සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයිතරම් සුවඳද මගෙ හිත ගාව”
“තාරා ඔයා දැක්කද ඊයෙ රෑ හතයි කාලට වගේ දුමින්ද පොටෝස් වගයක් අප්ලෝඩ් කලා ඉන්ස්ටා වලයි ෆේස් බුක් එකේයි එයාල හනිමූන් වලට මැලේසියා ගිහින් බලන්නකො ඔයා ෆ්රී නම් දෙන්න ට්වින් ටවර් ලග අරන් තියන පොටෝ එක එයාගෙ වයිෆ් නම් හොදට හිනාවෙලා ඒ උනාට දුමින්ද හිනාවෙල නෑ.
2012 අවුරුද්දෙ දාක මේනු ඩෙන්මාර්ක් වල ඉදල කෝල් කලේ ඕක කියන්න. මම නිහඩව අහගෙන ඉන්නකොට මේනු තව කතාකලා
” ඔයාට මතකද මම දුමින්ද එක්ක කතරගම ගිහිල්ල ගත්ත පොටෝස් එයා කොච්චර ලස්සනට හිනාවෙලා ඉන්නවද ඒවල
ඔය ගර්ල් දුමින්දව මගෙන් උදුරන් බලෙන් ගැටගහගත්තෙ,ලැජ්ජ නෑ ඒකිට”
පසුතැවිල්ල,කඩාවැටීම වේදනාව දරාගන්න ක්රමයක් හොය හොය හිටපු මේනු හිතෙන හැම විදියටම තමන්ගෙ හිත හදාගන්න උත්සහ කලා කතාකරන හැම වෙලේම තමන්ට උහුලන්න බැරි වේදනාව දීල හැර ගියපු ආදරවන්තයාව ඇබිත්තක් හරි තමන්ට ආදරේ කලා කියල එයත් විශ්වාස කරන ගමන් අපිටත් ඒත්තු ගන්නන්න මේනු හැමවෙලෙම උත්සහ කලා.
අපි ගොඩාක් දෙනා ඇත්තටම එහෙමයි . යටි හිත හොදටම දන්නවා උනත්,උඩින් අපි ආදරේ කරපු මිනිස්සුන්ට යම් මට්ටමට හොඳ ප්රතිරූපයක් දෙන්න අපි කැමතියි. ඒත් පුද්ගලායගෙන් පුද්ගලයාට දරාගැනීමේ ශක්තිය අනුව ඒක වෙනස් වෙනවා.
” එයා සතුටින් නම් මට කමක් නෑ” කියන බොරුව වචන වෙලා එලියට එන්නෙ එතකොට.
“එයාට උනත් මගෙ එකාකාරී ලයිෆ් එක ඇති වෙන්න ඇතිනෙ එයා ගෙදර එනකොට මම නෑ මම එනකොට එයා නෑ බබාලගෙ දේකදි ස්කූල් එකට කවදාවත් දෙන්න එකට ගිහිල්ල නෑ..කොටින්ම බැන්දට පස්සෙ දවස් දෙකයි හරි තුනයි හරි මම මගෙ අතින් එයාට කෑම හදල දුන්නෙ ඉතින් එයාගෙ තීරණේ හරි. රස්සාවක් නොකරන කෙනෙක්ව තෝරගෙන එයා මාව අත් හැරියා. දැන් එයා සැනසිල්ලෙ ඇති මට තියන දුක බදින්න කලින් එයාට මගෙ ජොබ් එක ප්රශ්නයක් උනේ නෑ”
තේජා ගිම්හානගෙ පුංචි අම්මා කෙනෙක් වෙනවා එයා හෙදියක්. ස්වාමියාගෙ වෙන්වීම එයාගෙ වරදක් විදියට පවරගෙන හුදෙකලාවෙම ජීවත් වෙනවා.එයත් හැම කෙනෙක්ම වගේ අහිමි ආදරේට වටිනාකමක් දෙන්න අසාර්ථක නමුත් දැඩි උත්සහයක් ගත්තා.ඒ හැමවෙලේම ගිම්හාන එයාගෙ පුංචි අම්මට දොස් කිව්වා.
තමන්ට අනේක වාරයක් රිදවලා ඇස්වලට කොච්චර කඳුලු දීලා ගියත්.තමන්ව දවසක් හෝ සතුටින් තියපු අය වෙනුවෙන්,ආසියාතික කාන්තාවන් දරාගෙන ඉන්න පුරුදු වෙලා තියනව විතරක් නෙවෙයි,ඉතාම මෘදු සමාවක් සහ වටිනාකමකුත් දෙන්න සූදානම් හැම වෙලාවකම. සමහර පිරිමි අයත් ඒ විදියට හිතනවා.
ඩිලන්ගෙ උපන්දිනයක් වෙනුවෙන් පානදුරේ වැඩිහිටි නිවාසයකට රස කැවිලි එක්ක තෑගි බෝග අරගෙන ගියපු වෙලාවක හරි ආදරණීය දෙමව්පියන් බොහෝමයක් අපිව පිලිගත්තා. දිලිසෙන ඇස්වල තිබුනෙ අප්රමාණ දුකක්. ඒත් ඒ අම්ම තාත්තා මොන විදියකින්වත් තමන්ව නිවාසයකට කොටු කරපු දරුවො ගැන තරහින් එක වචනයක්වත් කතා කලේ නෑ.
” මගෙ දරුවො සේරමල ඉන්නෙ රටවල් වල පුතේ. මහ ගේ වහල මම කැමැත්තෙන්ම මෙහාට ආවෙ තනියම ඉන්න බැරි නිසා.දරුවො කැමති නෑ මම මෙහෙ ඉන්නවට ඒත් මම ආසාවෙන් ඉන්නෙ”
” මට ඉන්නෙ එක පුතයි එයා බැදලා දුවක් ගෙදරට එක්ක ආවා ඒ පොඩි ගෙදර අපි ඔක්කොටම ඉන්න අමාරුයි පව් ලේලි දරුවෙක් ලැබෙන්න ඉන්නෙ ඉතින් මායි මහත්තයයි කතාවෙලා මෙහාට ආවා.ඉදහිට පුතා ඇවිල්ල යනවා”
” මම නිදහස් මනුස්සයෙක් පුතා.මම රජයෙ සේවයේ හිටියා පෙන්ෂන් ගත්තා වයිෆ් නැති උනාට පස්සෙ මට ගෙදර පාලුයි අනික මම බුලත් විටක් කනවා ඕකට බෑණා කැමති නෑ මට නිදහස ඕන එයාලටත් ඕන ඉතින් මෙහෙ හොදයි මට.”
ඔය විදියෙ නානාප්රකාර ඉදිරිපත් කිරීම් හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා කිව්වට ඒ ඇස් හැමවෙලේම නිවාසෙ ගේට්ටුව දිහාට හැරිලා තිබ්බා.
ජීවිතේ හරි පුදුම එකක්. අපි හැම මොහොතකම බැඳීමක් එක්ක පැටලෙනවා ඒත් අපි දන්නවා බැඳීම් කියන්නෙ දුක් ගොඩක් පමණයි කියලා.ඒත් අපි බැඳෙනවා ඊට පස්සෙ බිඳෙනවා ඊට පස්සෙ අඩනවා ඒත් ආදරේ පරිස්සම් කරනවා.
ඔමාර් ඛයියාම් රුබයියාට් පොතේ තැනක මෙහෙම ලියනවා
” ආශාවෙන් හා ඇල්මෙන්
වරෙක බඳුන සෑදුවහු
වරෙක කිපීමෙන්
එය නොබිඳිති”
2013 වසරෙ තාත්තගෙ අභාවය එක්ක වගේම හැම පැත්තකින්ම වැඳුන මරු පහරවල් වලට මැදිව අම්මයි නංගියි එක්ක ජීවිතේ අමාරුවෙන් අල්ලගෙන ඉන්නකොට එක වැස්ස දාක ආපහු මේනු කතා කලා.
” තාරා..මම දන්නව ඔයා මේ වෙලාවෙ ඉන්නෙ මට ඇහුම්කන් දෙන තත්වයක නෙවෙයි ඒත් මට කියන්න ඕන මම ටිකක් අවුලෙන් මම දන්නවා මේක මෝඩ වැඩක්. උදේ දුමින්ද එයාගෙ ෆේස් බුක් වෝල් එකේ අලුතෙන් උපන් බබාගෙ පොටෝ එක දාල වයිෆ් ට හරිම ආදරණීය විදියට සුභපතල තිබ්බා. මට දුකයි ,මට කේන්තියි ඒකයි මම ඔයාට කතාකලේ”
මම දැන් ඉන්නෙ යාලුවෙක් එක්ක රෑට කන්න එලියට ඇවිල්ල සමහර විට ඔයාට මේක කියල තිබ්බට පස්සෙ මට කන්න පුලුවන් වෙයි”
අපිම අපේ හිත ඇතුලෙ රූප ගොඩාක් හංගගෙන ඉන්නවා. අපිට ඕන වෙලාවට අපි ඒ ඒ රූප එක එක එලියට ගන්නවා මට එහෙම් හිතෙනවා.
” මට වගේම ඔයාට මාව මතක් වෙනවද”
මෙන්න මේ කෙටි පණිවිඩය,මම මේසටහන ලියන අතරේ කී දෙනෙකුගේ ජංගම දුරකථනයට එන්නට ඇතිද. ඒකට උත්තරය මොකක් උනත්.
හෙට හිරු එළිය දකින්නට අපිට ස්ථිරවම හැකිවේදැයි දන්නෙ නෑ.ඒ නිසා අපි නිදහසේ හුස්ම ගන්නට ඕන.
ඔබට රිදුනාට ඔබ නොරිදවාම ඉන්න. අඩුගානෙ සැනසිල්ලේ නින්ද යාවි.
සඳාකල්හිම ආදරෙන්
උපුටා ගැනීම: Tharangani Dilrukshi Jayasena