එක්තරා සමයෙක සොඳින් ඉදී බැබලෙන රඹුටමක් මෙන් වූද, ගස මුදුනේ පිපී වැනෙන බක්මී පුෂ්පයක් මෙන් වූද අරුම පුදුම කොරෝනා නම් වෛරසයෙකින් අප සැම පාලනය කරන්නා වූ මහත් අභාග්ය සම්පන්න වකවානුවක් උදාවෙන්නේය.
වෛරසයෙන් ආසාධිත වූ සංඛ්යාව කෙමෙන් කෙමෙන් ඉහල යන අතර එයට සමානුපාතිකව මරණ සංඛ්යාවද බලා ඉදිද්දී ඉහල යන්නේය.
ජන ජීවිතය එහෙම්ම පිටින්ම උඩු යටිකුරු වී කරකැවී කලවම් වී තිබෙන එම වකවානුවේ කොරෝනා රඹුටමෙන් හුදී ජනයා සහ ආර්ථිකය රැකගැනීමේ අති දුෂ්කර කාර්යයක සියල්ලෝම මුඛවාඩම් බැදි මුවෙන් යුතුව සැදී පැහැදී සිටින්නේය.
මේ ඒ වකවානුවේ එක්තරා ගෘහයකි.
පසෙක පාඨශාලාව වසා ඇති බැවින් නිවසේ රැදී සිටින පුත්ර රත්නයකි.
පසෙක මාර්ගගත තාක්ෂණය ඔස්සේ වැඩ සිටින zoom නම් ඇප් රාජයෙකි.
තවත් පසෙක කෙසේ හෝ රාජකාරිය කරමියි අදිටනින් යුතු බැවින් ඇපවී කැපවී සිටින ගුරුතුමියකි.
අනෙක් පසින් අන්ත අසරණ කරකියාගත දෙයක නිනව්වක් නැති අහිංසක මව්තුමියකි. පියතුමෙකි.
පොත් මිටියකි, ගෙදර වැඩ තොගයකි. අහෝ දුකකි. ඉරකි. තිත් පේලියකි.
“මේහ්.පුතේ. හරියට වැඩ ටික කරන්න පටන් ගන්න. හරිද?” සාමකාමී ඉල්ලීමකි.
” පුතේ. පුතේ. ඉක්මනට මේ වැඩ ටික ඉවර කරන්න.. ටීචට පෙන්නන්න ඕනෙනෙ.”
සාමකාමී නමුත් තරමක සැර විධානයකි.
“පුතේ. මේක ඉක්මනට ඉවර කරන්න කිව්ව නේද වතාවක්.. කන් ඇහෙන්නෙ නැද්ද?”
තගකි. සැර බැල්මකි. නපුරු කරගත් මූනෙන් යුතුව නැවතත් විධානයකි.
” මං ආයෙ කියන්නැහැ පුතේ. මේක දැන් ඉවර කරනවද නැද්ද?”
අඩි පොලෝවේ හැප්පීමකි. කෑ ගැසුමකි.
“මේක හොද හිතින් ඉවර කරනවද , නැද්ද?? ආ. “
කන් අඩි පුපුරවන හඩින් කෙරෙන විධානයකි.
” මගේ යකා අවුස්සන්නැතුව මේ ටික ඉවරයක් කරන්නයි කිව්වෙ. මේ දැන්ම. හහ්.”
කෝපයෙන් දැවෙන මුහුණකි. දැවෙන බැල්මකි.
මොනම විධානයකින් වත් ඉක්මන් නොවෙන පැන්සලකි. වට පිට බලමින් තමන්ගේ කාරියක නිරත වන පුංචෙකි. මකනයක් සහ මැකීමෙන් හිල් වුනු කොපි පොතකි. රකුසු බැල්මක් සහිත අම්මෙකි.
නැවතත් බඩගිනි සහ නොයෙක් බරවල් එන පුංචෙකි. වතුර තිබහෙන් සහ ඈනුමෙන් ගෙවෙන තවත් පැයකි. අත පය සහ පිට කසනවා යයි ඇඹරෙන දැගලිල්ලාවකි.
අලස කුසීත සමයන්කාර පැන්සලකි.තවමත් හිස්ව පවතින කොපි පොතකි.
” අනේ මගේ බුදු පුතේ. හොද දරුවා වගේ මේ ටික ඉක්මනට මට ඉවරයක් කරල දෙන්නකො රත්තරන් පුතේ. ටීච මට බනීවිනෙ පුතේ. අනේ හොද පුතානෙ මගේ.”
සිය කුස හොත් පුතුට පසඟ පිහිටුවා වැද වැටෙන නිර්ලජ්ජිත මවකි. අන්ත අසරණ ආයාචනාවකි. කරකියාගත හැක්කක් නැති අවස්ථාවකි.
නමුත් කිසිසේත්ම නොසෙල්වී සිටින්නෙමැයි කැට තබා සපථ කරගත් පැන්සලකි. හිස් පොතකි. හිල් ගොඩකි. ගෙවී සුට්ටන් වූ මකන කෑල්ලකි.
කොරෝනා යනු අතට අහුවෙන දෙයක් වේ නම් එය තම්බා තලා නැවත බබාකිව් කරන්නට දෙපාරක් නොහිතන යක්සාරූඩ මවකි.
දුක හිතෙන කතාවකි.
උපුටා ගැනීම: ෴ලේඛා මදරසිංහ෴