ඔෆිස් එකේ අවුරුදු ගානක ඉඳන් පාවිච්චි කරපු පරණ පරිගණක පද්ධතිය ගලවලා වීසි කරලා අළුත් එකක් ස්ථාපිත කරන්නත්, සෑහෙන ගානක් තිබ්බ ෆයිල් ඔක්කොම ස්කෑන් කරලා ඕකට දාන්නත් වගේ බර ගානක ප්රොජෙක්ට් එකක් භාර දෙනවා එක්තරා පුද්ගලික සමාගමකට. විවිධාකාර ඩයල් කාලයක් තිස්සේ එක එක දේවල් වලට මේ නිසා ඔෆිස් එකට එන්න ගත්තා. ඔය අතරේ තමයි එක දිගට මාස ගානක් තිස්සේ නාඹර ගැටිස්සියෝ ටිකක් ඔෆිස් එකට එන්න ගත්තේ.
අර සමහර පෝස්ට් වල දාල තියෙන තරමටම කැත නැතත් අපේ ඔෆිස් එකේ යන්ෂනියෝ ටිකම දැකලා දැකලා එපා වෙලා හිටිය අපිට මේ සෙට් එක නිකන් මරු කතරට දිය පොදක් ඉසින්නට “ටං ටං ටං” වගේ උනා. ආපු සෙට් එකත් ඉතිං කියලා වැඩක් නෑ, තනිකරම ඇවිදින රූපලාවණ්යාගාර. සමහරු ඇවිදින්නේ කොරවක්කා නෙළුං කොලේ යනවා වගේ. තව සමහරු යන්නේ කකුල් දෙක මුල දෙහි ගෙඩියක් තියාගෙන ඒක බිම වැටෙයි කියලා බයෙන් වගේ. බලන්ට දුකේ බෑ.
ඔය කෙල්ලෝ මොන මොන විදියට හිටියත් මට ඒ තරම් ගානක් නෑ. මම ඉතිං ඔව්වා බලන්න යන්නේ නෑ, කියලා හිතාන හිටියට ඔව්වා කොහොම නං කරන්නද මෙව්වා දකිද්දී. කොච්චර අහක බැලුවත් ඇහැ යන්නෙම ඒ පැත්තට. අපි තේ බොන්න යන වෙලාවටමයි මෙයාලත් තේ බොන්නේ. ඉතිං බැලෙනවා.
එදත් තේ බොන්න ගිය දවසක්. අපේ අය තේ බීලා ගියත් ටීවි එකේ මැච් එකක් ගිය නිසා ඕකත් ටිකක් බලලා එන්න ඕන නිසා මම යන්න පරක්කු උනා. එතකොට අර රූපලාවන්යාගාර සෙට් එකත් එහා පැත්තේ මේසේ ඉඳන් තේ බොනවා. මටත් නිකන් පුරුද්දට වගේ ඒ පැත්ත බැලුනා. නැතුව කෙල්ලෝ ගොඩයි මං විතරයි විදියට ඉද්දී එහෙම හිතලාම ඒ පැත්ත බලන්නේ නෑ. මොකද කෙල්ලෝ, කොල්ලෙක් තනි උනාම ඌ දිහා බලලා රහස් කිය කිය නෝන්ඩියට හිනා වෙනවා කියලා කොල්ලෝ වෙච්ච අපි අත්දැකීමෙන් දන්නවා. කොහොම හරි ඔහොම ඉබේ බැලුනම එතන හිටපු ටිකක් හොඳ රූපලාවන්යාගාරයක් මගේ ඇස් එයාගේ ඇස් අස්සේ අතරමං කරගත්තා.
“අම්මෝ ඒ බැල්ම..” ඒක දරාගන්න බැරුව මම බිම බලාගත්තා.
එතනින් එහාට දවස් හතරක් පහක්ම අපි ඇස් වලින් කතා කලා. ඔෆිස් එකේ අපි කවුරුත් එයාලත් එක්ක වැඩිය මූව් වෙන්න ගියේ නෑ. හිනා වෙලා ගියාට කතා කරන්නෙත් නෑ. ඔෆිස් එකේ සිටුවේෂන් එක හැදිලා තිබුනේ එහෙම. එයාටත් කතා කරන්න හොඳටම උවමනාව තියෙන බව මටත් තේරුනා.
මොනවා උනත් ප්රතිචාරේ අවුලක් නෑ වගේ හිතුන හින්දා මම සුපුරුදු රහස් පරීක්ෂක කටයුත්ත ආරම්භ කලා. ගියා ගේට් එකට. සෙකියුරිටි අයියත් එක්ක කයියක් ගහන ගමන් විසිටර්ස්ලා ඇතුල් වෙනකොට ගේට් එකෙන් තියලා එන එයාලගේ අයිඩෙන්ටි ටික බැලුවා. කොච්චර බැලුවක් අර මූණ තියෙන අයිඩෙන්ටි එකක් එතන නෑ. හොයලා හොයලා අන්තිමට “නවදැලි හේනක පෑව වැඳිරි රුව” ට වඩා ටිකක් හොඳ මූණක ඉස්කෝල් යුනිෆෝම් එකෙන් ගහපු ෆොටෝ එකක අයිඩෙන්ටි එකක් එතන තිබුනා.
“රෝෂිනී අල්විස්” ඒක තමයි නම. මූණේ හැඩෙන් මට හිතුනා මේ තමයි අදාල දැරිවි කියලා.
කරපු වැඩේ නම් වැරදී තමයි. රහස් පරීක්ෂක වැඩ හැමදේම ඉතිං නිත්යානුකූල විදියටම සිද්ධ වෙන්නේ නැහැනේ.
හවස ඕෆ් වෙලා බෝඩිමට ගිහිං පටන් ගත්තා ෆේස්බුක් එකේ රෝෂිණිව හොයන්න. “Roshini alvis, Roshini alwis, Rosini alvis, Rosini alwis, රෝෂිණී අල්විස්”.. මේ කියන හැම විදියකටම ගහලා බැලුවත් ඒ මූණ නැත. දැං මොකද කරන්නේ..? අයිඩින්ටි ටික බලන අතරේ එතන තිබුනා මේ සෙට් එකත් එක්ක ඉන්න කොල්ලෙක්ගේ අයිඩින්ටි එකක්. ඒ නම මට මතක තිබුනා. “චමත් කල්හාර”. ගහපු ගමන් මිනිහා ඉන්නවා උඩින්ම. පොරගේ ප්රෝ ෆයිල් පික්චර් එකට ලයික් කරපු උන් ටික දැන් බලාන බලාන යනවා. මෙන්න අච්චර ලස්සන අරූගේ ෆොටෝ එකට “හා හා රිඇක්ට්” එකක් දාපු කෙල්ලෙක් ඉන්නවා. ඔව්.. ඒ එයා. නම තිබුනේ “රෝෂි අල්විස්” කියලා.
මම බැලුවේ එයාට රික්වෙස්ට් එකක් දාන්න. ඒත් ඒ ප්රෝ ෆයිල් එකට රික්වෙස්ට් දාන්න බෑ. “ඇඩ් ෆ්රෙරෙන්ඩ්” බට්න් එක නෑ. නිකමට හිතුනා සෙටිංග්ස් හදලා ඇති “ෆ්රෙරෙන්ඩ්ස් ඔෆ් ෆ්රෙරෙන්ඩ්ස් වලට කියලා. ඒක හින්දා දැම්මා චමත් කාරයට මුලින්ම රික්වෙස්ට් එකක්. ඉස්සෙල්ලම ඌ ෆ්රෙරෙන්ඩ් කෙනෙක් කරගන්න.
පොර පැය බාගෙන් ඒක ඇක්සෙප්ට් කලා. ඊට පස්සේ ආයෙත් ගියා රෝෂිණිගේ ප්රෝ ෆයිල් එකට. අම්මේ ඔය ඇවිත් තියෙන්නේ “ඇඩ් ෆ්රෙරෙන්ඩ්”බට්න් එක නිල් පාටින් දිලිසි දිලසී. එබුවා ඒක සුටුස් ගාලා. රික්වෙස්ට් එක දැම්මට මොකද පැය ගාණක් දැන් මේක පෙන්ඩින්. මමත් ෆේස්බුක් එකට එනවා, රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලද බලනවා, යනවා. එනවා, බලනවා, යනවා. එක පාරටම රෑ නවය හමාරට විතර මට විශාල ශබ්ධයක් ඇහුනා. ෆෝන් එක දෙදරාගෙන මහා ආලෝක කදම්බයක් පැතිරුනා. ඒත් එක්කම එයා මගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කල බවට සුභ පනිවිඩේ මාර්ක් අයියා මට දැනුම් දුන්නා.
එතනින් එහාට උන ටික වෙන දවසක කියන්නං. එතකං ඔහොම්ම ඉන්න. ආ.. නෑ. වෙන වැඩක් බලාගන්න. මාර්ක් අයියා කියයි දෙවෙනි එක ආපු දවසට.
උපුටා ගැනීම: -හෝම්ස්-