් විය.
බලමු මේක වැඩකරන්නේ කොහොමද කියලා යනුවෙන් තමන්ටම කියාගත් ඔහු අදාල ස්ථාන වල කෝපි පැකට් තුන අසුරා පැති දොරටුව නොවසාම යන්ත්‍රය ක්‍රියා කරවීය. ඔහු පුදුමයට පත් කරමින් ඉදිරියෙන්ම තිබුණු පැකට්ටුව විවෘත නොවී එය පැකට් පෙලේ අන්තයට ගමන් කරන බව දක්නට ලැබිණි. ඔහුට මෙය මහත් කුහුලකි, නැවතත් අනිත් පැකට්ටු ඉවත් කර අදාල පැකට්ටුව මුලින් සිටිනසේ තබා යන්ත්‍රය ක්‍රියා කලද පෙරසේම එය පෙලේ අන්තයට යනබව ඔහුට දක්නට ලැබිණි. ලාංජන, අකුරු සලකුණු හා වර්ණ අනුව පිටතින් කිසිදු වෙනසක් නොපෙනුණු එම පැකැට්ටුව බරින් අනික් පැකට්ටු වලට වඩා වැඩි බව හා එහි වූ කෝපි තදවී ගල් වී ඇති බව වඩා හොඳින් පරීක්ෂාකළ ඔහුට දක්නට ලැබිණි.
“හො හෝ….. මේකයි මේ එක පැකට් එකේ ලෙඩේ…..” යයි තමන්ටම කියාගත් ඇලන් ගල් වුනු කෝපි පැකට්ටුව අසලවූ කුණු කූඩයට දමා කෝපි කොප්පයකුත් රැගෙන තම කාමරයට ඇතුළුවිය. දියුණු තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇති කෝපි යන්ත්‍රයට, ගල්වූ හා සුළු වශයෙන් බරින් වැඩි පැකට්ටුව අදාල ස්ථානයට පැමිණි විට එය දෝෂයක් ලෙස හඳුනා ගැනීමට හැකිවූ බව දැන් ඔහුට විශ්වාසය.
කෝපි කෝප්පය තොලගාමින් තම වාර්තාව නිමකරණවිට මධ්‍යම රාත්‍රිය පසුවී තිබිණි. එය තම උසස් නිලධාරියාට විද්‍යුත් තැපෑලෙන් යැවූ ඔහු ඊළඟ දිනයේ උදය වරුවේ තමන් නිවාඩුවක් ගන්නා බවට පසු සටහනක් තැබීමටද අමතක නොකළේය.
පසුදින හරියටම එකොළහේ කණිසමට පෙන්ටගනය පුරා එකවර පිපිරීම් වැලක් සිදුවූ අතර පොළොවෙන් ඉහල මහල් පහ සහ පොළොවෙන් පහල මහල් දෙකම එයට ගොදුරුවිය. තැන් සිය ගණනක එකවර සිදුවූ මෙම පිපිරීම් හා ඉන්පසුව ඇතිවූ ගින්න නිසා සිදුවූ හානිය අති විශාලය.
පෙන්ටගනය පුරා විවිධ තැන් වල විසිදහසක් පමණ වන එහි සේවකයන්ට භාවිතයට ස්ථානගත කර තිබූ කෝපි යන්ත්‍ර පන්සීයයකට අධික ගණනක් මෙසේ පුපුරා ගොස් තිබිණි. ඒවා සියල්ලම තුල කිලෝග්‍රෑමයක් පමණ වන බෝම්බය කෝපි පැකට්ටුවක් තුල සියුම්ව අටවා තිබුණු බව කියැවුනු අතර, දුරස්ථ පාලකයක් මගින් ඒවා සියල්ල එකවර පුපුරවා හැර තිබිණි. යන්ත්‍ර සවිකළ පළමු දිනයේ සිටම කිසිවෙකුගේ අවධානයට ලක් නොවී අදාල කෝපි පැකැට්ටු පෙන්ටගනය පුරා ඇති සියලු කෝපි යන්ත්‍ර තුල ස්ථානගතව තිබූ බැව් පසුව පැහැදිලි විය.
ඇලන්ගේ කාමරය අසල වූ පුපුරා නොගිය එකම කෝපි යන්ත්‍රයෙන් හා ඔහුගේ ශාක්ෂි වලින් ප්‍රහාරකයන් හඳුනා ගත්තද ඔවුන් අත් අඩංගුවට ගත නොහැකි වුයේ ඒ වනවිටත් ඔවුන් එක්සත් ජනපධ භූමියෙන් පළාගොස් සිටි බැවිනි.
උපුටා ගැනීම: Indika Herath