” ශා දැන් ආතල් ඇති නේ තමුන්ට. හරි ලොකු කතාවක් ලිව්වනෙ. ‘ ශාපලත් දුරකතන අංකය ‘. අර කෙල්ලොත් ඉතිං අයියේ ලස්සනයි, අයියේ ඉක්මනට ඊලඟ කොටස දාන්නකො, අනේ අයියේ වාව්, ඔයා මාරයි, මේක තමා ලස්සනම කතාව කිය කිය ඔයාව උඩින් තිබ්බනෙ. කතාව ලස්සනයි තමා. හැබැයි ඔයාව උඩ යවපු එක වැරදියි. හහ්.. මමනෙ දන්නෙ අයියගෙ රඟේ. ගෙම්බෙක් ගිය උඩ කිව්වලු. ඒවා මේවා වැඩක් නෑ ඊලඟ කතාව මගේ එකක් වෙන්නෝනෙ. ඈවරයි දෑවරයි එච්චරයි කතාව. ආයෙ නොකිව්වයි කියන්න එපා හරිද.. දැන් කී දෙනෙක් තමුන්ට මැසේජ් කලාද ආහ්. කියනව කියනවා හැන්ගුවයි කියල වැඩක් නෑනේ. මං කොහොමත් ඕවා දැනගන්නවනෙ. මං ඔක්කොම බලන් හිටියෙ.. “
” එහ් පිස්සුද ගෑනියෙ. හැමෝම මට මැසේජ් දාන්න මං ශාරුක් කාන්ද රිතික් රෝශන්ද ඕයි.. කතාව ලස්සන නිසා මිසක් මං ලස්සන නිසා නෙමේ ඕයි කට්ටිය කමෙන්ට් කරන්නෙ මැසේජ් කරන්නෙ.. අනික ඔක්කොම බලන් හිටියනම් ඇයි යකූ මගෙ එක කතාවකටවත් ලයික් එකක්වත් දැම්මෙ නැත්තෙ..”
” මේ මේ හලෝ.. මගේ රාජකාරිය කතාවලට වැටෙන කමෙන්ට්ස් එකක් නෑර විශ්ලේශණාත්මකව කියවීම මිසක් ඕවට ලයික් කමෙන්ට්ස් දැමීම නෙමේ. හරි හරි ඒවා වැඩක් නෑ. කියපු දේ මතකයිනෙ. ඊලඟ කතාව මං ගැන එකක් වෙන්නෝනෙ.. එහෙම නැතිවුනොත් කොරෝනා ඉවර වෙලා මං ඔහෙ එද්දි තවුසෙත් ඉවර වෙලා තියෙයි.. “
උක්ත දෙබස මා සහා අරයා අතර සිදු වූවක් නොවන බවත් මෙතැන් පටන් අරයා ගැන දිග හැරෙන කතාන්තරය මාගේ ස්ව කැමැත්තෙන් ඔබ වෙත ඉදිරිපත් කරන බවත් දිවුරා පවසමි.
( මියුසික් – පසෙකින් සෝකාකූල ගීතයක් ඇසේ.. ).
දකුණෙ ඇත්තො කොහොමත් හරි සංග්රහශීලියි කියල මුලු රටම දන්නවනෙ. ඔන්න ඉතින් හා හා පුරා කියලා මුලින්ම මං අරයැයිලගෙ ගෙදර ගියේ එක්තරා දවසක උදේ පාන්දරම. ආදරණීය මව්තොමෝ ඉදිරියට පැමිණ ඇහුවෙ,
” ඔහේට බඩගිනිත් ඇති නේ.. “
මලා.. බඩගිනි බව සත්යයි කොහොමද කියන්නෙ ඔව් කියල. ” ඔහෙ ” කියලනෙ පටන් ගත්තෙ. මට හිතුන හැරෙන තැපෑලෙන් ඊලඟ හයිවේ බස් එකට නැගලා ගෙදර යන්න. එහෙමත් බෑනේ කියලා ගේ ඇතුලට ගියා වෙන දෙයක් වෙයිනෙ කියලා හිතලා. උදේ කෑම මේසේ ලැහැස්තියි.
” ඔහේ තේ බොනවද.. බත් කනවද “
අනේ ඉතින් ආයෙත්. මං අසරණයි. අරය ඉන්නවා හිනැහි හිනැහි කැරකි කැරකි ඹඹරෙ වගේ. මං හිතට දිරි අරන් කිව්වා ” තේ ටිකක් බීලම බත් කමු නේහ් ” කියල. ටික වේලාවක් සතුටු සාමීචියේ යෙදිල ඉද්දි මට තේරුනා මේ ” ඔහෙ.. ඔහේ ” ගාන්නෙ මට ඇති අනාදරේකට නොවන බව. ඒ එයාලගෙ විදිය.
තේ ඒම බීලා ටික වෙලාවකින් ලැහැස්තිය උදේ අහර අනුභවයට. කෑම මේසෙ ඉඳගත්ත මට පෙනුනේ ගැහුවොත් නලල ගෙඩි ගැහෙන සයිස් රතු බත් ඇට. ” අම්මේ මේ ඇට වල සයිස් එක ” මං කිව්වා නෙමේ මට කියවුනා. ” ආහ් පුතේ මෙහෙ කුඹුරු වල හැදෙන හාල්නෙ ඔය. ඕවා හරි ගුණයි.. ” පසෙකින් ඇසුණි.
පසෙකින් තඩි බත් ඇට පිරි භාජනයයි. අනෙක් පසින් බඩගිනි වැඩි කරවන තරම් සුවඳ හමන උකු කිරි හොද්දයි තවත් පසෙක සැර සුවඳක් හමන රතට දිලිසෙන කට්ට සම්බෝලයයි. කෑම මේසයෙ වෙනත් යමක් තිබුනේ නැත. මං හිතන්නෙ දකුණෙ ඈයො උදේට කන්නේ මෙච්චරක් වෙන්ටැති.
පිඟානට රතු බත් සමග කිරි හොදි, කට්ට සම්බෝලය යහමින් බෙදාගත් මම සුලලිත ආකාරයෙන් කටක් අනා රස බැලුවෙ කෑමේ බීමෙදි පවා අනාගත බෑණා ඉතා විනීත බව පෙන්වමින්.
” සෑස්.. සූස්.. ස්රාස්.. ” අප්පද බොල මොනාද මෙච්චර සැර. මගේ ඇස් වල කඳුලු දකිමින් සිනාසෙන අරයා දුටු විට මට තවත් මල.
” අනේ පුතේ ළුණුමිරිස් පොඩ්ඩ පොඩ්ඩ දාගෙන කන්න. ඕවා ගෙදර කොටපු මිරිස්. හරි සැරයි. ආ හොදි ටිකක් වැඩියෙන් දාගන්න.. ” බලන් යද්දි ගෑණිට වඩා අම්මා මං ගැන හිතනවා.
පුරුදු ඇත්තෝ කී පරිද්දෙන් හබුන් කටයි මිරිස් චුට්ටයි හොදි ගොඩයි දමා අනාගත් බත් ගුලිය කටට දාගත් විට මට දැනුනේ සුර ලොව අමෘතය ලෙසය. ඇත්තටම මගෙ ජීවිතයේ රසම උදෑසන අහාර වේල මා ගත්තෙ එදිනය. පොල්කිරි යහමින් වැටුණු කිරි හොද්ද , උම්බලකඩ ලියා ඇනූ කට්ට සම්බෝලය හා ලොකු ඇට රතු හාල එක්වී සැදුන එතුන් මිශ්රණයෙන් ලද රස චීස්, හැම්, බර්ගර් ආදීන්ගෙන් කිසිදා ලබා ගත නොහැකි බව ඉඳුරාම කිව හැක.
උදෑසන සමය අවසන් වූයෙ ආගිය තොරතුරු සාකච්ඡා කරමිනි. ඔවුන්ගෙ කතා බහා තුලද ගැබ්වී තිබුනේ අව්යාජ බවය. සැබවින්ම දකුණෙ ඇත්තන් හරි සුන්දරය.
දහවල් කාලය වන විට අම්මා ලහි ලහියේ කුස්සියේ වැඩය. තාත්තා පෙනෙන්නට නොසිටී අතර ඒ ගැන ඇසූ පසු දැනගන්නට ලැබුනේ පොඩි බෑණාට කිරියි පැණියි ගෙනෙන්නට ගොස් ඇති බවය. ඇත්තෙන්ම මා කිරියි පැණියි වලට ඉතා කෑදර බව අරයා විසින් පවසා ඇති අතර හොඳම තත්වයේ කිරි පැණි ගෙන තාත්තා එන විට බොහෝ වේලා ගත වී තිබුණි.
” බලන්නකො. හොඳ කිරි පැණි කොහෙවත් නෑනෙ ලඟ පාත. අන්තිමට කිරි නම් හම්බුනා හොඳ පැණී හොයන්න ගාල්ල පැත්තටම යන්න උනා ” ප්රමාදයට හේතු ඔහු පැවසීය.
අවශ්යනම් ලඟම කඩයට ගොස් කිරි පැණි ගෙනෙන්නට හැකි වුවද මා වෙනුවෙන් මාතර සිට ගාල්ල ආසන්නයටම ගොස් කිරි පැණි ගෙනා ඔහු ගැන මා සිත හටගත්තේ ඉමහත් ආදරයකි.
දහවල් කෑම මේසය ඉතා සරු වුණි. මිරිසට සෑදූ කෙලවල්ලන් මාලු හොද්ද, කිරට සෑදූ පරිප්පු හොද්ද, තෙල් දැමූ බෝංචි ව්යංජනය, කලවම් කොල මැල්ලුම සහා ලුණු දමා බදින ලද රතු මිරිස් සහා පපඩම් එයට අයත් වීය. රට තුල මාතර බත් කඩ මෙතරම් ඇත්තේ මන්දැයි මා සිත තුල එතුවක් කල් වූ පැණයට පිලිතුර එදින දිවා අහාරයෙන් ලැබිණි. මාතර බත් රස නහර පිනා යන සුලුය.
දිවා අහාරයෙන් පසු මා කිරි පැණි බලාපොරොත්තු වුවද මා හට ලැබුනේ ලා කහා පාටින් ඉදී සුවඳ හමන ඇම්බුං කෙහෙල් ගෙඩියකි. ” කිරි කෝ ” යැයි මා අරයාගෙන් විමසුවද ලබුණ පිළිතුර ” ඉවසල ඉන්නවකො ඉතින් ” යන්නයි.
මුලු සැඳෑ සමය පුරාම මස්සිනා සමග පච දෙසූ මා අවසානයේදී ලක ලැහෑස්ති වූයේ රාත්රී අහාර වේලටය. ඉඳි ආප්ප කෙරෙහි මාගේ වූ කැමැත්ත දැනසිටි ඔවුන් ඒ වන විටද රතු සුදු දෙවර්ගයෙන්ම ඉඳි ආප්ප සාදා තද කහ පාටට පොල් මැල්ලුමක් සහ කිරි හොදි සාදා තිබිණි. මෙහේදි පොල් සම්බෝල සමග ඉඳි ආප්ප කා තිබූ මා හට පොල් මැල්ලුම් රස අලුත් අත්දැකීමක් වීය. අප ඉඳි ආප්ප කන අතරේද අම්මා සහා තාත්තා කුස්සිය තුල කාර්යබහුල විය.
” ඒයි මොකද අම්මයි තාත්තයි කුස්සියෙ කරන්නෙ. කන්න එන්නෙ නැද්ද.. “
” ඒගොල්ලො කුරක්කන් පිට්ටු හදනවා.. “
” හෑ.. ඒ මොකෝ. මේ ඉඳිආප්ප තියෙන්නෙ. ආහ් හෙට උදේට කන්න දැන්ම හදලා තියෙනවද.. “
” නෑ මෝඩයෝ. මේ පැති වල රෑට හදලා උදේට කන සිරිතක් නෑ.. තුන් වේලටම උයනවා. කුරක්කන් පිට්ටු හදන්නෙ අපිට දැන් කන්න.. “
” මේ පිස්සුද මටනම් තව එක ඉඳි ආප්පයක්වත් කන්න බෑ. තිහක් විතර කාලා ඉන්නෙ. ඒ අස්සෙ කොහොමද පිට්ටු කන්නෙ.. “
” ඉන්නවකො හලෝ කියවන්නැතුව. ඔයා කයි.. “
පිට්ටු බම්බුවක් සේ පිම්බුනු බඩගෙඩිය දෙස බලමින් මා ” හ්ම් ” යැයි පවසා නිහඬ වූයේ කෙසේ හෝ දැන් පිට්ටුත් කන්න වන බව පසක් වූ නිසාවෙනි.
ඉඳි ආප්ප කා මඳ වෙලාවකට පසුව අම්මා පැමිණියේ බොකුටු පිඟානක අඩිය වැසෙන සේ එය කුරක්කන් පිට්ටු වලින් පුරවාය. එය මා අතට දුන් ඇය එයට උඩින් කෑලි කැපිය හැකි සේ ඝනකමින් යුත් නැවුම් මුදවපු කිරි දැමූ අතර ඊටත් උඩින් ගාලු ගොස් ගෙනා කිතුල් පැණිය වක් කලාය.
” මේ මොන කෑමක්ද. ඉව්ව්ව්. අම්ම මුත්තා කාලෙක කාලත් නෑ දැකලත් නෑ මෙහෙම කිරි කෑමක්.. ” යි සිතින් සිතමින් මා අරයා දෙස බැලූවෙමි.
” කිරිනෙ ඕන උනේ. කනවා ඉතින් දැන්. ඕක හොඳට අනාගන්න. අප්පිරිය කරන්නැතුව කන්න. “
ඇයගේ විධානයත් සමග මා මේ අමුතු කිරි කෑම ආරම්භ කලෙමි. මුලින්ම හැන්දෙන් කුරහන් පිට්ටු කැටයක් ගෙන ඒ මත කිරි හා පැණි තවරා රස බැලුවෙමි. ගැටලුවක් නොමැත. පිට්ටු වල තද ගතිය, කිරි වල මෘදු ගතිය, පැණි වල මත් ගතිය මොළය මගින් පිලිගන්නා බවක් දැනුනි. තුන්ද්රව්යම එකට අනාගත් මා පිරියකින් යුතුව කිරි කන්නට වුනු අතර ක්රම ක්රමයෙන් එහි රස මොළයෙහි වූ රස ස්නායූන් තව තවත් ඉල්ලන්නට විය. මා නැවත නැවතත් බෙදාගනිමින් පිට්ටු සමග කිරි පැණි කන්නට වුනි. එහි රසට කෙතරම් ලොල් වූවේදැයි කිවහොත් එතැන් පටන් අද දක්වාම මා කිරි කන විට එයට අඩු තරමේ බත් හැන්දක් හෝ දමා කෑම සිරිතක් කර ගතිමි.
තවත් දිනක සවස් යාමයක ගෙතුල හමන්නට වූයේ මිහිරි සුවඳකි. අපට එම සුවඳ ‘ දිවුල් සුවඳ ‘ වූ අතර ඔවුනට එය ‘ ජූල් සුවඳ ‘ විය. ඒ පිළිබඳව මා විමසූ විට අරයා පැවසූයේ ” අද රෑට ජූල් කිරි කන්න ලෑස්ති වෙන්න ” ලෙසය. දිවුල් හා ජූල් සම්බන්දය ඒ වන විට මා දැන සිටි නමුත් සිත තුල වද දුන් ප්රශ්නය වූයේ දිවුල් කිරි කන්නේ කෙසේදැයි යන්නය. ඉතා ඉක්මනින් එයටද පිළිතුරු මට ලැබිණි. සුලු වේලාවකින් රතු බත් මතට උකු මීහිරි දිවුල් කිරි වැක්කෙරූ පිඟානක් මා අතට පත් වීය. මා හට එය අමුතු කාරණාවක් වුවද ඔවුන් බත් සමග ජූල් කිරි කන්නේ ඉතා ගිජු ලෙසිනි. ඇත්තෙන්ම එය රසවත් අහාරයකි.
පිට්ටු සමග කිරි කෑම, බත් සමග දිවුල් කිරි කෑම, හකුරු සමග ආප්ප කෑම, පොල් මැල්ලුම් සමග ඉඳි ආප්ප කෑම, සීනි සම්බෝල සමග කිරිබත් කෑම , පැණි සමග කිරිබත් කෑම යන නව අහාර රටාවක් මා හට හිමි වූයේ දකුණට නෑගම් ගිය පසුය.
මෙය ඇතැමෙක්ට අප්රිය වනු ඇති අතර ඇතැමෙක් ඉතා ගිජු ලෙස පිළිගන්නවා වන්නට පිලිවන. මෙය කියවන දකුණේ අය එයට සාක්ශි දරාවි යැයි මා විශ්වාස කරමි. මාද මුලදි අප්රිය කොට පසුව එයට ගිජු වූ අයෙක්මි. කුමක් කෙසේ වූවත් දකුණේ ඈයෝ තරම් ආගන්තුක සත්කාරයට සමත් පිරිසක් තවත් නොවෙති.
මේ වන විට අරයාගෙන් දුරස් වීම කෙසේ වෙතත් එම පවුලෙන් දුරස් වීම කල නොහැක්කක් බව මම මනාව පසක් කරගෙන සිටිමි.
– ඉරාන් යූ කුමාරගේ –
ප.ලි
අවසාන වශයෙන් අරයැයි සහා මා අතර එවැනි සංවාද ඇතිවන්නේ විනෝදයට බවත් කමෙන්ට් කිරීමෙන් නොවලකින ලෙසත් ප්රකාශ කරමි.
උපුටා ගැනීම: Iran U Kumarage