දඩු මොණරින් උන්මාද චිත්‍රා බලන්න ගිය හෙළ යක්ඛයා (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලංකාවට පැමිණි මුල්ම ආර්යා වුණු විජය  කුමරු  කුවේණියගේ උදව්වෙන් ලංකා රාජ්‍යයේ බලය පිහිටුවා ගෙන  බොහෝ කාලයක් තම පිරිවරත් සමඟ පාලනය ගෙන ගියා.මේ ආකාරයට පාලනය ගෙන ගියපු විජය රජු මහලු වියට පත් වුණාම ලංකා රාජ්‍ය බාරදීම සඳහා තම මල්ලි වුණු සුමිත්තට සන්දේශයක් යවනු ලබනවා.ලංකා රාජ්‍ය පාලනයට කෙනෙක් එවන ලෙස දන්වමින්.නමුත් මේ සන්දේශයට පිළිතුරක් ලැබීමට පෙර විජය රජු මරණයට පත්වෙනවා.විජය රජු සන්දේශය යැවූ සුමිත්ත, සිංහබාහුගෙන් පසු සිංහපුරයේ පාලනය ගෙන ගිය සිංහපුර රජතුමා. සන්දේශය ලැබුණු සුමිත්ත රජු තම පුතුන් තිදෙනා කැඳවා ලංකාවට යාමට කැමති කවුද කියලා ඇහුවා. ඉන්පසු ඒ සඳහා ඔහුගේ බාලම පුතු වුණු පණ්ඩුවාසදේව කුමරු කැමතිව ඇමති පුතුන් තිස් දෙනෙකුත් සමඟ නැව් නැග ලක්දිවට ගොඩ බසින්නේ මහ කනදරා ඔය අසලින්. ඒ ක්‍රි .පූ. 504 දී.

මෙසේ ලක්දිව පාලනය භාරගත් පඩුවස් දෙව් රජු අභිෂේකය සඳහා භද්දකච්චායනා කුමරිය මෙරටට ගෙන්වා ගත්තා.මේ භද්දකච්චායනා කුමරිය බුදුන් වහන්සේගේ පියා වුණු  සුද්ධෝදන රජතුමාගේ සහෝදර අමිතෝධන රජුගේ පුතු වූ පණ්ඩු ශාක්‍ය රජුගේ දියණියයි. ඇය සමඟ මෙරටට කාන්තාවන් 32ක් පැමිණි බව සඳහන් වෙනවා.

පඩුවස්දෙව්ට හා භද්දකච්චායනා කුමරියට පුතුන් 10 දෙනෙක් ලැබුණු අතර ඒ අතර එක් දුවෙක් ද වුණා. උමතු කරවන රූපයක් හිමි ඇය චිත්‍රා. ඇයගේ රූ සපුව නිසාම ඇය උන්මාද චිත්‍රා ලෙස හැඳින්වුවා. ඒත් මේ චිත්‍රා ඉපදුණු වෙලාවේ දෛවඥයන් ඉතාමත් අසුබ අනාවැකියක් කිව්වා. එනම් ඇයට පුතෙක් ලැබුණොත් ඔහු සිය මාමාවරුන් සියලු දෙනාම ඝාතනය කර රජ බවට පත්වන බවයි.මේ ඇසූ අවස්ථාවේ ඇයගේ සහෝදරයන් සියලු දෙනාම එක හෙළා ඇයව මරාදැමිය යුතු බව කිව්වත් ඒ අතරින් වැඩිමහලු සහෝදරා වුණු අභයත්, භද්දකච්චායනා  හා පඩුවස් දෙව් වූ ඇයගේ දෙමාපියන්වත් මේ යෝජනාවට කැමති වුණේ නැහැ.

ඒ නිසා චිත්‍රාට පිරිමි කිසිවෙක් මුණ නොගැසිය යුතු බවට තීරණය කර ඇයව එක්ටැම් ගෙයක සිර කරනු ලැබුවා. මේ එක්ටැම් ගෙයට ඇතුළුවීමේ දොරටුව පිහිටා තිබුණේ ඇගේ දෙමාපියන්ගේ සිරියහන් ගබඩාව ඔස්සේයි. කුමරියට උවටැන් කිරීමට පවා සිටියේ එක් විශ්වාසවන්ත සේවිකාවක් පමණයි.සේවිකාව හැරුණු විට දෙමාපියන්ටත් අභය කුමරුටත් ඇයව මුණ ගැසීමට අවසර හිමි වුණා.ඇයගේ අරක්ෂාව සඳහා චිත්තරාජ සහ කාලවේල නම් යක්ෂයන් දෙදෙනා යොදවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙනවා.ඇයගේ රූපශ්‍රීය නිසා ඇයව විවාහ කරගැනීමට  බොහෝ ප්‍රාදේශීය කුමාරවරු කැමැත්ත පළ කළත් නැකැත්කරුවන්ගේ අනාවැකිය නිසා ඒ සෑම යෝජනාවක්ම ප්‍රතික්ෂේප වුණා.

උන්මාද චිත්‍රාගේ ආදරය දිනාගන්නේ දීඝ ගාමිනී නම් ඇයගේ අවැස්ස මස්සිනාය.භද්දකච්චායනා කුමරිය සමඟ මෙරටට පැමිණි ඇයගේ සොහොයුරන් හය දෙනා පඩුවස් රජුගේ සෙන්පතියන් ලෙස ප්‍රාදේශීය පාලකයන් ලෙස බලයට පත් වුණා.ඒ අනුව දීඝායු නම් කුමරුට පවරා තිබුණේ දිගාමඩුල්ලයි.මේ දීඝායු  කුමරු එහි විසූ යක්ෂ ගෝත්‍රික කුමරියක් සමඟ  විවාහයෙන් දීඝ ගාමිනී නමින් පුතෙකු ලබා සිටියා.තරුණ වියට පත් දීඝ ගාමිනී කුමරුට තමන්ගේ අවැස්ස නෑනාගේ රූපශ්‍රීය ගැන ආරංචි වීමෙන් ඇයව දැකීමේ ඉමහත් ආසාවක් ඇති වුණා.ඒ සඳහා ඔහු පඩුවස් නුවරට පැමිණි අතර පඩුවස්දෙව් රජු තම ඥාති පුතු ඉතාම ආදරෙන් පිළිගනු ලබනවා.රජ වාසලේ රාජකාරී කරමින් කාගෙත් සිත් දිනාගෙන සිටි ඔහු පසුව උපරාජ හා රාජ උපස්ථායක තනතුරටත් පත් වෙනවා.

රජ මැදුරේ සේවය කරමින් සිටි දීඝ ගාමිනී චිත්‍රාව හමුවීම සඳහා අවස්ථාවක් සලසා ගැනීමට එක්ටැම් ගෙයි ආරක්ෂාව සඳහා සිටි චිත්තරාජ හා කාලවේල යක්ෂයන් දෙදෙනා සමඟ මිත්‍රත්වයක් ඇති කර ගත්තා. දිගාමඬුල්ලේ යක්ඛයන්ගේ අභිමතාර්ථය සාධනයට දීඝ ගාමිනීට දාව යක් ලේ ධාතුවක් චිත්‍රාවගේ කුස වැඩිය යුතු වුණා.දීඝ ගාමිනී එක්ටැම් ගෙය තරණය කර උන්මාද චිත්‍රා හා ප්‍රේමයෙන් වෙළුණොත් ඔවුන්ට ලැබෙන කුමරු තම මාමාවරු මරා රජ වන නිසා ඔහු මෙරට මුල් පදිංචිකරුවන් වූ  යක්ඛයන්ගේ ඥාතියෙකි.එසේ වුවොත් යක්ඛයන්ගේ  පරම හතුරා වුණු සිංහල පාලකයන් ඝාතනය කරනු ඇත. මේ  නිසා චිත්තරාජ හා කාලවේල  හා මිත්‍රවීම දීඝ ගාමිනී කුමරුට අපහසු නොවන්නට ඇති. ඔවුන්ගේ උදව්වෙන් එක්ටැම් ගෙයට ඇතුළුව ඇය දුටු පළමු අවස්ථාවේම ඇය හා ප්‍රේමයෙන් වෙළුණු බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

දීඝ ගාමිනී යක්ඛයන්ගේ උදව්වෙන්  රාත්‍රී කාලයේදී උන්මාද චිත්‍රා හමුවීම සිදු කළා. ගාමිනී දඬු මොණර යන්ත්‍රයක් තනා ගත් රාවණ පරපුරෙන් පැවත එන යක්ඛයන් ඇසුරේ හැදුණු අයෙකි.එම නිසා ඔහුට යක් උරුමයෙන් කර්කටක නම් යන්ත්‍රයක් ලැබී තිබුණු බව සඳහන් වෙන්නේ. ඒ  යන්ත්‍රය දීඝ ගාමිනීට රහස් ලෙස චිත්‍රාගේ කුටියට ඇතුල් වීමට උපකාරී වුණා. උන්මාද චිත්‍රා හා දීඝ ගාමිනීගේ ඇසුර නිසා  උන්මාද චිත්‍රා ගැබ් ගෙන තිබුණි. එය සැලවුණු රජ මාලිගය එකම අවුල් ජාලයක් වුණා.

මෙයි සැලවුණු චිත්‍රාගේ සොහොයුරන් චිත්‍රාව මරාදැමිය යුතු බවට ඝෝෂා කළා . චිත්‍රා කුමරියගේ දරු ගැබ විනාශ කිරීමට සොහොයුරන් උත්සාහ කළා. වියපත් පඩුවස් දෙව් රජු තම දියණිය ආරක්ෂා කිරීමට සැලසුම් කළා. චිත්තරාජ හා කාලවේල සිය ගෝත්‍රයේ උරුමය ආරක්ෂා කිරීමට කටයුතු කළා . චිත්‍රා කුමරියත් ඇයගේ කළලය ආරක්ෂා කළා. පසුව ඇයගේ සොහොයුරන් තීරණය කළේ ඇයට පුතෙක් උපන්නොත් ඔහුව මරණයට පත් කරන බවයි.

චිත්‍රාගේ සොහොයුරන් චිත්‍රාගේ ගැබ විනාශ කිරීමට චිත්තරාජ කාලවේලගේ උදව් අපේක්ෂා කළත් එය ඉටු නොවූ නිසා ඔවුන් මරණයට පත් කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔවුන් දෙදෙනා යක්ෂයන් නොව දීඝ ගාමිනී කුමරුට හිතැති දාසයන් බවත් චිත්‍රාගේ සහෝදරයන් චිත්‍රා ගැබ් ගැනීමෙන් කුපිත වී ඔවුන් ඝාතනය කළ පසු යක්ෂයන් ලෙස ඉපිද චිත්‍රාගේ පුතු ආරක්ෂා කළ බවත් සඳහන් වෙනවා.

කෙසේවුවත් චිත්‍රා තම නූපන් දරුවා ආරක්ෂා කර ගත යුතු බැවින් සම වයස් ඇති ගැබිණියක් මාලිගාවට ගෙන්වා ඇයගේ දියණිය චිත්‍රාගේ පුතු හා මාරුකර මාලිගාවෙන් පිටමං කළා. දිනපතාම එළවළු හා පලතුරු කූඩයක් හිස තබා උදේ සවස මාලිගාවට එන දාසියකට චිත්‍රා කුමරියගේ පුතුව භාරදෙනවා. දියණිය මාලිගාවේ ඇති දැඩි වුණා.

නමුත් කලක් ගත්වෙත්ම චිත්‍රාට ලැබුණේ පුතෙකු බව දැන ගන්නා ඇයගේ සොහොයුරන් ඔහුව ඝාතනයට කිහිපවරක්ම උත්සාහ ගනු ලැබුවා. නමුත් ඒ පුතු චිත්තරාජ හා කාලවේල විසින් විවිධ වේශයන්ගෙන් පැමිණ ආරක්ෂා කරනු ලැබුවා. කුමරුගේ මාමාවරු ජීවත් වූයේ ඉතාම බියෙන්. මොකද නැකැත් කරුවන්ගේ අනාවැකිය කොයි මොහොතේ සඵල වේදෝ යැයි සැකෙනි.

කෙසේ හෝ ජීවිතය බේරගත් කුමරු සේනා සංවිධානය කර සිය මාමාවරු ඝාතනය කර අභය කුමරුට අභය දානය දී තම රාජකීය උරුමය ලබාගෙන අනුරාධපුරය අග නගරය කොටගෙන වසර 70ක් රාජ්‍ය පාලනය ගෙන ගියා. ඔහු තමයි අපි හැමෝම දන්න පණ්ඩුකාභය රජු. ඔහුට තම ගුරුවරයා වුණු පණ්ඩුල බමුණාත් ඔහුගේ පුතා වුණු චන්ද්‍ර කුමාරයත්, චිත්‍රාගේ වැඩිමහල් සහෝදරයා වුණු අභයගේත් සහයෝගය ලැබුණා.කුඩා කාලයේ තමාගේ ජීවිතය රැකදුන් චිත්තරාජ හා කාලවේල යක්ෂයන් දෙදෙනා වෙනුවෙන් අනුරාධපුර නගරය දෙපස දේවාල දෙකක් ද තනා ඔවුන් දෙදෙනාට කැප කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

 

උපුටා ගැනීම: Hela Rahas

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!