කෝක්ටේල් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මීට කාලෙකට උඩදි මගේ යාලුවො ටිකක් උපන් දින තෑග්ගක් විදියට මට දුන්න කුසුමලතා කියල පොතක්.ඒ පොතේ පෙරවදනට කතුවරිය කියනව එයාගෙ මහත්තයා අකමැතියි ලු එයා ඕප දූප කියවනවට. ඉතින් මහත්තයා අකමැති දේවල් කරන්න හොද නැති නිසා එයා කරන්නෙ ඕපදූප ටික ලියන එක.ඒ ලියපු ඕපදූප තමා ඒ පොතේ තියෙන්නෙ.හරිම රසවත් මට නම් ඒක, ඇයි ඉතින් ඕප දූපනෙ තියෙන්නෙ රසවත් නොව්නොත්නෙ පුදුමෙ.
මට තියෙන්නෙ ඊට වඩා වෙනස් ප්රශ්නයක්.ඕපදූප කොහොම වෙතත් යාලුවො එක්ක එකතුවෙලා මොනවහරි කකා බිබි පරණ සිද්දි කතා කරන එක තමා මටයි මගෙ යාලුවන්ටයි තිබුන එකම විනෝදෙ.
මේ කොරෝනා ඇවිල්ල අවුරුද්දක්ම අපිට ඒ අවස්ථාව නැති කලා. ඉතින් මේ ලගදි මගෙ යාලුවෙක් කතා කලා දුරකතනයෙන්, මං ලියපු පෝස්ට් එකක් කියවලා පරණ මතක ඇවිස්සිලා.මගෙන් ඉල්ලීමක් කලා තවත් ලියන්න කියල. ඉතින් වෙනද වගේ කතා කරන්න බැරි නිසා මං හිතුව කොරෝනා ඉවරවෙනකන් කතා කරන්න බැරි ඕපදූප ලියන්න ඕනෙ කියලා. ඔන්න මුලින්ම කිව්වා මේකෙ වැදගත් මුකුත් නෑ ටිකක් පරණ ඕපයක් විතරයි . කියවල ඉවර වෙලා බනියි කියල මුලින්ම කිව්ව.
මේ සිද්ධිය වෙන්නෙ මීට අවුරුදු දහයකට විතර උඩදි,මමයි හබීයි ගියා එක්තරා ආයතනයකට , අපි ගිය කාර්යට උදව් දෙන්න එතන සේවය කරන මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් හිටියා.මගෙ යාලුව ගෑනු ළමයෙක්,මේ උදව් කරන එයාගෙ යාලුව පිරිමි ළමයෙක්.ඉතින් ඒ යාලුව මගේ හබී එක්ක හොදට ෆිට් උනා.ඒ දෙන්න කලින් මුණ ගැහිල තිබුනෙ නෑ.මම නම් මගෙ යාලුව නිසා එයාව දන්නවා.ඉතින් මේ දෙන්න යාලුවො උනාට පස්සෙ පටන් ගත්ත සුපුරුදු විදියට ගෑනු අපිව නෝන්ඩි කිරීමේ මහා කාර්ය. ඕකනෙ ඉතින් පිරිමින්ට තියෙන එකම විනෝදෙ, මමත් ඉතින් ඒවට උත්තර දෙමින් තනිව සටන් කරමින් ඉන්න කොට අර යාලුව එක පාරටම කිව්ව.අම්මො ඉස්සර මේගොල්ලො මික්ස් කරල බොන හැටි…. කියල කතාව ඉවර කරන්න කලින් එයාගෙ දුරකතනය නාද උනා.එයාට හදිසි කාර්යක් සදහා යන්න උනා.ඒ මික්ස් කරල බීපු සිද්ධිය මතක් වෙලා මට හිනාගියත් ඒක අහලා මගෙ දිහා බලන් හිටපු හබීගෙ මූණ නම් …..ඊටත් හපන් අපිට ටිකක් එහාට වෙන්න වැදගත් විදිහට කතාබහක හිටිය ඇන්ටිලා දෙන්නෙක් මගෙ දිහා බලන් හිටිය විදිහ, ඒ ඇන්ටිලගෙ කන් දෙක ඒ වයසෙදිත් හරිම නිරෝගිමත් කියල මට තේරුණා ඒ බැල්මෙන්ම. හබී ඉක්මනට මාවත් ඇදං එලියට ආව. ඉතින් මං එයාට පැහැදිලි කරපු කතාව තමා මේ කියන්නෙ.
**************************************************************
ඒ කාලෙ ඒ කියන්නෙ ඉහත සිද්දිය වෙන්නත් අවුරුදු තුනකට විතර කලින්, මමයි මගෙ යාලුවො තුන් දෙනයි , හවස ලෙක්චර්ස් ඉවර වෙලා දුම්රිය පොල කිට්ටුව තියන කැෆේ එකකට එනව මොනව හරි බොන්න. යාලුවන්ගෙ නම් කියන්න බැරි නිසා දාල තිබුන කාඩ් වත් කියන්නම්කො එක්කෙනෙක් පූසා (මේක දැක්කට පස්සෙ මට ලියන්න ලියන්න කියල කෝල් කර කර කෑ ගහන එකක් නෑ) තව එකෙක් ලෝබා අනිත් එකා කිරී ඉතින් අපි හතර දෙනා බොන්නෙ ජාති හතරක් පූසා ට හැමදාම ඕනෙ උනේ ගෙදර තිබුන ටැප් ඇරියාම ඒවයෙන් වතුර වෙනුවට ෆැන්ටා එනව දකින්න. ඉතින් අපේ කිරී උදේ ඇදෙන් නැගිට්ට වෙලාවෙ ඉදන් රෑ නින්දට යනකං පිපාසයක් දැනුන ඕනෙම වෙලාවක වතුර හැර යමක් බොනවනම් ඒ කිරි විතරයි .ඒකනෙ ඒ නම දැම්මෙ එයාට,ලෝබ ගැන කියනවනම් ඌට කවදාවත් බෑ එක දෙයක් බීල සෑහීමට පත් වෙන්න.එයා ඕනෙම බීමක් බොනව. හැබැයි කවදාවත් අපි ඕඩර් කරන දෙයක් ගන්නෙ නෑ.ඒකට හේතුව ඉදිරියෙදි තේරෙයි. මේක ලියන කෙනා නම් ඉතින් දැං කොහොම වෙතත් ඒ කාලෙ කෑම බීම ගැන වැඩි උනන්දුවක් තිබුන කෙනෙක් නෙවේ.ඉතින් ගන්න බීම බෝතලෙන් බාගයක් විතර ඉතුරු කරන මගෙ ළග තමා ලෝබ හැමදාම වාඩි උනේ.
සුපුරුදු විදියට අපි ගියා අර කඩේට, නිතර එන නිසා අපිව කඩේ මුදලාලි ඇන්ටි ඇතුලු හැමෝම හොදට දන්නවා.ඔන්න අපි ඔර්ඩ කරනව ෆැන්ටා එකයි,පෝටෙලෝ එකයි,කිරි පැකට් එකයි,ක්රීම් සෝඩ එකයි.එදා අපේ පූසගෙ මූඩ් එක එච්චර හොද නෑ. බීම එක අතට එනකොටම මූ ගෙරෙව්වා. ඔන්න අද මට තනියම බොන්න ඕනෙ කියල බෝතලේ ඇදලා ගත්තා, බඩේ තියෙන දේ උනත් දෙන්න පුරුදු අපේ කිරිත් ඒකට සහයෝගය දීල මාත් දෙන්නෑ කිව්වා. . අපේ ලෝබ සැලෙයි ඕවට, ටිකක් කල්පනා කරල එයා ගෙනාව අලුත් යෝජනාවක් , අපි අද හොද වැඩක් කරමු කියල විරුද්ධත්වයක් පෑවෙ නැති මගෙ බීම එක අරගත්තා, කඩේ ඇන්ටිගෙන් වීදුරුවක් ඉල්ලුගත්තා.මගේ පෝටෙලෝ එකෙන් ටිකයි,එයාගෙ ක්රීම්සෝඩා එකෙන් ටිකයි එකට මික්ස් කළා. බීලා බැලුව . “මේකට කිරි ටිකක් දැම්මනම් ෆලූඩ වගේ වෙයි නේද කියල කිරීගෙන් ඇහුව. අනේ ඉතින් ඒ අහපු අහින්සක විදිහට කිරීගෙ හිත උණු උනා.ඔන්න දැන් කිරිත් මික්ස් කලා.බීලා බලුවා ඊට පස්සෙ මෙයා හිමීට පූස දිහා බලනවා. “පූස් මේව කිරි එක්ක මෙහෙම රහ නම් ෆැන්ටා එක්ක කොහොම ඇද්ද.” ඉතින් එහෙම කියල ඇන්ටිගෙන් තව වීදුරුවක් ඉල්ලුව . ඒකට ෆැන්ටා සහ,කිරි මික්ස් කලා.වාව් ඒකත් නියමයි. ඉතින් අපෙත් කුතුහලය ඇවිස්සිලා අපිත් ඒව බීලා බැලුව.එදා ඉදන් හැමදාම ඒ කඩේට ගියාම අපි විවිධ බීම වර්ග මික්ස් කරල විවිධ අත්හදා බැලීම් කලා. එහෙම දවසක තමා අපේ කිරී එයාගෙ යාලුවො දෙන්නෙක් එක්කගෙන ආවෙ අපිත් එක්ක බීම බොන්න. සාමාන්යයෙන් පූසටයි මටයි සහජ හැකියාවක් තිබුනා අපේම යාලුවො ඉස්සරහ කොහොම වෙතත් පිට අය ඉන්න තැන මේ ලෝකෙ ඉන්න හොදම ගෑනු ළමයි අපි කියල හිතෙන විදිහට හැසිරෙන්න .අනේ ඉතින් අපිව අච්චර ආශ්රය කරලත් ලෝබට බැරි උනා ඒ වගේ උතුම් ගුණාංග පුහුණු කරගන්න.ඒකෙ ප්රතිපලයක් විදිහට තමා මං අවුරුදු ගානකට පස්සෙ බේබද්දියක් ගානට වැටුනෙ.මොකද අර මගෙ හබී එක්ක මික්ස් කරල බීපු කතාව කිව්වෙ අර අපේ කිරී එක්ක ආව යාලුවො දෙන්නගෙන් එක්කෙනෙක් තමා. මට තාම මතකයි අපේ ලෝබා වීදුරුව අරගෙන ෆැන්ටා ,කෝක් එක්ක කිරි මික්ස් කරන කොට ඒ ළමයි ඒක දිහා බලන් හිටිය විදිහ.ඒක නොදැකපු අපේ ලෝබ ඇහුව එයාලටත් දෙන්නද කියලා. අම්මෝ ඒ දෙන්න වාඩිවෙලා හිටිය පුටුවත් පස්සට ඇදල තමා එපා කිව්වෙ .අනේ ඉතින් උං දෙන්න දන්නෙ නෑ අපේ ලෝබා ඒක ඇහුවේ එපා කියන්න කියලා මුලු හිතින්ම ප්රාර්ථනා කරලා කියල. ඒ දෙන්න හිතුවෙ අපි බල කරයි කියල. පව් අසරණයො දෙන්න. අපි අර සුමිහිරි පාන වර්ග බොනකොට ඒ දෙන්න ඇස් නළලෙ තියන් බලන් හිටියා හැටි තාම මතකයි .
ඉතින් මං හබීට කතාව කිව්ව. අපේ මොන්ගල් වැඩ ගැන දැනන් හිටිය නිසා එයාට ඒක එච්චර පුදුමයක් උනේ නෑ..ඒත් අනේ අර මගෙ දිහා බේබද්දියක් ගානට බැලුව ඇන්ටිල දෙන්න… . මෙච්චර අමධ්යප මං ගැන තාම හිතාගෙන ඇත්තෙ එහෙම තමා..
යාලුවන්ට මඩ ගහන එක නම් ඉතින් වැඩිය හොද වැඩක් නෙවේ තමා ඒත් අපේ ලෝබගෙ ඉවසීම ගැන මට තියෙන ආත්ම විස්වාසය සියට සීයක් නිසා බය නැතුව ලිව්වෙ .අනිත් එක මේකෙ මඩක් නෙවේ ඇත්තටම නව සොයාගැනීමක් පිළිබඳව කතාවක්. කොක්ටේල් කියන දේ පරණ උනාට මොක්ටේල් කියන දේ ලංකාවට අලුතෙන් ආව දෙයක් .ඒත් කවුරුත් දැනන් හිටියෙ නෑ නේද ඒකේ ප්රාථමික අවස්තාව හදුන්වල දුන්නෙ අපේ ලෝබා කියල. ඉතින් මේක ලිවීමෙ අරමුණ ඒ ගැන ලෝකයා දැනුවත් කිරිම විතරයි . ස්තුතියි දැනුවත් උනාට.
උපුටා ගැනීම: Lahiru Achinthika

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!