දැක්කොත් පුදුමවෙයි -ලෝකයේ තිබෙන අමුතුම ගස් වර්ග 7ක් (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ගසක් මිහිපිට ජීවීයාගේම පරිසරයේ පැවැත්මට කෙතරම් වැදගත් කාර්යයක් කරනවා ද යන්න ඔබට අමුතුවෙන් මතක් කරන්නට අවශ්‍ය නැහැ. වර්තමානය වෙද්දි සිදුවන වන විනාශය නිසා අද වනවිට ඉතාම ඛේදනීය විදියට අද ස්වාභාවික උවදුරුවලට මුහුණ දෙන්නට සිදුව තියෙනවා. පරිසරයේ උෂ්ණත්වය වැඩිවීම, වර්ෂාව අඩුවීම් ආදී විවිධ කාලගුණික විපර්යාසයන් ඇතිවෙන්නට පවා වන විනාශය හේතු වෙනවා. මිනිසාට වගේම සත්ත්වයාට ජීවත් වෙන්නට පිරිසිදු වාතය ලබාදෙන්නෙත් මේ ගහකොළමයි. ඉතින් මේ ගස්වැල් අතරේ හිතා ගන්නවත් බැරි විදියේ ඉතාමත් අරුම පුදුම ගස් වර්ග කිහිපයකුත් තිබෙන බව ඔබ දන්නවා ද. මේ ලිපියෙන් ඒ අමුතුම ශාක ගැන විමසා බලමු.

Rainbow Eucalyptus

බැලූ බැල්මට මේ ශාකය දකින්නට ලැබෙන්නේ ඉතාම විචිත්‍ර ආකාරයට පින්තාරු කළ ශාකයන් විදියටයි.මෙහි කඳ කොටස විවිධ වර්ණයෙන් පෙනෙන්නට විශේෂ හේතුවක් පවතින අතර වසරේ විවිධ කාලයන්වලදී මේ ශාකයේ පොතු ගැලවී ඉරීයාමේ ප්‍රතිඵලයක් විදියටයි මේ ශාකයේ කඳ විවිධ වර්ණයන්ගෙන් දකින්නට ලැබෙන්නේ. පොතු ගැලවී ගිය ස්ථානය ලා දුඹුරු පැහැයක් ගන්නා අතර  පසුව ලා කොළ, අඳුරු කොළ පාට, නිල් පාට, රෝස පාට තැඹිලි පාට සහ දම් පාට ආදී නේක වර්ණයන්ට පරිවර්තනය වෙනවා. සැබැවින්ම එය දේදුන්නක ඇති සියලුම වර්ණයන්වලින් සමන්විතයි.

Rainbow Eucalyptus මේ ශාක විශේෂය පිලිපීනය, ඉන්දුනීසියාව පැපුවා නිව්ගිනියා ආදී රටවල්වලට පමණක් ආවේණික කපුරු ගස් විශේෂයක් වෙනවා. මේ කපුරු ගසේ අධි වර්ධන වේගයක් පවතින අතර වසරකට අඩි තුනක් හෝ මීටරයක් පමණ මේ ගස් වර්ධනය වෙන බවයි පැවසෙන්නේ. ඒ වගේම මේ ශාකයේ කඳ උපරිම අඩි 6 ක් පමණ  දක්වා වර්ධනය වන අතර එය සැබෑවට දකින්නට ප්‍රිය මනාප ශාකයක් විදියට හඳුන්වන්නට පුළුවන්.

Divi Divi Tree 

Aruba

මේ ශාක විශේෂයේ විශාලතම ගස අඩි 50 ක් පමණ උසින් යුක්ත වෙනවා. වෙරළබඩ ප්‍රදේශවල වැවෙන  ශාකයන් හරහා තද සුළං හමා යාම නිසා මේ ශාකය සාමාන්‍ය ගසකට වඩා වෙනස් විකෘති පෙනුමක් ගනු ලබනවා. ඒ නිසාවෙන් එය නිතරම නිරිත දිශාවට හැරී පවතින මාලිමාවක් ලෙසත් හඳුන්වනවා. නමුත්  දැඩි සුළං නොමැති ප්‍රදේශවල සාමාන්‍ය ගසක ස්වරූපයෙන් වැඩෙනු දකින්නට පුළුවන්. මේ ශාකයේ තවත් විශේෂත්වයක් වෙන්නේ  එහි හට ගන්නා කරල්වලින් ලබා ගන්නා  තද කහට ලෙදර් නිෂ්පාදනය සඳහා  භාවිතා කිරීමයි.

Dragon’s Blood Tree 

ලෝකයේ ඇති තවත් විශේෂ දුර්ලභ ශාකයක් තමයි ඒ Dragon’s Blood යන ශාකය.යේමනයේ සිට සැතපුම් 200 පමණ දුරින් පිහිටි සොකොට්‍රා දූපතට ආවේණික ශාක විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.ඊටම ආවේණික වූ කුඩයක හැඩය නිසා අනෙකුත් ශාකවලින් පහසුවෙන් ඒ ශාකය වෙන්කර හඳුනා ගන්නට හැකියාව පවතිනවා. ඒ ශාකයට මකරලේ ශාකය යන නාමයත් භාවිතා වන අතර මේ ශාකයෙන් වෑහෙන රතු පාට දියරය එසේ හඳුන්වන්නට හේතුවී තිබෙනවා.

ඉතින් මේ ශාකයේ මේ රතු පැහැ යුෂය වර්ණයන් නිෂ්පාදනයට භාවිතා කරනු ලබන අතර විවිධ රූපලාවන්‍ය කටයුතු සඳහාත් මේ දියරය භාවිතා කරනු ලබනවා. උදුගොව්වන් කෑම, උදරාබාධ සහ මැලේරියාව වැනි රෝගවලට ප්‍රතිකාර විදියටත් මේ ශාකයේ යුෂ භාවිතා වෙනවා. එසේම මවුවරුන්ගේ කිරි වර්ධනය කරන්නටත් මෙය ඖෂධයක් ලෙස භාවිතා කරනවා. ඉතා ඉහළ දරා ගැනීමේ හැකියාවත් ඉතා අලංකාර නිමවුමක් සඳහා භාවිතා කළ හැකිවීමත් නිසා මේ ශාකය විවිධ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ද භාවිතා කෙරෙනවා. ආයුර්වේද ප්‍රතිකාර කටයුතු සඳහා අප්‍රිකානු කලාපයේ මේ ශාකයේ කොටස් බහුලව භාවිත වෙනවා.

මේ Dragon’s Blood ශාකයක් වසර 600- 1000 තරම් දක්වා කාලයක් ජීවත් වන නමුත් ඉතිරිව ඇති මේ ශාක අතරින් ඇතැම් ගස් මේ දූපත හරහා හමායන කුණාටු නිසාවෙන් මුලින්ම ඉදිරී වැටි තිබීම නිසාවෙන් වඳවීමේ තර්ජනයට මුහුණ දෙන ශාකයකි.

Basket Tree 

මේ නාමය මේ ශාකයට ලැබෙන්නට ඇත්තේ ගසේ ස්වරූපය නිසාවෙන් බව එය දුටු විගසම ඔබට වැටහේවි. ඒ ශාකයේ මැද හිස් ආකාරයෙන් නිර්මාණය වී තිබීම සැබැවින්ම විස්මිතයි. නමුත් ශාකය ස්වාභාවිකව හටගන්නා තවත් ශාකයක් නම් නොවෙයි. මේ ශාකය Axel Erlandson නම් පුද්ගලයෙක් විසින් ආවේණික හැඩයකින් යුක්තව  නිර්මාණය කළ ශාක එකතුවක එක් ශාකයක් වෙනවා.

ඔහු ස්වීඩන් සහ ඇමරිකානු සම්භවයක් සහිත ඔහු ජීවත් වුණේ 1884- 1964 යන කාලය ඇතුළතයි. ඔහු ලෝකයේම අවධානය ලබා ගන්නට මේ අපූරු ශාක නිර්මාණය කළ බව පැවසෙනවා. ඔහු වෙළෙඳ දැන්වීම්වල පවා ප්‍රචාරණය කර තිබුණේ ලොව අමුතු හැඩයේ ශාක නරඹන්නට පැමිණෙන්න යනුවෙන්. ඒ අපූරු ශාක එකතුව තුළ කකුල් දෙකේ ශාකයක්,ඉදිකටුව සහ නූල් බෝලය නමින් හඳුන්වන ශාකයක් හා ඝනකයක හැඩයේ ශාකයක් ද දකින්නට පුළුවන්. ඉතින් ඔහු කළ අමුතු හැඩයේ ගස් සැබැවින්ම විස්මිතයි.

ඉතින් ඒ අපූරු බාස්කට් ගස නිර්මාණය කළේ සිගමෝ ශාකයන් 6 ක් වෘත්තාකාරව සිටවා ඒ ශාකයන් අඩියක් වර්ධනය වූ විට එහි මුදුන කපා ඉවත්කොට  දියමන්ති හැඩයකට ඒවා එකිනෙකට බද්ධ කිරීමට සැලැස්වීමෙන් .

Sabina Tree 

මේ ශාකයත් ලෝකයේ ප්‍රදේශ කිහිපයකට පමණක් විශේෂ වුණු අමුතුම ශාකයක් ලෙසට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ශක්තිමත් භාවයෙන් ඉහළ ගාම්භීර ශාකයක් විදියටයි මේ ශාකය හඳුන්වන්නේ. මේ ශාකයේ දකින්නට තියෙන විශේෂත්වය වෙන්නේ  අධික වේගයෙන් සුළං හමායාමේ ඉහළ උන්නතාංශයක පවා නොනැසී සිටීමට හැකිවීම. අඩි 26ක් පමණ උසට වර්ධනය වන මේ ශාකය ලවණ මුසු වාතය අධික වර්ෂාපතනය  සහ වෙරළබඩ ප්‍රදේශයන්වල පීඩන තත්ත්වයන්ට ද ඉතාමත් හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් පවතිනවා.මේ ශාකය 3200 සිට 10000 දක්වා වූ  ඉහළ උන්නතාංශයන්වල වැඩෙන ශාකයක් ලෙස මෙය හඳුනා ගන්නට හැකියි.

මේ ශාකයේ කඳ නිර්මාණය වෙන්නේ සුළං විසින් එය තල්ලු කරන දිශාවට ගැළපෙන ආකාරයට වන අතර මිය යනවා වෙනුවට මේ ශාකය නොනැසී පවතින්නට විශාල සටනක කරන බව ඒ ශාකය වැඩී ඇති ස්වරූපයෙන් වටහා ගන්නට හැකියි. ඇතැම් Sabin ශාකයන් වයසක පුද්ගලයෙක් මෙන් කුදු වී පොළව ස්පර්ශ කරමින් පවතිනවා. ඈත අතීතයේ සිට මිහිමත පැවති මේ ශාකය ඉබීසාවල (Ibiza)බහුලවම දැක ගන්නට පුළුවන්. ඒ හැරුණාම  මධ්‍යම සහ දකුණු දිග යුරෝපයේ ,බටහිර සහ  මධ්‍යම  ආසියාව ස්පාඤ්ඤය සහ  සයිබීරීයාවේ ද ඒ ශාක විශේෂය දකින්නට පුළුවන්.

Web Trees 

මේ අපූරු ශාකය නුග ගසක් . මේ අපූරු නුග ගස දකින්නට ලැබෙන්නේ චීනයේ ගුවාන්ෂි පළාතේ.වියමනක් ලෙස පැතිර ඇති මුල් පද්ධතියකින් නැගී සිටින නුග ශාකයක් වන අතර එහි මුල් පද්ධතිය මේ ආකාරයෙන් සැකසෙන්නට හේතුවෙලා තියෙන්නේ එය මුල් කාලයේ තාප්පයක් මත පැවතී පසුකාලීනව ඒ තාප්පය බිඳ වැටීමෙන් ඒ ශාකය උදුරා වෙන ස්ථානයකින් සිටුවන්නට කටයුතු කරන්නට සිදුවීමත් සමඟ. ඒ නිසාවෙන් ඒ ශාකයේ මුල් පද්ධතිය පසුව කඳ බවට පත්ව තියෙනවා.

මේ ශාකයේ මුල්වල වූ ආක්‍රමණශීලීත්වය සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන්නේ එය  Strangler Fig ශාකයට බොහෝ සමානයත්වයක් දැක්වීමත් නිසා. මේ Strangler Fig ආදි ශාක වැඩෙන්නට විශාල වෘක්ෂයන් තෝරා ගන්නා අතර එහි මුල්වලින් පෝෂකයන් උරා ගැනීම නිසා ධාරක ගස මැරීයනවා. මේ වියමනක් ලෙස මුල් විහිදෙන ශාකයන් අනෙක් ගස මරාගෙන හෝ නොනැසී සිටින්නට වෙහෙසක් ගන්නා බව පෙනෙනවා.

අපේ ලෝකයේ පවතින ශාක අතුරින් පුදුම ශාක කිහිපයක් පමණයි මේ විමර්ශනයට ලක් කලේ.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!