අවුරුදු පහකට කලින් උනු පුංචි සිදුවීමක්.
උසස් පෙළ පංති යන්න අරන් දෙවෙනි අවුරුද්ද.
දුෂ්කර ගමක ජීවත් වු නිසත්, මං කරපු විෂයන් වලට අමතර පංති, ගමේ නොතිබුනු නිසාත් බෝඩිමක නැවතිලා අධ්යාපන කටයුතු සිදු කරන්න වෙනවා.
ඔය කාලේ ඉතිං මම බෝඩිමෙ යාළුවො ඇරුනම, පංතිවලිනුත් යාළුවො ගොඩක් අදුරගන්නවා.
දෙවෙනි අවුරුද්ද යද්දි ඉස්සරහම පෝළිංවල ඉදගත්තු මම, ඔන්න ඉතිං ටික ටික එන්න ගන්නවා පිටිපස්සෙ පෝළිං වලට.මුලදි තිබ්බ උවමනාව ඉතිං පස්සට යද්දි කොස් ඇට තමා.
අඩුවක් නැතුව හැමදාම බයෝ සර් ප්රශ්න අහද්දි, අහඹු ලෙස තෝරන් ගන්න ශිෂ්ය කණ්ඩායම ඇතුලේ මගෙ ටකරං මූණත් තියෙනවාමයි.
ඉතිං හැම දවසකම ගුටියක් ස්ථිරයි.
පස්වෙනි තට්ටුවෙ තියෙන බයෝ ක්ලාස් එකට පඩි පේළි දිගේ දුවන්න ගිහින් ඇද වැටී තියෙන ගණනත් ගනන් කරන්න නොහැකි තරම්.
ඔය කාලේ මට හැදෙනවා ඉතිං තව පිස්සුවක්.
ලව් කරන උන්ට උදව් කරන පිස්සුව හා ජාත්යන්තර බූට් කාපු උන්ගෙ දුක අහනවා.
දැනටත් අඩුවක් නැතුවම ඔය දෙකම මං කරනවා.
ඉතිං මගෙ එක යාළුවෙක් හිටියා හරි සරලයි, ඒ උනාට හැඩයි, ලස්සනයි.
ඔය කාලේ එයාට හරි සුන්දර ප්රේම කතාවක් තිබුනා.
ඒකත් ආගම් දෙකක. ඉතිං ඇත්තටම ඒ ප්රේමය හරි සුන්දරයි.
ඒ කාලේ ඒ ආදර කතාවට ගෙවල් වලින් සෑහෙන්න බලපෑම්.
දෙන්නට එකම ක්ලාස් එකකට යන එක පවා අම්මලා තහනම් කරලා.
මඟ තොට හම්බෙල කතාකරලා විරිත්තලා යන ටික තමයි ඉතිං.
දවල් එකට පටන් ගත්තු පන්තිය ඉවර වෙන්නෙ හවස පහට.මමයි ඒ යාළුවයි ක්ලාස් ඇරිලා එන්නේ එකට, පංති යන්නෙත් බොහෝ වෙලාවට එකට.
ඉතිං දවසක් මම ගත්තු අලුත්ම බෑග් එකත් අරන් හරි උජාරුවෙන් පංති යනවා යාළුවා එක්ක.
ටික දුරක් යද්දි කීවා
“අනේ යේෂී ඉන්නකො ටිකක් අරයා එනවා” දැන් කියලා
ඉතිං මාත් යාළුවා අයිනෙ ඉද්දි මං පාර පැත්තට වෙන්න අයිනේ හිටගෙන හිටියා.
ඈතින් බයික් එකක සන්ග්ලාස් දාගත්තු හැන්ඩ්සම් අයියලා දෙන්නෙක් එනවා දඩු මොණරකුගෙ නැඟලා.
කෝකටත් කියලා පොඩ්ඩක් අයිනට උනා. ඕකුන්ට එසේ මෙසේ විසයක් නෙවෙයිනේ තියෙන්නේ කියලා.
ටික වෙලාවක් යද්දි දඩු මොණරෙ මං ලඟින් ගියා විතරයි මතක , දෙයියනේ කියලා ගෙම්බා පොලේ ගැහුවා වගේ ඇදගෙන වැටුනා ටවුම මැද.
හිරි ඔතප් වැඩියෙන්ම දැනුනු දවසක් එ.
පිටිපස්සෙ ශීට් එකේ හිටපු එකා බෑග් එකෙන් ඇදන් ගිහින්.ඉතිං මං බිම.
නැගිටින්න සිහියක් පතක් නෑ, ලැජ්ජයි බයයි දුකයි ඔක්කොම . ඔළුව දඩාං ගාලා තාර පාරේ වදින්න යද්දි බ්රේක් පාරක් ගහලා 99.9999999%න් ඇතුලෙ තියෙන චූටි මොලේ බේරගත්තා.
ඒත් වැඩක් නෑ දනිස් දෙක භාගෙට සුද්ද කරපු බීට් අල දෙකක් වගෙ.
දුවන් ඇවිල්ලා ඇන්ටිලා දෙන්නෙක් නැගිට්ටෙව්වා මාව.
වෙව්ලනවා කකුල් දෙකේ ඉදන් ඉහට යනකන් ගඩ ගඩ ගාලා.
ඉක්මනට වටපිට බැලුවෙ, කී දෙනෙක් මං දිහාවට රබර් ඇහැ දාන්නද කියලා.
දෙවියන්ට ස්තූති කරා වැදගෙනම අද මට ඩෙනිම් කලිසමක් ඇදන් එන්න හිතුනේ පෙර වාසනාවකට කියලා.
ඒත් ඉතිං දනිස් දෙකනම් මේ වෙද්දිත් පරලොව ගිහින්.
එතන හිටපු ඇන්ටිලා හිසේ ඉදන් පාදන්තයට යනකන් මගෙ පරික්ෂණ පවත්වද්දි, මතක් උනේ මං එක්ක හිටපු යාළුවාව.
දෙයියන්ගෙ පිහිටයි දඩු මොණරෙ හිටපු උන් දෙන්නට, කාලී අම්මා ආවේස වෙලා වගේ, අතින් පයිනුත් එක්කම ජාතිය අමතවා මේකී.
අරුන් දෙන්නත් අම්මගෙන් බැනුම් අහන ලමයි දෙන්නෙක් වගෙ බිම බලාගෙන අහන් ඉන්නවා.
ඒත් එක්කම ඇස් දුවන් දුවන් ගියේ , එකෙක්ගෙ අතේ තියෙන මගෙ බෑග් එකේ පටියට.
අනේ ඉතිං හා හා පුරා කියලා ගත්තු අලුත්ම බෑග් එක. දෙදාස් ගානක් ගියා. ඉතිං ඒ දවස් වල ඒක මට වටිනවා සෑහෙන්න.
පටිය විතරක් එකෙක්ගෙ අතේ තියෙද්දි, ලස්සන බෑග් එක පාර මැද දිලිසි දිලිසි තියෙනවා.
අහෝ දුකකි ඉරකි තිතකි !
මෙච්චර වෙලාවක් තිබ්බෙ නැති ඇඩිල්ලක් ආවා බෑග් එක දැක්කට පස්සෙ.
ඇඩියාව කොච්චරද කියනවනම් බැනුම් අහ අහ හිටපු උන් දෙන්නත් බය වෙලා දුවන් ආවා.
“ඇයි නංඟි අමාරුද
නංඟි හොස්පිටල් යන්න ඕනේද “
මන්තරයක් ජප කරනවා වගෙ උන් දෙන්නා අහනවා අහනවා ඉවරයක් නැ.
එකෙක්ට බැරිනම් මට වඩා ඇඩිලා, එ බයට.
ඇඩිල්ල අස්සෙන් හිනා යන්නත් එනවා.
අවසානේට කිව්වෙ පඩි ගත්තම බෑග් එකක් අරන් දෙන්නම් කියලා.
ඉතිං මං අවුරුදු පහක් ගිහිල්ලත් තාම බලන් ඉන්නවා පඩියක් අරන් එ මනුස්සයා බෑග් එකක් අරන් එයිදෝ කියලා.
බොරු බලාපොරොත්තු දීලා ගියපු අයියලාට බුදු සරණයි.
ඉතිං මගෙ පංති යෑම සතියකට පමණ නවතද්දි,හොස්පිටල් එකෙත් දවස් දෙකක් ගත කරන්න සිදු උනා.
ඉස් ඉස්සරලාම හොස්පිටල් හිටියේ ,ඔන්න ඔය වගේ හේතුවක් නිසා.
සතියක කාලෙකට පස්සෙ ආයෙමත් පරණ බෑග් එකම අරන් පන්ති ගියේ, හූල්ල හූල්ල.
ඔය සිද්ධිය වෙලා අවුරුදු පහක් ගියත් මං තාම බයයි සායට ,අදටත් පන ඇරලා ආදරෙ කරනවා ඩෙනිමට.
ඉතිං තාමත් බයික් එකක් ලඟින් යද්දි අහේතුක බයක් දැනෙනවා, මං දැන් ඇදගෙන වැටෙයි කියලා.
වෙට්ටු දාන්න යන්න එපා ඔන්න අයියලා ටික.
උපුටා ගැනීම: යෙනූ මා