මේක දැනට අවුරුදු 17 කට විතර ඉස්සර රූපවාහිනී වැඩසටහනකදී නිවේදකයෙකුට සිද්ධ උන ඇත්තම සිද්ධියක්. නිවේදකයෙක් කිව්වට එයා ළමා නිවේදකයෙක්. සජීවී වැඩසටහනක් නිසා කරගන්න දෙයක් නැතුව අනා ගත්ත, අපේ භාෂාවෙන් කිව්වොත් “ පච වෙච්ච” සීන් එකක්.
මේ කතාවේ කතා නායකයා ඉස්සර අපි හැමෝම වැඩිපුරම බලපු රූපවාහිනී නාලිකාවක, ළමා සමාජයක් හරහා නිවේදනයට ආපු නිවේදකයෙක්. මේ සිද්ධිය උනෙත් ඒ නාලිකාවේම වැඩසටහනක් මෙහෙයවද්දීම තමයි.
මේකයි කතා වස්තුව..!
මම මේ කියන නාලිකාවේ ඉස්සර හවස (මතක විදියට හවස 4 ට) ළමා වැඩසටහනක් යනවා. ඒක මෙහෙයවන්නේ ළමා නිවේදකයෙක් හා නිවේදිකාවක්. මේකේ ඉතිං ළමයින්ට ඇත්තටම වැදගත් වෙන විදියේ, ළමයින්ට බලන්න පුළුවන්, දැනුම වර්ධනය වෙන විශේෂාංග කීපයක්ම තිබුනා.
මේ දවස් වලදී තමයි පරිගණකය කියන එක ලංකාවේ මිනිස්සු අතරට එමින් පැවතුනේ. (අර data ඊතලයක්, processing ඊතලයක්, information කියලා පන යනකන් ඉගැන්නුවේ). ඇත්තටම ඒ කාලේ පරිගණකය ගැන අපි හැමෝටම තිබුනේ හරිම අල්ප දැනුමක්.
ඉතිං එදා මේ වැඩසටහනේ තිබුනා පරිගණක පාඩමක්. මොකක්ද දන්නවද පාඩමේ නම. කම්පියුටර් ටේබල්. ඒ කියන්නේ කම්පියුටර් එකෙන් වගුවක් හදාගෙන ඒකට එක එක දේවල් ඇතුලත් කරන්නේ කොහොමද කියන එක ගැන තමයි එදා කරන්න තිබ්බේ. ඔය වැඩේ ගැන අපිට කියලා දෙන්න ඉතිං ඇවිත් හිටියා කම්පියුටර් ගැන දන්න නැන්දා කෙනෙක්. ( එහෙමනේ ඉතිං කියන්නේ ).
දැන් ඉතිං මුලින්ම නිවේදක ගෑණු ළමයා පටන් ගන්නවා “ ඔව් යාළුවනේ, අද අපි ඔයාලට පරිගණකය ගැන පාඩමක් කියලා දෙන්න එකතු කරගෙන ආවා” අහවල් එකේ, අහවල් තනතුර දරන බ්ලා බ්ලා බ්ලා නැන්දව. (එව්වා ඔක්කොම මට මතක නෑ). “නැන්දේ අපි අද මොකක්ද අපේ යාළුවන්ට කියලා දෙන පාඩම ?”. ඔව් දුවේ, අපි අද අපේ දූලා පුතාලට කියලා දෙන්න යන්නේ කම්පියුටර් ටේබල් ගැන”.
දැන් අර නිවේදක කෙල්ලත් ඉතින් ආපහු නැන්දා කියපු එකම ආපහු අපිට කියනවා.
දැන් ඉතිං මේ කොල්ලත් මොනවා හරි කියන්න ඕනනේ. මිනිහත් නොදන්නවා උනාට දන්නවා කියලා පෙන්නන්න පන්ඩිතයා වගේ අතිනුත් එක්ක දාලා කියපි “ ඔව් යාළුවනේ, අද නැන්දා අපිට කියලා දෙන්න යන්නේ කම්පියුටර් ටේබල්, එහෙමත් නැත්නම් පරිගණකය තියන මේසය අපි කොහොමද හරිගස්ස ගන්නේ කියලා..!”
වැඩසටහන බල බල හිටපු මටත් එක පාරටම හික් ගෑවුනා.. නිෂ්පාදක උන්දැට පොළොව පලාන යන්න හිතෙන්න ඇති.
කොහොම හරි ඉතිං අර පොඩි කෙල්ලයි, නැන්දයි එකතු වෙලා කොල්ලගේ ජාම බේරලා දෙන්න අසාර්ථක ප්රයත්නයක නියැලුනා. හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැරුව මමත් ටිකක් වෙලා කට ඇරගෙනම ටීවී එක දිහා බලාන හිටියා.
මෑන් ඊට පස්සේ මට මතක විදියට මොකුත්ම කිව්වේ නෑ. අර කෙල්ලම ප්රෝග්රෑම් එක ඉස්සරහට ඇදන් ගියා, නැන්දත් එක්ක. ඌට එදා නම් වහ කන්න හිතෙන්න ඇති සජීවීවම..!
එක අතකට ඒ ළමයින්ට ( ළමයි කිව්වට ඌ දැං මගේ වයසම වගේ ඇති) වැඩසටහනක් පටන් ගන්න කලිං මේ දේවල් කියලා දෙන්න ඕන. මොනා උනත් කොල්ලා අධ්යර්යමත් උනේ නෑ. මිනිහා දැන් ලංකාවේ රේටිංග්ස් වලින් උඩම ඉන්න පුද්ගලික නාලිකාවක නිව්ස් කියනවා. මතක විදියට ඊයෙත් රාත්රි ප්රධාන ප්රවෘත්ති ප්රකාශය ගෙනාවේ මෑන්. කතාව එච්චරයි..!
මම :- හෝම්ස්