සුසිලම්මගේ ගේ තමයි ගමට තිබුණු පරණම ගේ. එකම මැටි ගේ. ඒ උනාට ගේ දිහා බලන කාටවත් මැටි පෙනුණේ නෑ. ඒ ගේ වටේම තිබුණු මල් ජාලාව හින්දා. සීනියාස්, කපුරු, රෝස, කූඩළු, වද එක එක පාට, එක එක වර්ගවල මල්. ගොඩක් වෙලාවට කොණ්ඩෙ සුදු, යන්තම් කුදු ගැහුණු සුසිලම්මත් මල් ගස් අස්සේ.
උදේ නැගිටලා මොනවහරි රත් කරගත්තු ගමන් සුසිලම්මා මිදුලෙ.
“මේ ගෙදර භූමි දෝසයක් ඇති. මේ ගෑණිට ගෙදර පය ගහලා ඉන්න බැරි” මනුස්සයා ඉන්නකම් තරහත් නැති නැත්තෙත් නැතිව ඔය කතාව සිය පාරක් කියලා ඇති.
ඇත්තටම තමයි. අනිත් ගෑණු වගේ උයන්න ගෙවල් අස් කරන්න මහන්න සුසිලම්මට පුලුවන් උනේ වත් ආස උනේවත් නෑ. හැබැයි මල් කිව්වොත් නොකා නොබී අවු කූටකේ වරු ගාණක් වතු උදළු ගායි. පාත්ති දායි. හැතැම්ම ගණං ගිහින් ගොම, පාවට්ටා කොළ හොයන් එයි. ගිනි කට්ට අව්වේ මාගල් දාලා, පාවට්ටා කොළ වේලල කුඩු කරලා පාත්තිවලට දායි.
ඒ හින්දාම ගේ වටේ පින්තූරයක් වගේ ලස්සනයි.
මනුස්සයා මැරුණට පස්සේ සුසිලම්මට ගෙයි ඇතුළේ වැඩ අඩු වෙලා මිදුලෙ ඉන්න කාලෙ වැඩි උනා. මල් යාය පාර අයිනට එනකම් පැතිරුණා.
සුසිලම්මා මල් වලට ලෝබකං කරේ නෑ. බෝධි පූජාවලට, ළමයින්ට ඉස්කෝලෙ මල් පූජාවලට දෙන්න වෙනම වතුසුදු, ගැටපිච්ච වවලා තිබුණා. ඇස් වෙදකමට සමන් පිච්ච හොයන්න එන අයට හැමදාම මල් සීයක් දෙසීයක් වරන්නේ නැති පිච්ච ගාල හදලා තිබුණේ ඊට එහායින්.
ගමේ ගෙවල් දහයක එකපාර දරුවො ලැබුණත් නාවන්න තරං රත්මල් පිපෙන පඳුරු දෙක තුනක්. එව්වා දෙන්න සුසිලම්මා ලෑස්තිවෙලා හිටියෙ එක පයින්. උන්දැට හාල් ටිකක්, සීනි මුලක් දීලා ඒවා අරන් යන්න ගමේ අය අමතක කළේ නෑ. පිං පඩි කාරිනේ.
සුසිලම්මා ලෝබකං කරේ මල් ඇට වලට, අතු වලට. කොයියම්ම කෙනෙක් ඇවිල්ලා උනත් මල් ඇට, අතු ඉල්ලං ආවට සුසිලම්මා මොනව හරි කියලා ඒක මගාරිනවා. අනික කිසිම මල් ගහක් ඇටයක් පේන්න නෑ. ඒකත් පුදුමයි. හැබැයි උදේ පින්නෙම සුසිලම්මා පං පෙට්ටියක් අතේ අරන් ගස් අතග ගා එන හැටි දකින කට්ටිය දන්නවා ඇට නැති වෙන හේතුව. පං පෙට්ටියේ එකතු කරන ඇට තමයි ඊළගට පාත්ති වලට යන්නේ.
“එක අතකට ඒ ගෑණි වැරදි නෑ. ඔය දැක්කම තණ්හාවට අත ගාං ගියාට ඔය ගෑනු හිටවන්නෙත් නෑ ඔව්වා. අනික අත් ගුණේ නැතුව හිටවන ඒවා හරියන්නෙත් නෑ” සමහරු කියනවා.
සුසිලම්මාගෙ හැටි කාලයක් දන්න නිසා ගමේ කවුරුත් උන්දැගෙන් මල් ඇට, අතු ඉල්ලන්න නොයන එක වෙනස් උනේ සුසිලම්මා ගම්පහ ගිහින් ඇවිත් හිටවපු පාට හතක කූඩළු යාය නිසා.
දෙවියනේ එහෙම පාට. සමනළයෝ රෑනක් වගේ. අනික පෙති පේළි දෙක තුනක් තියෙන මලක්. කිසි කෙනෙක් කොහෙවත් දැකලා නෑ එහෙම පාට කූඩළු.
එක එක අය ගිහින් ඉල්ලුවත් ඇට හම්බුණේ නෑ. සුසිලම්මා ඉස්සර වගේම කතා කිව්වා. හැබැයි මල් වට්ටිවලට ලෝබ නැතිව කඩාගන්න දුන්නා.
ඒත් තමන්ගේ වැට මායිමේ, ගේ ඉස්තෝපු ඉස්සරහ දේදුණු කූඩළු සමනළ රෑන් පියාඹනවා බලන්න හිතන් හිටිය කට්ටිය විස්සෝප උනා.
————————–
මහ වැස්ස පටන් ගත්තේ අවුරුදු ඉවර උන ගමන්. එළි වෙන්න කළිං ඉදන් රෑ වෙනකම් ඒක සීරුවට වැස්ස. වෙලට යන්න කිරි කට්ටියට යන්න බැරිව මිනිස්සු ගෙවල් වලට වෙලා ඇකිළිලා හිටියා. වැහි සීතලත් එක්ක අමුතුම හීතල හුළඟකුත් ආවෙ ඉරිදා හවස් වරුවෙ. ඒ හීතලෙන් කියන දේ ගමේ මිනිස්සු දන්නවා.
“ගලන්න වගේ නේද? ටික ටික ලෑස්ති උනා නං හොදයි.” වටින කියන බඩු එකතු කරලා සොල්දරවලට පටවලා, ගෙදර කට්ටිය උඩහින් තියන නෑ ගෙදරකට යන්න ලෑස්ති වෙන්නේ දෙතුන් පාරක් ඒ කතාව ඇහුණම.
ඒත් මෙදා පාර කට්ටිය හැරෙද්දි වතුර වතු ගාව. ඒ බලලා මේ බලද්දි මිදුලෙ. අතට අහුවුණ ජාති ඇදගෙන ගෙයින් එළියට බහිද්දි ගෙවල්වලටත් වතුර දාලා.
“උඩහ වතුර ඇරලා ඇති, නැත්නම් ඔච්චර ඉක්මනට වතුර නගින්නේ නෑ.”
උඩහ ගෙදරකට ගාල් උන කට්ටියගේ වැඩේ විනාඩි හයෙන් දහය ගිහින් වත්ත පහළ ගහකින් වතුර මට්ටම බලන එක. මේ බලලා හැරෙනකොට වැඩි වෙනවා.
“මේදා පාර ලේසි නෑ. අතන යට ඇති දැන්, මෙතන යට ඇති” කට්ටිය කතා වෙනවා. රෑ වෙද්දි බයයි. වතුර සද්දෙ ඇහෙනවා. කාටවත් හරි නින්දක් නෑ.
—————————-
ඒ පාර වතුර බැස්සෙ දවස් දෙක හමාරකින්. පාරෙ අඩිය තියන්න බෑ මඩ තට්ටුව. පල් ගන්දස්සාරෙ එහෙන්. වතුර පාරත් එක්ක එන මාපිල්ලු, ගොණුස්සෝ, පොළොංගු ඉන්න නිසා අඩිය තියන්නත් ඕනි කල්පනාවෙන්. ගෙදරටම හිර වෙලා එපා වෙලා හිටිය කට්ටිය පාරට බැස්සේ ගමේ ඇවිදලා අනිත් අය ගැනත් බලලා, වෙලා තියෙන විපත් බලලා එන්න.
ඔය වෙලාවට කවුරුත් උඩ තැනකට යන බව දන්න නිසා කවුරුත් කරදරේ නැති බව දන්නවා. ගමේ අයට ගංවතුර හුරුයි.
ඉස්සෙල්ලම සුසිලම්මාගෙ ගෙදර ළගට ගිය කාණ්ඩෙ එකපාරම නැවතුණේ මැටි ගේ එතන නැති බව දැක්කම. “කවදාවත් මේ හරියට එනකම් වතුර දාන්නේ නෑනේ. බලහල්ලා නැන්ද කොහෙට උනාද කියාල.”
කට්ටියම කලබල උනා. ළග පාත ගෙවල් වලට ගියා. සුසිලම්මා කොහෙවත් නෑ
“අප්පා යාගන්න බැරි උනාවත්ද?” කවුරුත් කියන්න හදිසි නොවී හිටිය දේ කෙනෙක්ගෙ කටින් පිට උනා.
ඒත් ඉතුරු මැටි ගොඩ වටේ ඇවිද්දත් සුසිලම්මගෙ ලකුණක් තිබුණේ නෑ. ගේ කැඩෙන්න කලින් පාවෙලා ගිය පුටුවකුයි මැටි කෝප්පෙකුයි විතරක් වැට ළග තිබුණා. පං පෙට්ටියෙ උඩ කෑල්ල මහා දුරක් ගහගෙන ගිහින් මඩ පාට වෙලා කෙසෙල් පඳුරක රැඳිලා තිබුණා.
—————–
සුසිලම්මා ගැන ආරංචිය ආවෙ තවත් දවස් ගානට පස්සේ. ගඟත් එක්ක මහා දුරක් පහළට ගිහින්. එතනම යට කරලා එනව මිසක් ගමට ගේන්න හැටියක් තිබුණේ නෑ.
ඒ ගංවතුරෙන් මඩ පාට උන තණකොල උඩින් අලුතෙන් කොළ පාට තණකොළ මතුඋනා. ගස්වල, බිත්තිවල, තාප්පවල තිබුණු මඩ පාට ටික ටික අඩුවුණා.
ගමේ තැන් තැන්වල, පාරවල් අයිනෙ, මිදුල් වල කොහෙවත් නැති විදිහෙ පොඩි පැළ මතු උනා. පැළ වල ඉහළින් දේදුණු පාට පොට්ටු මතුවෙන කොට කට්ටිය බැලුවා මේ මොනවද කියලා.
උඳුවප් පෝය කිට්ටු වෙද්දි සුසිලම්මාගේ ගෙදර මිදුලෙ විතරක් පියාඹපු දේදුණු සමනළයො ගමේ හැම මිදුලෙම, හැම පාරක් අයිනෙම දඟ දදා සුළඟත් එක්ක එක සීරුවට හිනා වෙවී හිටියා.