පුරාණ රෝහණ රාජධානිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි එක්තරා වැදගත් සංධිස්ථානයක් ඓතිහාසික කසාගල විහාරයට හිමි වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වන මෙය රන්න වීරකැටිය මාර්ගයේ සිට කි.මි 10 ක් පමණ දුරකින් පිහිටා තිබේ.අනුරාධපුර රාජධානි සමයට සමගාමීව ඉදි වන්නට ඇතැයි සිතිය හැකි ය. මෙම විහාරය පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වඩාත් වැදගත් වේ.අනුරාධපුර යුගයේ සිට මහනුවර රාජධානි සමය දක්වා කාල පරිච්ඡේදය දක්වා ම මෙම විහාරය හා සම්බන්ධ සිදුවීම් රැසක් සිදුව ඇති බව මූලාශ්‍රගත තොරතුරුවලින් තහවුරු වේ.
මෙහි මූලාරම්භය ක්‍රි . පූ තුන්වන සියවස දක්වා ඈතට ගමන් කරනු ලබයි.එනම් ක්‍රි . පූ තෙවැනි සියවසේ රජ පැමිණි අනුරපුර පාලක දෙවනපෑතිස් රජු විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමත් සමඟ මෙය ආගමික මධ්‍යස්ථානයක් බවට පත්විය. ඓතිහාසික මූලාශ්‍රයන්හි මෙය කචගල පබ්බත යනුවෙන් සඳහන්ව ඇත.භික්ෂූන් වහන්සේලා විසින් සිවුරු මෙහි ඇති ගල් තලාවන් හි වියළීම හේතුවෙන් මෙම ස්ථානයට කසාගල යන නාමය ලැබී ඇති බව ද ජනප්‍රවාදයින්හි සඳහන් වේ. එනම් මෙහි භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එම විහාරය තුළ වැඩ සිටින්නට ඇති බව සිතිය හැකි වේ. එමෙන්ම මනෝරථපූරණී නම් ග්‍රන්ථයේ මෙම විහාරය කස්සක් ලෙන යනුවෙන් හදුන්වා ඇති අතර මිත්ත නම් මහරහතන් වහන්සේ වැඩ සිටි බව ද එහි සඳහන් වේ.

මෙම විහාරය අනුරාධපුර තරම් නොවුවත් යම් ආකාරයක් භික්ෂූ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් ද පවතින්නට ඇති බව සිතිය හැකි වේ. මන්දයත් සමස්ත ගල් තලාව වැසී ගිය අකාරයෙන් සිවුරු වියළීමට නම් අති විශාල භික්ෂූ පිරිසක් සිටිය යුතුම ය.එවැනි භික්ෂූ පිරිසක් වැඩ සිටියේ නම් ඒ තුළ බෞද්ධ අධ්‍යාපනය ලබාදීම ද නිරන්තර ව සිදුකරන්නට ඇත.එමෙන්ම අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ම විවිධ පාලකයන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති අතර එසේ ලැබීමට නම් මෙය ඉතාමත් ප්‍රබල ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් පැවතිය යුතුය.
මාගම හා මානාවුළු පුරවරය රෝහණ රාජධානියේ ඉතාමත් සුවිශේෂී ආගමික මධ්‍යස්ථාන පැවත ඇති අතර එයට සමගාමීව මෙම කසාගල විහාරය ද පවතින්නට ඇත.විශේෂයෙන්ම මහානාග යුව රජු විසින් මෙහි පැරණිම විහාර මන්දිරය ඉදිකර ඇති බවට පවතින මතය සත්‍ය නම් රම්බා විහාරයට දක්වන ලද සැලකිල්ල මෙම විහාරයට ද දක්වා ඇති බව නොරහසකි. විශේෂයෙන් රම්බා විහාරය හා කසාගල අතර පවතින සමීප දුර ප්‍රමාණය ද මෙයට එක් හේතුවක් වන්නට ඇත. දේවානම්පියතිස්ස රජු මෙම විහාරය ආරම්භ කළ බැවින් සොහොයුරු වූ මහානාග යුවරජු විසින් මෙයට මූලික වශයෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට ඇත.

මීට අමතරව තවත් බොහෝ රාජ්‍ය පාලකයින් විසින් මෙම විහාරස්ථානයට රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබේ. එහිදී ඔවුන් ගොඩනැගිලි, වෙහෙර විහාර ඉදි කිරීම මෙන්ම ඒවා ප්‍රතිසංස්කරණය ද සිදුකර තිබේ. කාවන්තිස්ස රජු මෙම විහාරයේ ගොඩනැගිලි කිහිපයක් ඉදි කරවන ලද අතර මීට අමතරව රජ වන දප්පුල, පළමු වන විජයබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදි රජවරුන් ද බොහෝ සේවාවන් සිදු කර තිබේ.
කීර්ති ශ්‍රී රාජසිංහ සමය මෙහි එක්තරා සුවිශේෂී අවධියක් ලෙස සැලකිය හැකි වේ.දළදා වහන්සේ උදෙසා දළදා පෙරහැරක් පවා පවත්වා ඇති අතර එම කාලයේදී දළදා වහන්සේ වැඩ සිටින්නට ඇති බව ද සිතිය හැකි වේ. එමෙන්ම එම කාලපරිච්ඡේදය තුළදී රන් පිළිමයක් ද මෙම විහාරයට පූජා කර ඇති බව සඳහන් වන අතර අතීතයේ නිර්මිත මාලිගා ගොඩනැගිල්ලක් විහාර මන්දිරයක් බවට පරිවර්තනය කර තිබීම ද සුවිශේෂී වේ.
මෙම විහාරය ආශ්‍රිත කලාපය ඇතැම් පාලකයින් තම යුධ කාර්යයන් සඳහා මෙන්ම ආරක්ෂාව සඳහා ද යොදාගෙන ඇත. දළදා වහන්සේ පවා ආරක්ෂා කරගැනීම සඳහා ද මෙම ස්ථානය භාවිතා කර ඇති අතර දුටුගැමුණු රජු යුධ පුහුණුවීම් සිදුකර ඇත්තේ ද මෙම ස්ථානයේ වීම විශේෂත්වයකි.
මෙම විහාරස්ථානයේ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ ස්තූපයන් දෙකක් පිහිටා තිබීමයි. මෙය ඉතාමත් චමත්කාරජනක දර්ශනයකි. මෙම ස්තූප මධ්‍යම ප්‍රමාණයේ ඒවා වන අතර සෙල්ලිපි සහිත ගල් තලාව මත පිහිටි ස්තූපය දෙවන පෑතිස් රජු විසින් ඉදි කරන ලද ස්තූපයයි. අනෙක් ස්තූපය සද්ධාතිස්ස රජු විසින් ඉදිකරන ලද ස්තූපය වේ.

එමෙන්ම මෙහි ඉතාමත් වටිනා සෙල්ලිපි කිහිපයක් දක්නට ලැබේ. ඒවා දෙවන ශතවර්ෂයට අයත් වේ. එම එක් ලිපියක “කචගල පබ්බත ” යන නාමය සඳහන් වේ. මෙම ශිලා ලේඛනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් කුඩා ස්තූපය ඉදිකර ඇති ගල් පර්වතය මත පිහිටි ඒවා වේ. එහෙත් අද වන විට එම ශිලා ලේඛන දැඩි ලෙස විනාශ වී ඇති අයුරු දැක ගත හැකි වේ.
මෙය යම් යම් කාලයන්හි දී යුධ කඳවුරු වශයෙන් පැවති බව සනාථ කරන සාධකයක් වර්තමානයේදී පවා දැකිය හැකි වේ. එනම් එය අඩි 236 ක් පමණ දිගින් හා අඩි 5 ½ පමණ උසින් යුත් ශිලාමය පුවරුවක් වන අතර එය සමස්ත විහාර භූමියෙන් වැඩි කොටසක් ආවරණය වන ආකාරයෙන් නිර්මාණය කොට තිබේ.
මෙහි ඇති තවත් වැදගත්කමක් වන්නේ මහනුවර යුගයේ සිතුවම් හා මූර්ති සහිත විහාර මන්දිරයයි. මෙම විහාර මන්දිරය ප්‍රවේශ මණ්ඩපය, ප්‍රදක්ෂිණා පථය හා ගෘහය යන අංශ ත්‍රිත්වයෙන් යුක්ත වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙයට රන් පිළිමයක් පූජා කොට මෙය පිළිම ගෙයක් බවට පරිවර්තනය කිරීමත් සමඟ මහනුවර යුගයේ චිත්‍ර හා මූර්ති ශිල්පීන් ද ගෙන්වා මෙම විහාර මන්දිරය අලංකාර කොට තිබේ. මහනුවර යුගයේ සිතුවම් පිහිටි රෝහණ රාජධානියේ ඇති තවත් එක් ඓතිහාසික ස්ථානයක් බවට කසාගල පත්ව තිබේ. එහෙත් අනෙක් ස්ථානයන්හි දැකිය හැකි මහනුවර යුගයේ සිතුවම් හා මූර්තිවලට වඩා මෙම විහාරයේ සිතුවම්වල සුවිශේෂත්වයක් ඇත.

එනම් , මේ තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ මහනුවර යුගයේ ම දකුණු ගුරුකුලයට අයත් ශිල්පීය ප්‍රතිභාව බව විද්වත් මතයයි. එමෙන්ම දක්ෂිණ ශෛලියට අමතරව සංක්‍රාන්තික ශෛලිය ද මෙම සිතුවම් තුළින් නිරූපණය වේ. මෙම ද්විත්ව ශෛලිගත සිතුවම් හා මූර්ති හේතුවෙන් අනෙක් ස්ථානයන්හි දැකිය හැකි මහනුවර යුගයේ සිතුවම්වලට වඩා මෙහි අපූර්වත්වයක් ද ඇත. බුදුන් වහන්සේ සිතුවම් කිරීම , ජාතක කතා සිතුවමට නැගීම, ද්වාර පාල මූර්ති නිර්මාණය, බුද්ධ ප්‍රතිමා නිර්මාණය, ලියවැල් හා මෝස්තර ආදි සෑම නිර්මාණයක් තුළම මෙම පෙර සඳහන් සුවිශේෂී ශෛලීන් දක්නට ලැබේ. සිතුවම් කලාව පිළිබදව ගැඹුරින් හදාරන්නන්ට මෙය මනා තෝතැන්නක් වේ.
මීට අමතරව ශිලාමය කණු කොටස්, ශිලාමය කණු වලවල්, සදකඩපහන් ආදි බොහොමයක් පුරාවිද්‍යාත්මක සාධක මෙහි දක්නට ලැබේ. මෙහි කැණීම් හා ගවේෂණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කර ඇති අතර මෙම සාධක මෙම ප්‍රමාණයෙන් හෝ ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ආයතනයන් හා විහාරස්ථානය මගින් සිදු කර ඇති සේවය අගය කළ යුතුය. රෝහණ රාජධානියේ අතීත ශ්‍රී විභූතිය එදා මෙන්ම අදත් විරාජමානව විදහාපාන තවත් එක් සුවිශේෂී ස්ථානයක් වශයෙන් කසාගල විහාරය වැදගත් වේ.
උපුටා ගැනීම: Hela Rahas