මගේ විවාහා ගිවිසගැනීමේ මහෝත්සවයෙන් පස්සෙ මට තිබුණ ප්රථම රාජකාරිය අලුතෙන් ගෙනාපු ටීවි එක සිංගර් එකට දක්කන එක. මං බැන්දත් හරි සෙන්සර් එක වැඩ කරන එක නැවතුණා.
කොහොමහරි හදල ගෙනල්ලා ටීවි එක හයි කරන බරපතල රාජකාරිය බාරගත්තෙ මම.
එක වයර් එකක් තියනවා ඒක ගහන්න කෑල්ලක් ටීවි එකේ තිබ්බෙ නෑ. ඒක නැතුව ඔන් කරන්නත් බෑ. හදන්න දුන්නම හිල වහල වෙන්නත් බෑ. මං ටීවි එක අනිත් පැත්ත ගහල අහුවෙන එහෙකට වදින්න ගහනවා එකක්වත් ෆිට් වෙන්නෙ නෑ.
“කෝ එහාට වෙන්න”
වීර මද්දුම බණ්ඩාරගෙ අක්කගෙ පුතා වගේ පසිඳු ආවා. මාවත් එහාට කරල වයර් එක අතට ගත්තා.
“ඈ මෝඩයෝ. මේ ඔයාගෙ ලැප්ටොප් එකේ චාජරේ නේද, මේක ගහගන්න තියෙන්නෙ ඉතින්.. මං කියන්නෑ”
ඔව් නේන්නම්! පැය බාගයක් විතර ‘හොයන්න බැරි තැන් වල හිල් විදිනව’ කියල සිංගර් එකටත් බැන බැන ගහල තියෙන්නෙ ලැප්ටොප් එකේ චාජරේ.
.
.
ඔය ඔක්කොම උනාට පස්සෙ මට ඕන වුනා මගෙ කට තව ටිකක් පිලිවෙලක් කරගන්න ප්ලේට්ස් දාන්න. ඒකට දත් හතරක් ගලවන්නත් එපැයි. හිත හයිය කරන් දත් ගලවන්න පසිඳු එක්ක බයික් එකේ යද්දි මට හිතුණෙ අපූරුවට තියන දත් ටික නිරපරාදෙ විසික් කරන එක අපරාදෙනෙ,ගැලෙව්වම විදලා මාලයක් හදනව කියල.
“ඒ මං දත් දෙකෙන් මාලයක් හදාගන්නද”
“පිස්සුද ඔයාට”
ඔන්න ප්රතිචාරෙ. මං හිතාගත්තා අත අස්සෙ ගහං හරි එනව කියලා .
කොහොමහරි දත් දෙක ගැලෙව්වා ගිනි විජ්ජුම්බරයක් කරලා. අන්තිමට අපස්මාරෙ හැදිල වගේ වෙවුලනව බලං ඉන්න බැරුව දොස්තර කිව්වා ඇස් වහගන්න කියල.
දත් දෙකම ගැලෙව්වට පස්සෙ කරුණාවන්ත නර්ස් අක්කා මගෙ දිහා බලල හිනාවෙලා
“ගෙදර ගෙනියන්න ඕනද”
කියල ඇහුවා
“එපා”
දොස්තරයි පසිඳුයි එකට කිව්වෙ.
මගේ කටේ තිබ්බ මගේ දත මට ගේන්න දුන්නෑ. වේදනයි ඒකටනම්. කොටි දතෙන් මාල හදන්න හොඳයි. මෙච්චර අහිංසක මගෙ දතෙන් හැදුවම හෙණ ගහනවද…
දත ගලෝලා එද්දි කතා කරන්න බෑ. පසිඳු අහනව එකේක ඒවා. මං හුලං විද විද එනවා.
“පව් අනේ පාලුත් එක්ක කියවන්නැතුව අද”
පලවෙනි පාරට මගෙ කියවිල්ල අගේ කරවගන්න දත් දෙකක් ගලවන්න උනා මට.
දැන් කතා කරද්දි දත් දෙක මැදින් හුළං යනවා. ‘ස’ යන්න කියද්දි කම්මුල හරහා ටයිපූන් එකක් යනව වගේ.
පසිඳු හවස වැඩ ඇරිලා මාව බලල යන්න ආවම මුලින්ම කියන්නෙ..
“කෝ පැත්ත හැරිල හිනාවෙන්න බලන්න…”
උපුටා ගැනීම: Thakshila Sri Pathum