උඩහලු,නළල් බටු,පඩවැල් ,බළල් පහුරු, යන ආදි නම් වලින් හඳුන්වන දැල් බටු යනු උතුරු ඇමරිකාව හා මධ්‍යම ඇමරිකානු රටවල වැඩෙන දේශීය වැල් විශේෂයකි. ශ්‍රී ලංකාවට ආවේනික වැල් විශේෂයක් වු දැල් බටු බොහෝ විට දැකගත හැක්කේ කැලෑබද ප්‍රදේශවලය. මෙහි හටගැනෙන මල් හා ගෙඩි වැල්දොඩම් ගෙඩි සහ මල් වලට බෙහෙවින් සමානකම් දක්වන අතර දැල් බටු වැල්ද වැල් දොඩම් කුලයටම අයත් වේ. එනම් passifloracea කුලයටයි.
දැල් බටු වැල ගත් විට එහි පත්‍ර හා කඳ මද බූවකින් යුතු වන අතර හටගනු ලබන මල් සුදු පැහැති වේ. කොළ පැහැති අමු ගෙඩි ඉදුණු පසු කහ පැහැති වේ. මෙහි විශේෂත්වය වන්නේ ගෙඩි ස්වභාවිකවම දැලකින් ආවරණය වී තිබීමයි.දැල් බටු ඉංග්‍රීසි භාෂාවෙන් Bushpassion fruit, Running pop යනුවෙන් හඳුන්වන අතරම ආයුර්වේදයේ දේවදාලී යන නමින් විවිධ අත්බෙහෙත් පොත්වල හදුන්වා තිබේ.
අදවන විට මෙම පළතුර බොහෝ පරීක්ෂණ සදහා යොදා ගෙන ඇති අතර එම පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ එහි විවිධ ගුණ අඩංගු වන බවයි.ප්‍රතිඔක්සිකාරක, මේද අම්ල, ඛනිජලවණ, විටමින් බී,සී ඒ අතර කිහිපයක් වේ.දැල් බටු වැලෙහි පත්‍ර, කොළ, මුල් ආදිය ආයුර්වේදයේ විවිධ රෝග සඳහා ඖෂධ ලෙස යොදා ගනී. එමෙන්ම ඉදුණු දැල් බටු වල අඩංගු බීජ මඟින් මෙය රෝපණය කළ හැකිය.
දැල් බටු ශාකයේ ඖෂධීය ගුණයන්
- රක්තවාතයට,ශරීරගත ඉදිමුම්වලට, පෙනහළු රෝග වලට, උදර රෝගයන්ට, ලිංගිකව බෝවන රෝග වලට, කාන්තාවන්ගේ ආර්තව අක්‍රමිකතාවන්ට, අපස්මාරයට, දියවැඩියාවට,උණට , අර්ශස්වලට, ශරීර ප්‍රතිශක්තිය වර්ධනයට, සිරුරේ ඇතිවන කැසීම් වලට, පණු රෝග වලට , මලබද්ධයට,සර්ප විෂට මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට දැල් බටු භාවිතා කළ හැකිය.
- ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි.දැල් බටු ආහාරයට ගැනීම මගින් ශරීරයට අවශ්‍ය විටමින් සී හා විටමින් බී ලබාගත හැකිය. එමගින් ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය වේ. ඉදුණු දැල් බටු මේ සදහා ගුණදායි වේ.
- නින්ද නොයෑමේ රෝගී තත්වයට සුව නින්දක් ලබා ගැනීමට වියට්නාමය වැනි රටවල දැල් බටු ශාකයේ කොළ වියලා කුඩු කර නින්දට පෙර තේ පානයක් ලෙස භාවිතා කරයි. ඔවුන් පවසන්නේ මෙමගින් සුවබර නින්දක් ලබා ගත හැකි බවයි.
- ලේ අර්ශස්වලට දැල් බටු ශාකයේ මොට්ටු,මල්, ගෙඩි, මද පවනේ වේලා තම්බා පානය කරන්න.
- මලබද්ධය හා අර්ශස් වලට දැල් බටු කොළ ගෙන සිහින්ව ලියලා උණුවතුරට දමා තම්බා උදේ හවස පත භාගය බැගින් පානය කරන්න.
- දියවැඩියාවට දැල් බටු ශාකය තම්බා පානය කරන්න.
- සෙංගමාලයට සම්පූර්ණ ශාකයම ගෙන කැඳ සකස් කර පානය කරන්න.
- පණු රෝගයට පත්‍ර තම්බා පානය කරන්න.
- මීට අමතරව දැල් බටු ශාකයේ පත්‍ර කැස්ස සමනය කිරීමට මෙන්ම ශරීරගත නොයෙක් විෂ සමනයට එනම් සර්ප විෂට මෙන්ම ස්වභාවිකව ගබ්සා වූ විට ඇතිවන වේදනාවන් සමනය කිරීමට බහුලව යොදා ගනී.
- දැල් බටු පත්‍ර හා අමු ගෙඩි ආහාරයට ගැනීම ගුණදායක නොවන බව බ්‍රසීලයේ කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. එනම් කොළ හා අමු ගෙඩි ආහාරයට ගැනීම මගින් සිරුරට සයනයිඩ් එකතුවන බව හෙළිවී තිබේ. එම නිසා නිතර කොළ ආහාරයට ගැනීම මෙන්ම අමු ගෙඩි ආහාරයට ගැනීමෙන් වැළකීම ගුණදායක බව මතක් කළ යුතුය.
දැල් බටු පානය

- ඉදුණු දැල් බටු
- දෙහි යුෂ ස්වල්පයක්
- ලුණු යුෂ ස්වල්පයක්
- සීනී
ඉදුණු දැල් බටු වල පොතු ඉවත්කර-මදය වෙන් කර කෝප්පයකට දමා පදමට වතුර, ලුණු , දෙහි සහ සීනි මිශ්‍ර කර හොදින් දිය කර පානය කරන්න. තවත් පානය රසවත් කර ගැනීමට අයිස් කැට එකතු කර ගැනීම හෝ ශීතකරණය තුළ තැබීම සිදු කළ හැකිය.කෘතිම පාන වෙනුවට මෙවැනි ගුණදායි පානයක් සකස් කර ශාරීරිකව සිදුවන වෙනස ඔබත් අත්විද බලන්න.
උපුටා ගැනීම: The Lanka Post